Breaking News

නාකොළගනේ වනාන්තර ඉඩම් ජාවාරමෙන් අලි – මිනිස් ගැටුම හා ජල අර්බුධ උග්‍ර වේ .

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාව වගා බිම් අක්කර 2000 කට වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත් පත් කර ගෙන නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක කරයි. මේ ජාවාරම සඳහා දේශපාලන රැකවරණය චමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත් ජෙහාන් ප්‍රනාන්දු හා විමල් වීරවංශ ගේ ලේකම්වරයකු විසින් ලබා දෙන අතර අඹන්පොල, ඇහැටුවැව හා ගල්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ඉඩම් ජාවාරම සඳහා නීතිමය රැකවරණය ලබා දේ.

වර්තමානයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප විසින් වලත්වැව රාහුල හිමියන්ට මෙම ඉඩම් ජාවාරම සඳහා ව්‍යාජ සන්නසක් සකසා දී ඇති අතර එය භාවිත කර මෙම දැවැන්ත ඉඩම් ජාවාරම සිදු කරනු ලැබේ.

ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අවසාන ගම් සිතියම් පරීක්ෂා කිරීමේ දී තහවුරු වූයේ සන්නස් ඉඩම් මෙම ප්‍රදේශයේ නොමැති අතර සියලු ඉඩම් රජයට අයත් වන බව ය. මේ සියලු තොරතුරු දන්නා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරීවරුන් විසින් සැබෑ තොරතුරු ජනතාවගෙන් සඟවා වලත්වැව රාහුල හිමිට හා වලත්වැව සුනන්ද හිමිට මෙම ඉඩම් ජාවාරම අඛණ්ඩ ව සිදු කිරීමට සහය ලබා දේ.

ඩෙල්මෝ සමාගම හා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු බොහෝ පිරිසක් ඉඩම් ලබා ගෙන
වලත්වැව රාහුල හිමියන් ගල්කඩවල මහා විහාරය, නාකොළගනේ පුරාණ රජ මහ විහාරය, අතරගල්ල ශ්‍රී විජයාරාමය, කෝන්වැව විහාරය හා දේවගිරිපුර විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති ධූර දරමින් අතරගල්ල ශ්‍රී විජයාරාමයේ වැඩ වාසය කරන අතර රාහුල හිමියන් ගේ බෑණනුවන් වන වලත්වැව සුනන්ද හිමි නාකෙළගනේ පුරාණ රජමහ විහාරයේ වැඩ වාසය කරයි.

වලත්වැව රාහුල හිමි අතරගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ උප විදුහල්පති ලෙස කටයුතු කළ සමයේ දී පාසැලට අයත් අක්කර දෙකක භූමියක් ඩෙල්මෝ සමාගමට අඹ වගා කිරීම සඳහා බදු දී තිබේ. මීට අමතර ව නාකොළගනේ පුරාණ රජමහ විහාරයට අයත් අක්කර 20 ක භූමියක් ද ඩෙල්මෝ සමාගමට බදු දී ඇති අතර එම විහාර භූමියේ මෙම සමාගම විසින් අඹ වගා කර තිබේ.

නාකොළගනේ එක්සත් මරණාධාර සමිතියේ සභාපති ජයකොඩි ආරච්චිලාගේ සියාතුහාමි නැතහොත් ආරියපාල විසින් පාලුකඩවල වැවේ ඉහත්තාවේ අක්කර 5 ක භූමියක් නීති විරෝධී ව වගා කරන අතර විවිධ ව්‍යාපාරිකයන්ට රජයේ වනාන්තර ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය රාහුල හිමියන් හා එක් ව සම්බන්ධීකරණය කිරීම මොහු විසින් සිදු කරයි.

අඹන්පොල පොලීසියේ ස්ථානාධිපති විසින් කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ කොණ්ඩගල කන්ඳ වටා පිහිටි අක්කර 8 ක වනාන්තර භූමියක් සූර්ය බලශක්ති බලාගාරයක් ඉදි කිරීම සඳහා ලබා ගෙන ඇත්තේ ද ආරියපාල ගේ සම්බන්ධීකරණය යටතේ ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසින් රාහුල හිමියන්ගෙන් බදු පදනම මත ලබා ගත් පාලුකඩවල වැව ඉහත්තාවේ කඳුබොඩයාගම ප්‍රදේශයේ අක්කර 5 ක පමණ භූමියක ගස්ලබු වගා බිමක් පවත්වාගෙන යන අතර ඒ ආසන්නයේ පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථානයක් වන වනාන්තර ඉඩම් අක්කර 50 ක් මේ වන විට එළිපෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වේ. ඩෝසර් යන්ත්‍ර භාවිත කර මාර්ග සකස් කර වනාන්තර එළිපෙහෙළි කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් එම වනාන්තරයේ ජීවත් වූ අලි – ඇතුන් ගම් වැදීම බහුල ව සිදු වෙමින් පවතී.

