Breaking News

ඝාතක රාජ්‍යකින් ජීවිතය අපේක්ෂා කිරීම

අරුණි සමරකෝන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජිවත්වන සියලුම ජනයා මේ මොහොතේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය නම්, covid 19 ගෝලීය වසංගතයේ තර්ජනයෙන් තම ජීවිතය අරක්ශාකරගන්නේ කෙසේද යන්නය . ගෙවීගිය 2021 මැයි 10 වැනිදා වන විට 2624 ක් වන නව ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන අතර ආණ්ඩුවේ වාර්තාවන්ට අනුව අහිමිවූ ජිවිත ප්‍රමාණය 850කි (https://www.hpb.health.gov.lk/en). මෙසේ අහිමිවන්නේ ඔබේ හෝ මගේ ළඟම ඥාති හෝ මිතුරැ/ මිතුරියක විය හැකිය . ආණ්ඩුවේ වසංගත මර්ධන ප්‍රතිපත්ති වෙත තදබල විවේචනයක් එල්ලවී තිබෙන නමුත් එම විවේචනය වැඩකරන ජනතාවගේ හර්ධසක්ෂියේම නියෝජනයක් ද යන්න නැවත විග්‍රහකරගත යුතුය. මන්දයත් විවේචන අනුයෝජිතයන් ගේ හර්ධසාක්ෂිය ජනතා කේන්ද්‍ර නොවීම ඉතිහාසය තුල වූ පාඩම් ඇසුරින් අනාවරණය වන හෙයිනි . එම අශිලාචාර මතකයක් අවධිකරමින් මෙම ලිපිය හරහා ස්ත්‍රී/ පුරුෂ පුරවැසියන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය අතර සම්බන්දතාවය විස්තර කරනු ඇත .

2009 මැයි 19 වැනිදා යනු ශ්‍රී ලංකාට මෙන්ම ලෝක ඉතිහාසයට ද වැදගත් වේ . එනම් , ශ්‍රී ලංකා රාජ්‍ය සහ විමුක්ති කොටි සංවිධානය අතර වූ දිර්ඝකාලින යුද්ධය අවසාන වීමය. ජයග්‍රාහකයන් සහිත සාමයක පැවැත්ම ප්‍රශ්න කළ යුතු අවස්ථාවක , රාජ්‍යත්වයක් පුද්ගලයකු වෙත ආරෝපණය කරමින් , දකුණේ පොදු ස්ථානයන් හි කිරිබත් උයා බෙදාගනිමින් අශිෂ්ට පුරවැසියන් බවට ශ්‍රී ලාංකික බහුතරය පත් වූයේ 2009 මැයි 17 වන දිනය . සමබිම පක්ෂ නායක , දීප්ති කුමාර ගුණරත්න, එම මොහොතේ මහින්ද රාජපක්ෂ යනු , ප්‍රභාකරන් විසින් දකුණේ සිංහලයාට ලබාදුන් ‘තෑග්ග ‘ (https://www.youtube.com/watch?v=32tz7e36ITo)බව‍ට කරන නිර්වචනය හරහා පෙනී යන්නේ මෙම අශිලාචාර යුද්ධය උත්කර්ෂණයට නගමින් රාජපක්ෂ පවුල වටා එක්කරන බලයේ තරමවේ. රාජ්‍ය යනු මහින්ද රාජපක්ෂ බවට පත්වීම යනු අතිශය ත්‍රස්ත්‍ර ක්‍රියාවලිය ක් බවට ඒ ගෙවෙන මොහොතේ දී මෙරට බහුතර සිංහල ජනයා වෙත ප්‍රකාශ කිරීමට සමත් වූ විකල්ප – වාර්ගිකවාදී නොවන ව්‍යාපාරයක් ද සක්‍රය වී නොතිබුණි. එසේම පැවති ව්‍යපාර වුවද එම මොහොතේ දී ජනප්‍රිය දේශපාලනය සමඟ සම්මුඛ වීමට තරම් සවිමත් නොවිය. වික්‍රමබාහු කරුණාරත්නගේ නවසාමාජ පක්ෂය ට සහ යුද්ධයට විරුද්ධ වූ කඳවුර අවසානයේ දී රාජ්‍ය යාන්ත්‍රනය විසින් පිඩාවට පත්කරන විට , ජනතා විමුක්ති පෙරමුණ වැනි ක්‍රියාශීලි විකල්ප දේශපාලනික හඬ ද නිශ්සබ්ද වී තිබුණි. මක් නිසාද යත් , මානෙල් මල් ව්‍යපාර , හරහා යුද්ධය වෙනුවෙන් මුල්‍ය , මානව සහ සාමාජ ප්‍රාග්ධනය ඒකරාශී කිරීමේ ප්‍රධාන භූමිකාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාවට නංවා තිබීමත්, එය එම පෙරමුණේ “ජාතික වගකීම” ලෙස අර්ථකතන වී තිබීමත් හේතුවෙනි (https://www.refworld.org/pdfid/4b6fe28f0.pdf) .

