Breaking News

කාන්තා දින අභිමුව කාන්තාව

එච්. එම්. එන්. දේශානි හේරත්

ලොවට ජීවනාලිය සපයන ඇය කාන්තාවයි. උත්තරීතර වූ මාතෘත්වයට පත් විය හැකි එකම මනුෂ්‍ය ප්‍රාප්තිකයා වන්නේ ඇයයි. සමාජයේ තීරණාත්මක පෙරළියක් ඇති කරනු වස් දියණියක්, සොහොයුරියක්, බිරිඳක්, මවක් ලෙස විවිධ භූමිකා රඟ දක්වන කාන්තාව සමාජයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන බලවේගය යි. වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය වන්නේ කාන්තාවන් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට මුළු ජනගහනයෙන් 51.5% ක් කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව 48.5%කි. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යන්න මෙවැනි කාන්තා දිනයක අභිමුව සිට සාකච්ඡා කිරීම වැදගත් වේ.

මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින් ද, ස්ත්‍රිය එම බීජය රෝපණය කරමින් ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ. නමුත් සමාජ පරිණාමයේ දී විවිධ යුග වලදී ස්ත්‍රිය සහ පුරුෂයා අතර බලය සම්බන්ධ අරගල පැන නැගුණ අතර එම යුග වල අවශ්‍යතාවන්ට අනුව විටක ස්ත්‍රිය ද, තවත් විටක පුරුෂයාද බලවත් විය. උදාහරණ වශයෙන් ග්‍රීක යුගයේ දී කාන්තාවන්ට භූමියේ අයිතිය පවා අහිමිව තිබුණු අතර ඉන්දු නිම්න ශිෂ්ටාචාර සමයේ දී කාන්තාව පවුල තුළ ප්‍රධානියා විය. කෙසේ වුවත් මෙම ලිංගික වෙනස නිසා ස්ත්‍රීන් හා පුරුෂයන් කායික හා මානසික මෙන්ම අභ්‍යන්තර හා බාහිර වශයෙන් ද යම් යම් විපර්යාස ලක්ෂණ වලින් යුක්ත වේ. නමුත් එම වෙනසට වඩා ඉතා පුළුල් වෙනසක් සමාජය විසින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ආරෝපණය කර ඇත. ඒ අනුව පුරුෂයාට වඩා වෙනස් වූ අප්‍රධාන තත්ත්වයක් ස්ත්‍රියට පවුල තුළ මෙන්ම සමාජය තුළත් හිමිකර දී ඇත. මෙම දෙපක්ෂයට සමාජය විසින් පවරනු ලැබ ඇති කාර්යභාරයන් පවා එකිනෙකට වෙනස්ය. එසේම ඒ ස්ත්‍රීන් හා පුරුෂයින් සම්බන්ධයෙන් පවතින සමාජ ආකල්ප, සම්ප්‍රදායන් හා විශ්වාසයන් ද එකිනෙකට පරස්පර වේ. එපමණක් නොව ඇතැම් අවස්ථාවල දී ස්ත්‍රීන් හෝ පුරුෂයන් සඳහා ක්‍රියාත්මක වන නීති රීති ද එකිනෙකට වෙනස් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සම්ප්‍රදායික සමාජය පමණක් නොව නූතන සමාජය තුළ ස්ත්‍රිය දෙවන ගණයේ පුරවැසියෙකුගේ තත්ත්වයට පත්ව ඇත.

ශ්‍රි ලාංකීය සමාජයේ ඓතිහාසික විකාශනය තුළ කාන්තාවන් පිළිබඳ ඉදිරිපත් වූ සමාජ කතිකාව නව මඟකට යොමු කරමින් හා සම්ප්‍රදායික සමාජ ගතිකත්වයට ඍජුවම අභියෝග කරමින් ගෘහස්ථකරණයට හා කෘෂි ආර්ථිකයේ ඇතැම් අංශයන්ට සීමා කර තැබුණු කාන්තාව පිළිබඳ එතෙක් සාකච්ඡාවට බඳුන් නොවුණු එහෙත් කාන්තාවන්ට වැදගත් වූ ක්ෂේත්‍ර වඩාත් විධිමත් මෙන්ම න්‍යායාත්මක ලෙස අධ්‍යයනය කිරීම හා අවධානයට ලක් කිරීම අරමුණු කරගනිමින් ඇය පිළිබඳ ධනාත්මක සමාජ කතිකාවක් දහනව වන සියවසේදී ගොඩ නැගුණි. හුදෙක් පුරුෂකේන්ද්‍රියව නිර්මිත මෙම සමාජයේ එවැනි පසුබිමක් තුළ ගොඩ නැගුණු ආකල්ප මතවාදයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සමජීය, ආර්ථික, දේශපාලනික යනාදි වූ සියලු අංශයන්හි නැගී සිටීමක් ආශ්‍රිතව වූ සමාජ කතිකාවක් මෙම අවධියේදී ඇරඹිණි. මෙවැනි පදනමක් තුළ කාන්තාවන් සිය අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය නමින් කාන්තාවන්ට වෙන් වූ එක් විශේෂිත දිනයක් නම් කෙරුණි. ඒ මාර්තු මස 08 වනදාය.