නින්දගම් ඉඩම් බවට තහවුරු කළ හැකි කිසිදු නීත්‍යානුකූල ලේඛණයක් නොමැත
බදු දීම සිදු කරන ඉඩම් නාකොළගනේ පුරාණ රජමහ විහාරයට අයත් බව සඳහන් කළ ද ඒ පිළිබඳ ව කරුණු සොයා බැලීමේ දී තහවුරු වූයේ මෙම ඉඩම් මී ඔය ව්‍යාපාරය සඳහා අත් පත් කර ගත් ඉඩම් බව ය. 1948 වසරේ දී පමණ ඩී. එස්. සේනානායක මහතා විසින් මී ඔය ව්‍යාපාරය හෙවත් අතරගල්ල ව්‍යාපාරය ආරම්භ කර තිබේ. මී ඔය හරස් කර ඉදි කර ඇති අඹකොළ වැව, අතරගල්ල වැව හා පාලුකඩවල වැව පුළුල් කිරීමෙන් ආරම්භ කළ අතරගල්ල ව්‍යාපාරය යටතේ ගොවි ජනතාවට ඉඩම් ලබා දී ම 1953 වසරේ දී ආරම්භ කර ඇති අතර ඒ සඳහා අත්පත් කර ගත් ඉඩම්වලට වන්දි ගෙවීම 1968 වසරේ දී අවසන් කර ඇත.

අතරගල්ල ව්‍යාපාරය යටතේ මෙම ප්‍රධාන වැව් තුනට අමතර ව පාලුව වැව, අරසන් වැව හා වන්නිකුඩා වැව යන වැව් තුනට ද ජලය සැපයෙන අතර මේ සියලු වැව් වලින් අක්කර 4000 ක පමණ කුඹුරු ඉඩම් වගා කෙරේ. මෙම වැව් යටතේ අඹකොළ වැව, නිකවල යාය, සේරුගොඩ, අලුත් කොලනිය, වානේ කොලනිය, ඒරියාව, නාකොළගනේ, වෙහෙරගොඩයාය, යක්දෙස්සාව, පාලුකඩවල, කුරුන්දෑව, ජාගම, කට්ටකඩුව යන ගම්මානවල ගොවි පවුල් 1000 ක් පමණ වගා කටයුතුවල නිරත වේ.

නාකොළගනේ, කඳුබොඩයාගම යාය, කිරිබත්පැලැස්ස, කරඹෙයාය, පූලෑ අමුණ, උල්පතේ යාය, ගුරුගොඩ යාය, අගුරුවැල්ල, හඳුගොඩයාය, මඩදෙනිගම යාය, කිවුලේගම යාය යන ප්‍රදේශවලට අයත් ඉඩම් ඩෙල්මෝ සමාගම, අඹන්පොල දේශානි එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හිමිකරුට මෙන් ම මීගමුව ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් විකිණීම රාහුල හිමියන් විසින් සිදු කර ඇත.

පුරා විද්‍යාත්මක ව වටිනා ස්ථාන රැසක් ම මෙම ප්‍රදේශයේ පවතී. නාකොලගනේ රජ මහ විහාරය, ගුරුගොඩයාය, වෙහෙරගල, කරගස්සන රජමහා විහාරය හා ආඩිගම – කිරිබත්පැලැස්ස මෙන් ම වනාන්තර තුළ කටාරම් සහිත ගල් ලෙන් රැසක් ම පවතී. මේ ස්ථාන සියල්ල ම මෙම ඉඩම් කොල්ලයෙන් බලපෑමට ලක් වී ඇත.

අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වට පත් කර මී ඔය ව්‍යාපාරයේ ගොවීන් අවතැන් කිරීම
ලංකාවේ වැඩි ම අලි – මිනිස් ගැටුමක් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස සැලකෙන වයඹ කලාපය තුළ රක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ්‍රිත ව සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැදී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිතා කරන අතර රාත්‍රී කාලයේ දී වගා බිම්වලට හා වැව් ආශ්‍රිත ප්‍රදේශ වලට පැමිණේ. එවන් වනාන්තර ප්‍රදේශ මේ ආකාරයෙන් එළිපෙහෙලි කර ව්‍යාපාරිකයන් විසින් වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් මේ ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම ඉතා ම දරුණු ලෙස වර්ධනය වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම උග්‍ර දිස්ත්‍රික්ක අතුරින් ප්‍රධාන වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඊට හේතුව වනාන්තර ප්‍රතිශතය අඩු වීම හා ඉතිරී වී ඇති අලි – ඇතුන්ගේ වාසස්ථාන කුට්ටිකරණය වී පැවතීම ය. මේ නිසා අලි – ඇතුන් ගම් වැදීම හා වගා බිම්වලට පිවිසීමෙන් උග්‍ර අලි – මිනිස් ගැටුමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වේ.
2011 වසරේ දී ප්‍රකාශයට පත් කළ මෙරට අවසන් අලි – ඇතුන් සංගණනයේ සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය අයත් වන වයඹ පලාතේ අලි – ඇතුන් 1189 ක් පමණ ජීවත් වන බව සොයා ගෙන තිබේ. එය ලංකාවේ වාර්තා වන සමස්ත අලි – ඇතුන් ප්‍රමාණයෙන් 20% කි. එම සතුන්ට වාසස්ථාන සපයන වනාන්තර හා තෘණ භූමි ඉතිරි වී ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයකි.