ඝාතනය කිරීම ජාතික වගකීමක් දේශපාලන සංවාදය ගොඩ නැගෙන විට අදටත් නිශ්චිත් සංඛාලේඛන නොමැතිව මරාදමන ලද, අතුරුදහන් කරන ලද , අවතැන් කරන ලද , දෙමළ ජනතාවක් පිඩාවට පත් වී තිබුණි. ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවන 09/11 ප්‍රහාරය සමඟ ලොව පුරා රාජ්‍යන් තුල වූ ගැටුම් විසදීමට “ත්‍රස්තවාදය ට එරෙහි යුද්ධ ” ප්‍රවේශය වේගවත්ව ප්‍රචලිත වන විට, ශ්‍රී ලංකා වේ දී මබ්බිම බේරාගැනීමට යුද්ධය හැර වෙනත් විකල්පයක් නොමැති බවට ප්‍රධාන දේශපාලන ධාරාවේ තීරණ ය විය.ඉතාම අමානුෂික , අශ්ශීල තීරණයක් වු, යුද්ධය, ජාතික අවශ්‍යතාවක් ලෙස සලකන ලෙසට ජනතාව වෙත පැවසුවේ විකල්ප දේශපාලනය තුල සිටි වාරිගික වාදී කණ්ඩායම්ය. එම ජාතික අවශ්‍යතාවය වෙත සංවේදී වී ප්‍රධාන සහ විකල්ප ධාරාවේ දේශපාලන නියෝජනය විසින් අමතක කළ / කිරීමට අදටත් බලකරන එක් අඛ්යනයක් මෙසේ හෙළිදරවු කරමි;