වසරක් පාසා අප සමරන ජාත්‍යන්තර කාත්නා දිනයෙහි මූලාරම්භය 1908 තරම් ඈතට දිවෙයි. සම්ප්‍රදාය මඟින් සිරකර තිබූ කාන්තා චින්තනය අනවශ්‍ය සම්ප්‍රදායන් බිඳ දැමීමක් මෙහිදී සිදු විය. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් ඉහළ නංවා ගැනීම, ඡන්ද අයිතිය කාන්තාවන්ට ලබා දීම ආදී වූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී කාන්තාවෝ 15000 ක් 1908 මාර්තු මස 08 වැනි දින පා ගමනක් පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස 1909 දී ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් මාර්තු මස 08 වැනිදා මුල්වරට ප්‍රකාශයට පත් කරනු ලැබීය. ක්ලාරා සෙට්කින් මේ පිළිබඳ සිය අදහස් කෝපන්හේගන් නුවර පවත්වන ලද වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී මුල් වරට ඉදිරිපත් කර ඇත. ඒ අනුව 1911 වර්ෂයේදී ඔස්ටි්‍රයාව, ඩෙන්මාර්කය ඇතුළු රටවල් ගණනාවක් ජාත්‍යන්තර කාන්තා දිනය සමරා ඇත. නමුත් මෙම කාන්තා දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල පිළිගැනීම ලැබී තිබෙන්නේ 1975 වසරේදීය.

නමුත් මෙවැනි කාන්තා දින සැමරුවද ශ්‍රී ලංකා සමාජය තුළ කාන්තාව කෙතරම් අසාධාරණකම් වලට ලක් වන්නේද? මානසික, කායික, ආර්ථික, දේශපාලනික වශයෙන් ඇය පීඩනයන්ට ලක් වේ. හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීමේ නිදහස් අයිතිය සෑම මනුෂ්‍යයෙකුම සතු වන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර යමක බිය ගැන්වීමට හෝ බලෙන් යටත් කර ගැනීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමේ කිසිදු අයිතියක් කිසිවකුට නොමැත. සෑම කාන්තාවකටම තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අයිතිවාසිකමක් තිබේ. රටක නීතිය යටතේ සමාන ආරක්ෂාවක් පැවතිය යුතුය. සෑම අගතිගාමී ක්‍රියාවකින්ම, වෙනස් කොට සැලකීමකින්ම නිදහස් වීමට අයිතියක් පැවතිය යුතුය. වද හිංසාවලට හෝ වෙනත් අමානුෂික සැලකිල්ලට දඬුවමකට ලක් නොවී සිටීමට අයිතිවාසිකමක් පැවතිය යුතුය. නමුත් පොදු ප්‍රවාහනයේදී ස්ත්‍රීන් ස්පර්ශයෙන්, අනවශ්‍ය උසුළු විසුළු කිරීමෙන්, අනාචාරයන්ට පොළඹවා ගැනීම් ආදී නොයෙකුත් ආකාරයට හිංසනයන්ට ලක් වේ.

පසුගිය කාලය පුරාවටම කාන්තා හිංසනයන්ගෙන් පුවත් මැවීම සාමාන්‍ය කරුණක් විය. තමාට අවශ්‍ය මුදල් ලබා නොදීම නිසා කාන්තාවන් මරණයට පත් කිරීමට පුරුෂ පාර්ශවයට ඇති අයිතිය කවරේද? රාත්‍රී කාලයේදී කිසිවකු නොමැතිව කාන්තාවකට තනිවම ගමන් කළ නොහැකිද? පිරිමි පාර්ශවයට ඕනෑම රාත්‍රියක ගමන් බිමන් යාමේ නිදහසක් පැවතියත් කාන්තාවට ඒ නිදහස නොපවතින්නේ ඇයි? යන්න ගැටලුවකි.

අධ්‍යාපනය සියලු දෙනාටම ආභරණයක් මෙන්ම සියලු දෙනාටම එක සේ ලැබිය හැකි මූලික අයිතිවාසිකමකි. නමුත් ඇතැම් සමාජයන් තුළ කාන්තාවක් වූ පමණින් අධ්‍යාපන අයිතීන් උල්ලංගණය කිරීම් සුලබ වේ. තමා උගත යුතු අධ්‍යයන ක්ෂේත්‍රය පවා තෝරාගැනීමට කාන්තාවට අයිතියක් තිබේද යන්න ගැටලුවකි. බොහෝ අවස්ථාවන්හිදී විවාහ වූ සැණින් සිය අධ්‍යාපන අයිතිය අහුරා දමයි. එමෙන්ම පෞද්ගලික අංශයේ ඇතැම් ආයතන සඳහා අවශ්‍ය සුදුසුකම් කාන්තා පාර්ශවය විසින් සපුරා තිබුණද ඔවුන් එම තනතුරු වලින් ප්‍රතික්ෂේප වන්නේ කාන්තාභාවය නිසාවෙන්ම ය. ඔවුන් විවාහ වී ගර්භණී කාලයට නිවාඩු ලබා ගැනීම, ප්‍රසූත නිවාඩු ලබා ගැනීම් ආදිය නිසාවෙනි. මේ නිසා කාන්තාවට සිය රැකියා අවස්ථාවන්හිදීද අසාධාරණත්වයන් ට මුහුණ පෑමට සිදු වේ. ආගමිකත්වය තුළද කාන්තාවට පුරුෂයා හා සම අයිතියක් හිමි නොවේ. එහිදී දන්ත ධාතූන් වහන්සේ හේමමාලා කුමරිය සිය කෙස් කළඹේ සඟවා ගෙන මෙරටට ගෙන ආවද ස්ත්‍රීන්ට ඇතැම් ආගමික ස්ථානයන්ට යෑම පවා තහනම් කරනුයේ සමානත්වය යන්න වචනයට පමණක් සීමා කරමිනි.