2018 වසරේ දී අවසන් වරට සිදු කෙරුණු ඉඩම් භාවිතය පිළිබඳ ඉඩම් පරිහරණ සැලැසුම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන්නේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවම වනාන්තර ප්‍රතිශතයක් ඉතිරි වී ඇති බව ය. හෙක්ටයාර 481600 ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ස්වාභාවික වනාන්තර ලෙස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ හා තෘණ භූමි ඉතිරි ව ඇත්තේ හෙක්ටයාර 66228 ක පමණ ප්‍රමාණයකි. එය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 14% ක් පමණ වේ. වනාන්තර මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතීම අලි – මිනිස් ගැටුම උග්‍ර වීමට සහ වැව් හා ජල මූලාශ්‍රවල ජල පෝෂක ප්‍රදේශ ප්‍රමාණය අඩු වීමෙන් පානීය හා වාරි ජල අර්බුධ ඇති වීමට ද හේතු වී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි ම අලි – මිනිස් ගැටුම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ ගල්ගමුව හා ඇහැටුවැව යි. නාකොලගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස පවතින වනාන්තර විනාශය සිදු කෙරෙන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර ප්‍රදේශ ඉතිරි ව ඇත්තේ මුළු භූමි ප්‍රමාණයෙන් 27% ක් පමණි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 17500 ක් වන අතර එහි වනාන්තර ආවරණය දක්නට ලැබෙන්නේ හෙක්ටයාර 4760 ක භූමි ප්‍රමාණයක පමණි. ඒ අතුරෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලැබී ඇත්තේ 40% ක පමණ වනාන්තර ප්‍රමාණයකට පමණි. ඉතිරි බොහෝ වනාන්තර දැඩි නීතිමය රැකවරණයක් නොමැති ව පවතී. ඒවා නිරන්තරයෙන් එළිපෙහෙලි කිරීම්වලට ලක් වේ. මෙම වනාන්තර එළි කිරීම්වලට ලක් කිරීමේ අවසාන ප්‍රතිඵලය අලි – මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම තුළින් අලි හා මිනිසුන් ඝාතනයට ලක් වන ප්‍රමාණය වැඩි වීම හා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන්ගෙන් වගා බිම් විනාශයට ලක් කරන ප්‍රමාණය දිනෙන් දින ම වර්ධනය වීමයි. මීට අමතර ව ජල පෝෂක වනාන්තර බිම් වැව් ඇතුළු ජල මූලාශ්‍රවලට අහිමි වීම නිසා ජල අර්බුධ උග්‍ර මට්ටමකට පරිවර්තනය වේ. මේ සියල්ලේ ම අවසන් ප්‍රතිඵලය වන්නේ මී ඔය ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ වගා බිම් හානියට ලක් වීම හා ගොවි ජනතාව අවතැන් වී දැඩි අසීරුතාවයට පත් වීම ය.

රාහුල හිමියන් ගෙන් බදු වශයෙන් ලබා ගත් සියලූ ම වනාන්තර ඉඩම් මේ වන විට එළිපෙහෙළි කර ඇති අතර විදුලි වැටවල් යොදා එම ඉඩම් සියල්ල ම ආවරණය කර තිබේ. මේ නිසා පාලුකඩවල වැව ඇතුළු ව අලි – ඇතුන් ගේ වාසස්ථාන හා ප්‍රධාන ආහාර බිම් වෙත පිවිසීමට ඇති අවස්ථා අහිමි වීම හා අවහිර වීම සිදු වී ඇත. මේ නිසා මෙම සතුන් ගම් වැදීම වර්ධනය වී ඇති අතර දරුණු අලි – මිනිස් ගැටුමක් මෙම ප්‍රදේශයේ නිර්මාණය වී ඇත. මේ තත්ත්වය පාලනය කිරීමට නම් මෙම සියලු විදුලි වැටවල් ගලවා ඉවත් කිරීම මෙන් ම නීති විරෝධී වගා බිම් සියල්ල නැවත අලි – ඇතුන් ඇතුළු සියලූ ම සත්ත්ව ප්‍රජාව වෙනුවෙන් හා ජල පෝෂක බිම් වෙනුවෙන් ආරක්ෂා කළ යුතු ය. එසේ සිදු නොකළහොත් මී ඔය ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ වගා බිම් සියල්ල ම ගොවි ජනතාවත් සමඟ ම විනාශයට ලක් වනු ඇත.

එපමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු අතර නීති විරෝධී ක්‍රියාවල නිරත සියලු පුද්ලගයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්ක කළ යුතු බව ද අවධාරණය කර සිටිමු.

 

leave a reply