“දෙමළ දරුවෙකු ලෙස මා, යාපනේදී උපන් අතර, දෙමළෙකු වීමේ පළමු ජිවන පිඩාව 1995 අත්දැකිය. ඒ යාපනයේ සිට වන්නිය වෙත ගමන් කිරීමෙනි. පසුදින නැවත යාපනයට පැමිණීමේ අපේක්ෂාවෙන් , ඇඳුම් කැබලි කිහිපයක් සහිතව මා , මිතුරන් සමඟ වන්නියට ගිය ගමනේ දී ප්‍රධාන කරුණු දෙකක් නිරන්තයෙන් සිතට වදදුනි. එනම් , ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඕනෑම අවස්ථාවක අප අත්අඩංගුවට ගත හැකි බව සහ නැවත යාපනය දෙනෙතට දැකිය හැකි වේද යන වේදනාය. නොයෙක් ශාරිරික සහ චෛතසික වේදනා දරා වන්නියට පැමිණි පසු නිදහසක් සහ ස්ථිර ජිවිතයක් පිලිබඳ මැවූ සිහින සුනු විසිනුව ගියේ යුධ පහර දීම් හේතුවෙන් නිරන්තරයෙන්ම අවතැන් වීමට සිදුවීම හේතුවෙනි. එහෙත්, අප ජනයාගේ පාලනයක් කවදා හෝ ඇතිව නිදහසේ සිටීමට හැකි වේ යන ප්‍රර්ථනාව සිතේ ගැඹුරුම තැනක වූ අතර එය ජිවත් වීමට විර්ර්ය සැපයිය. මැලේරියා වසංගතට ගොදුරු වෙමින් වුවද , වන්නි පොළවේ සිසිලසට ආදරය කරමින් නිදහස වෙනුවෙන් බලාසිටියෙමි. එහෙත් 2008-2009 වන විට සියලු බලාපොරොත්තු සුනු විසුනු විය. එක් අතකින් නොනවතින යුද්ධය. මල්ටිබැරල් ප්‍රහාර ඇද හැලෙන විට , සක්‍රය වූ මෝසම් වර්ෂාවේ සුළගෙන් , හිසට සෙවන දුන් ඉටිරෙදි කුඩාරම් ඇතට පියඹා ගියේය. දුඹුරු පැහැ ජලය තාවකාලික පැල්පත තුලට ගලන විට, කුසට අහාරක් නොමැතිව, බිය ගැන්වී සිටි අපට ඩයස්පෝරාව, ඉන්දියා, ඇමරිකා එක්සත් ජනපද සහ යුරෝපා මැදිහත් විමක් විශ්වාසයක් විය . එහෙත් දෑස් ඉදිරිපිට මවගේ ඇකයේ සිටි බිළින්දන් ද , වැඩිහිටියන් ද , ස්ත්‍රීන් ද , පුරුෂයන් ද මරාදමන මල්ටි බැරල් ප්‍රහාරහි අප සාක්ෂිකරුවන් විය. එය මෙතෙක් විඳි සියලු වේදනාවන්ට වඩා ප්‍රභලය (සාරාංශ අනුවාදනයකි : Daya Somasundaram ; Collective trauma in the Vanni- a qualitative
inquiry into the mental health of the internally displaced due to the civil war in Sri Lanka, 2010 , pp , 8-10).”
මෙවැනි ආඛ්‍යාන පමණක් නොව, ශ්‍රී ලංකා හමුදාව වෙත බාර වූ විමුක්ති කොටි සාමාජික / සාමාජිකාවන් සහ හමුදාව විසින් කිසිදු නීතිමය පදනමක් නොමැතිව රඳවා ගත පසු කරන අතුරුදහන් කරන ලද දෙමළ ස්ත්‍රී -පුරුෂයන් ද බිහිකළ , තමන් රාජ්‍ය බව සිතා සිටින රෙජිමයන් සමඟ එක්ව 2009 මැයි 17 වැනිදා වෙන් පසුව දකුණේ බහුතර සිංහල ජනයා සැණකෙළි පැවැත්විය .

කෙසේ නමුත් ,රාජපක්ෂ රෙජීමයේ වූ පොදු දේපල කොල්ලකෑම හේතුවෙන් දකුණේ ප්‍රජාව තුල හටගන්නා අප්‍රසාදයේ ප්‍රතිපලයක් ලෙස , 2015 දී රෙජීමය මාරු විය. බලයට පත් වූ මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ විසින් බහුතරයේ ප්‍රජාතන්තවාදය වෙත යම් ශිෂ්ටකිරීමක් ගෙන ඒමට කරන ලද උත්සාහය අසාර්ථක වන්නේ, ගෝලීය සහ ප්‍රාදේශීය දේශපාලනික වෙනස්වීම්, රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය වංචාවෙත කරුණාව දැක්වීම් සහ වාර්ගික දේශපාලනය ප්‍රචණ්ඩකාරීව ගෙන යාමට අවස්තාව සැලසිමෙනි. නිදසුනක් ලෙස, ඒ වනවිට ආරම්භවන මුස්ලිම්-ජන විරෝධය මුලින් උපුටා දැමීමට සිරිසේන- වික්‍රමසිංහ මෙන්ම විකල්ප දේශපාලන ධාරා නියෝජිතයන් ද අපෝසත් විය . එසේම සිදු තිබු මනුෂ්‍ය ඝාතන වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම තවදුරටත් සැඟව ගිය අතර, වාර්ගිකවාදය පෝෂණය කිරීමට සියලුම රාජ්‍ය නියෝජිතයන් උත්සුක විය. එහි ප්‍රතිපලය වුයේ , රාජ්‍ය විසින් කරන මනුෂ්‍ය ඝාතන , දේශපාලන ධාරාවන් මඟින් සාධාරණය කරන වටපිටාවක් ඇති වීම බව මාගේ දේශපාලනික කියවීම වේ.