කාන්තාවක් ඇයගේ කුඩා කාලයේ සිය නිවසේ පටන් නොයෙකුත් තාඩන පීඩනකම් වලට ලක් වේ. එහිදී ඇයට සිය සහෝදරයන්ට මෙන් උස ගස් වල නැගීම්, රාත්‍රී ගමන්, මිත්‍ර ඇසුර, බයිසිකල් පැදීම් ආදිය සීමා කරයි. එකම පවුලේ සහෝදර සහෝදරියන්ට සීමිත අසීමිතකම් විවිධාකාරයෙන් දක්වයි. මේ නිසා දියණියකගේ භූමිකාවෙහි කාන්තාව සිය නිවස තුළ පටන් අසාමානතාවයන්ට හුරු වීමට පටන් ගනී. අනතුරු එළඹෙන යුග දිවිය තුළද බොහෝ කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වේ. කාන්තා අවයව ඡේදනය, දෑවැදි පෙරදැරිව දැරියන් ඉපදුණු විගස මරා දැමීම, අතිශය දරුණු පහර දීම, සති පූජා පැවැත්වීම ආදී නොයෙකුත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය මුසු ක්‍රියා කාන්තාවට එරෙහිව සිය ගෘහය තුළදීම ලෝකය පුරා ක්‍රියාත්මක වේ.

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය යනු වර්තමානයේ සුලබව අසන්නට දකින්නට ලැබෙන මාතෘකාව කි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ පළමු ජාතික සමීක්ෂණය වන කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්‍ෂණය 2019 වාර්තා කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු යම් ආකාරයක ශාරීරික හෝ ලිංගික හිංසනයකට මුහුණ දී ඇති බවයි. කාන්තාවන්ගෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් සහකරුවාගෙන් කායික, ලිංගික, චිත්තවේගීය සහ/හෝ ආර්ථික හිංසනයට සහ/හෝ හැසිරීම් පාලනය කිරීම් වලට භාජනය වී ඇත. වතුකරයේ කාන්තාවන්ගේ තත්ත්වයන් අතිශය දරුණු බව සමීක්ෂණයන්ගෙන් අවධාරණය කරයි. කායික හා ලිංගික හිංසනය බොහෝ දුරට නැවත නැවත සිදුවන බව වාර්තාව සනාථ කරයි. උදාහරණයක් වශයෙන්, ලිංගික දූෂණයට ලක්වන කාන්තාවන්ගෙන් 65% ක්, දෙවරක් හෝ තුන් වතාවක් මෙම හිංසනයට මුහුණ දුන් බව වාර්තා කර ඇති අතර සියයට 32% ක් පස් වතාවකට වඩා ලිංගික දූෂණයට ලක්වන බව වාර්තා වෙයි. සමීප සහකරු නොවන වෙනත් අයකුට වඩා සමීප සහකරුවන් ශාරීරික හිංසනය ඇති කරන බව වාර්තා විය. ලිංගික අපයෝජන, ලිංගික හිංසන, ව්‍යාභිචාරය, දූෂණ, ළමා අපචාර, කුට්ටනය හා ගණිකා වෘත්තිය යනාදිය වර්තමානය වන විට සුලබ කරුණකි.

මෙවැනි නොයෙකුත් අසාධාරණ තාඩන පීඩනකම් වලට බඳුන් වන කාන්තාවන් වෙනුවෙන් සියලු දෙනා එක සේ නැගී සිටිය යුතුය. එමෙන්ම ඇයට හිමි නිසි තැන නොව පුරුෂයින් හා සම තැන ලබා දිය යුතුය. ඇය කාන්තාවක් වූ පමණින් ඇයව පහත හෙළා දැමීම සිදු නොවිය යුතුමය. එක් දිනයකට පමණක් සීමා වී ඇයව එදිනට සියලු වැඩ වලින් නිදහස් කර ඇයට ගෞරව බුහුමන් දැක්වීම වෙනුවට ඇයට හිමි සම ගෞරවය ඇයට සෑම දිනකම ලබා දිය යුතුය. එවිට අන් කවරදා වුවද සැබෑ අරුත්බර කාන්තා දිනයන් වනු නොඅනුමානය.

leave a reply