Breaking News

පොලීසියට මිනී මැරීමේ අයිතියක් නැති බව පොලිසිය බාර ඇමතිට හදිසියේ මතක් වෙයි

තිරුක්කෝවිල් පොලිසියේ සාජන්වරයකු විසින් සිදු කළ වෙඩි තැබීමෙන් සිවුදෙනකු මරණයට පත්ව තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රැකියාවේ මොනතරම් පීඩනය ආවත් හිතුමනාපේ මිනිමරන්න කිසිවකුටත් අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසා තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයා කිසියම් රාජකාරියකට පොලිසියෙන් පිටව සිටියදී පසුගියදා (24) රාත්‍රී 10.30 පමණ පොලිස් චෝදනාගාරයේදී සිදුවූ බව කියන මෙම වෙඩි තැබීම නිසා නිලධාරින් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇත. පසුව කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකු 25වනදා මියගොස් තිබුණි.

රාත්‍රි ස්ථනාධිපතිවරයා පොලිසියට පැමිණෙනවාත් සමග සැකකාර සාජන්වරයා ස්ථානාධිපති පැමිණි පොලිස් ජිප් රථයට ද වෙඩි තබා ඇත. ඒ අවස්ථාවේ ජීප් රථය පාලනයෙන් ගිලිහි ගොස් ගොඩනැගිල්ලක ගැටී නතර වී ඇත.

මිය ගොස් ඇති නිලධාරින් ලෙස පොලිස් සැරයන් 44132 කාදර්, පොලිස් කොස්තාපල් රියැදුරු 18382 තුෂාර, පොලිස් කොස්තාපල් 78857 ප්‍රබුද්ධ, සහ පොලිස් කොස්තාපල් 8861 නවිනින් යන නම් නිවේදනය කර ඇත.

මේ ආකාරයට වෙඩි තිබූ බව කියන සැරයන්වරයා වෙඩු තැබීමට යොදාගත් ටී56 අවියද සමග ඇතිමලේ පොලිසියට බාරවී මෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව පැවසේ.

වෙඩි තැබූ පොලිස් සැරයන්වරයා පොලිස් නිලධාරීන් විසින් සිදුකරන අඩත්තේට්ටම් විහිළු තහළු නිසා දැඩි පීඩනයෙන් සිටි බව ඔහුගේ මව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ. පොලිස් නිලධාරීන් තම රාජකාරි කටයුතුවලදී මුහුණ දෙන විවිධ අපහසුතා, රැකියා අයිතීන් අහිමිවීම, නිසි වැටුප් නොලැබීම වැනි හේතු නිසා දැඩි පීඩනයෙන් සිටීම වෙනම ගත යුතු කාරණයකි.

අපගේ අවධානය යොමුවන්නේ පොලිසිය බාර ඇමතිවරයා කරන හිතු මනාපෙට මිනී මැරීමට කාටවත් අයිතියක් නැතැයි යන ප්‍රකාශය සම්බන්ධයෙනි.

මීට මසකට පමණ පෙර ටින්කරින් ලසන්ත නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු පොලීසිය විසින් මරා දැමූ අවස්ථාවේ පොලිස් ඇමතිවරයා හිතු මනාපේ මිනී මැරීමට කාටවත් අයිතියක් නැති බව පැවසුවේ නැත. සඟවා තිබූ පිස්තෝල් 2 ක් සහ අත්බෝම්බයක් සෙවීම සඳහා කළුතර දියගම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ නිසා ඔහුට වෙඩි තැබූ බවයි.

මාතර කැකණදුර ⁣ටින්කරින් ලසන්ත නොහොත් H.L. ලසන්ත නැමැත්තා අත්අඩංගුවට ගෙන කළුතර දූෂණ මර්දන ඒකකය මගින් ආයුධ පෙන්වීමට රැගෙනගොස් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව මෙම ඝාතනයට පෙර දින සවස සැකකරුගේ නීතිඥවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබුණි.

මේ එකම සිදුවීම නොවේ. මෑත කාලීනව එළෙස ආයුධ පෙන්වීමට යයි රැගෙන ගොස් කරන ලද ඝාතන සහ පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාමේ සිදුවීම් පෙළක් අපිට නම් කළ හැක.

පොලිසිය බාර ඇමතිවරයාට හිතු මනාපෙට මිනී මැරීමේ අයිතියක් පොලීසියට නැති බව ඒ කිසිදු අවස්ථාවක මතක් වූවේ නැත.

 

leave a reply