මේ අනුව ඝාතක රාජ්‍ය ස්ථාවරව පවතාවගෙන යාමේ අවශ්‍යබව , ශ්‍රමය හැර වෙනත් නිෂ්පාදන මාධ්‍යක් නොමැතිව සිටින පිඩක පංතියට තහවුරු කරමින්, වාර්ගික අනෙකාව ත්‍රස්තකිරීමේන් හැර ඒකීයත්වය පවතාවත නොහැකි බව උදේ -සවස විවිධ ජනමාධ්‍ය මගින් පෙන්වා දෙමින් , වර්තමාන ජනාධිපතිවරයා බලයට ගෙන එන ලදී. එසේම දෙමළා ගෙන් ලෙසම , ඒ වනවිට ජාතික අවශ්‍යතාවය වූ මුස්ලිම් වාර්ගික කණ්ඩායමෙන් සිංහල- බෞද්ධ ආරක්ෂණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ද 2/3 ක බලයක් ලබා දී , 20 වන සංශෝධය සම්මත කරවා සිංහල – බෞද්ධ රාජ්‍යෙයේ පුරවැසියකු (ස්ත්‍රී / පුරුෂ ) වීමේ කල්පානාව සාක්ෂාත් වී තිබුනේය. එහිදී සිදුවූ බරපතලම හානිය ලෙස මා දකින්නේ විද්‍යාව ආගමික සහ වාර්ගික බලපෑමට යටත් වීමය. මෙය කොතරම් ඛේදාන්තයක් වුයේ ද යත් , මුස්ලිම් වෙළඳ ප්‍රජාවගේ අලෙවි කිරීම් තුල වන්ද්‍යාකරනය සිදුවන බවත් , සිංහල- බෞද්ධ මව්වරුන් ගේ උත්පාදක හැකියාව මර්ධනය කිරීමට මුස්ලිම් වෛද්‍යවරයකු කටයුතු කරන බවට ප්‍රචාරණය වන විට , එයට විරුද්ධව ප්‍රබල මතයක් ගෙන ඒමට නොහැකි ව නිහඬ වූ වෛද්‍යවරුන්/වෛද්‍යවරියන් මුණ ගැසීමය. අමතර කරුණක් ලෙස පැවසිය යුත්තේ , රජයේ වෛද්‍යව නිලධාරීන්ගේ සංගමයේ තීරණ ගැනීමේ බලය සහිත කණ්ඩායමේ සංයුතිය නිරීක්ෂණයේ දී පෙනී යන්නේ, එහි වාර්ගික හෝ ලිංගික විවිධත්වයේ නියෝජනයක් නොමැති අංශයක් බවය.

මෙම ඉතිහාසය වර්තමානයේ දී ශ්‍රී ලංකාවට බලපෑ තිබෙන්නේ කෙසේද ? හරිම සරලව කිව හැක්කේ, එදා No Fire Zone වෙනුවෙට අද No Lockdown හරහා, ආණ්ඩුව දැනුවත්වම ජනයා මිය යාමට ඉඩ දෙමින් ද සහ වාර්ගික සහ ආගමිකකරණයට යටපත් වූ විද්‍යාව විසින් පුරවැසියන් (ස්ත්‍රී / පුරුෂ ) ඝාතනය කරමින් සිටින බවය. දැනට පවතින ආර්ථික තත්වය , ශ්‍රී ලංකාව නැවත වසා දැමීමකට ඔරොත්තු නොදෙන බව මම පිලිගනිමි. නමුත් වසංගතය හේතුවෙන් මිය යන්නේ , රාජ්‍ය මමය සිතා සිටින කුලකයේ නියෝජිතයන් නොවේ. දෛනිකව ශ්‍රමය විකිණීම හැරුණු විට කිසිදු නිෂ්පාදන මාර්ගයක් හිමි නොවන ස්ත්‍රී / පුරුෂ කණ්ඩායම් හට වසංගයත සමඟ පොර බදිමින් ජීවිතය රැක ගැනීමට සිදු කණ්ඩායම් වේ . ඔවුන් ගේ ජිවිත හි වගකීමෙන් පලායාමට ආණ්ඩුවට නොහැකිය. එය නිසැකවම 2006 දී ඇරඹෙන යුධ ප්‍රහාර හේතුවෙන් , කුසගිනදර නිවීමට කුලියක් සොයාගන්නේ ද නැතිනම් ජීවිතය රැකගැනීමට වැලිබංකරයේ උක්කුටිකයෙන් වාඩි වෙනවා වාඩි වී සිටින්නේ ද ලෙස දෙමළ ජනයාට පැවති පිඩනයම නොවේද ? මුඛ ආවරණ නොමැතිව විට, බලහත්කාරයෙන් ඔසවාගෙන ගොස් , පොලිස් රියවෙත පටවා ගනු ලැබීම නිකුත් කරන සංකේතය වන්නේ, උතුරැ/ නැගෙනහිරදී බලහත්කාරයෙන් පැහැරගෙන යාම නොවේද ?

එසේම ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසූ (https://www.youtube.com/watch?v=vvnnqhxybSM&t=4035s)ලෙස වසංගතයේ ගොදුරැ බවට පත්වන බිලිදු (ස්ත්‍රී / පුරුෂ ) ජිවිත හි වටිනාකම මෙම රාජ්‍ය නායක කුලකය ට එක් සංඛ්‍යාවක් පමණක් වන්නේ 2006 සිට මල්ටිබැරල් ප්‍රහාරයන්ගෙන් , මරාදමන ලද උතුරු / නැගෙනහිර දී බිලිදු ජිවිත වෙත වූ අසංවේදීත්වයේම දිගුවක්ලෙස නොවේද?

ඝාතනය කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙසට අර්ථකතන කළ ප්‍රධාන සහ විකල්ප දේශපාලන ධාරාවට මේ මොහොතේ ජිවිත රැකීම ජාතික අවශ්‍යතාවක් බවට තේරුම්ගත යුතුවේ. අවම අවශයෙන් ඒ උදෙසා වාරිගික සහ ආගමික හරණයෙන් යුතු විද්‍යාව පදනම් වූ ක්‍රියාමාර්ග වෙත පිවිසීමට බලකරන පොදු බලවේගයක් අවශ්‍ය වේ. ශ්‍රමය හැරුණු විට කිසිදු නිෂ්පාදන මාර්ගයක් හිමි නොවන ස්ත්‍රී / පුරුෂ කණ්ඩායම් වෙතින් වාර්ගිකත්ව බලපෑම ඉවත්කර , මෙම වසංගත සමඟ බැදෙන ආර්ථික සහ සමාජ ගැටළු කියවා ගැනීමේ සාක්ෂරතා මාර්ගයක් ඉතා ඉක්මනින් හදුන්වා දිය යුතුය. එවිට , තමන් අයිතිවන ශ්‍රම පංතිය හඳුනාගැනීමට සහ, ඒ සමඟ වාර්ගික අනෙකා මරාදැමූ ලෙසම තමන් ද මරාදැමීමට මෙම ඝාතක රාජ්‍ය කටයුතු කිරීම ද ඔවුන් අවබෝධකරගනු ඇත

අරුණි සමරකෝන්

leave a reply