2014 අවුරුද්ද, මම එතකොට පේරාදෙණි සරසවියේ සිවුවන වසර. මාක්ස්වාදී දර්ශනය ඉගෙන ගැනීමට මහත් පිපාසයෙන් හිටියේ. දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ‘දේශපාලන මතවාද’ කියලා පාඨමාලාවක් තිබුණත් මාක්ස්වාදය ගැන සරල හැදින්වීමක් මිස ඉන් එහා දෙයක් ලබාගන්න බැරිවුණා. ඒ නිසා මම දර්ශනය දෙපාර්තමේන්තුවේ ‘මාක්ස්වාදී දර්ශනය’ by course එකක් විදිහට හදාරන්න ගියා.
මාක්ස්වාදය ගැන දේශන කරන්න ආපු දේශකයා කිවුවා “කාල් මාක්ස් කියන්නේ ගෑනිටවත්, දරුවන්ටවත් වැඩක් නැති මිනිහෙක්” කියලා. ඒත් ඒ දෙපාර්තමේන්තුවේ මේ වැඩක් නැති මිනිසාගේ රාමු කරපු පිංතූරයක් බිත්තියේ එල්ලලා තිබුණා.
ඒ වගේ තමයි මේකත්,
2023 මැයි 01, කම්කරු දිනය දවසේ ‘මාක්ස්, ලෙනින් කියන්නේ ඝාතකයෙක්’ කියලා Chinthana Daharmadasa කියලා තිබුණා. මට මේ ප්‍රකාශ දෙක සහ මාක්ස්වාදය පිළිබද ක්‍රමවත් විවේචනයක් කිරීමට අපෝසත්, හුදෙක් මාක්ස්වාදය ගැන මෙවැනි අවලාද පමණක්ම නගන අය දැක්කම සිහියට එන්නේ Terry Eagleton ය. ඔහු අපූරු පොතක් ලිවුවා ‘Why Marx was Right?’ (මාක්ස් නිවැරදි ඇයි?) කියලා. මාක්ස්වාදය ගැන ඊගල්ටන්ගේ කන ගැටුණු අවලාද එහෙන් මෙහෙන් ඇහිද ගෙන විධිමත් ලෙස ප්‍රශ්න 10ක් හදලා ඒවාට සිත්ගන්නා සුලු ආඛ්‍යාන රටාවකින් සියුම්වත්, වඩා තාර්කිකවත් පිළිතුරු සැපයුවා. මේ ඉන් එකක් ඉදිරිපත් කරන්නේ මාක්ස්වාදය ගැන ක්‍රමවත් විවේචනයක් සිදු කිරීමට අපෝසත්, චින්තන දාසලා වගේ විවේචන බුද්ධියක් නැති විවේචනය හා අවලාද නැගීම අතර වෙනස නොදත් ඒ පඩිවරයන් ගැන මහත් වූ අනුකම්පාවෙනි.
ගැටලුව
“න්‍යායක් ලෙස ගත් විට මාක්ස්වාදය ආකර්ශණීය දෙයක් විය හැකිය. එහෙත් එය භාවිතයේ යෙද වූ සෑම තැනකදීම ප්‍රතිඵලය වූයේ අපරිමිත ප්‍රමාණයකින් දියත් වූ භීෂණ ක්‍රියා, ඒකාධිපතිත්ව සහ සමූල ඝාතනයන් ය. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ගැන එතරම් අදහසක් නැති සනීප පුටුවල ලැග සිටින බටහිර රටවල ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ට මාක්ස්වාදය බොහොම ආකර්ෂණීය දෙයක් ලෙස දිස්වීමට පුළුවන. එහෙත් මිලියන සංඛ්‍යාත සාමාන්‍ය මිනිසුන්ට එය අභිමුඛ වූයේ ඝාතනය, දුශ්කරතා, වදහිංසා පැමිණවීම, බලහත්කාරයෙන් වැඩගැනීම, බිදවැටුණු ආර්ථික සහ බිහිසුණු ලෙස මර්දනකාරී රාජ්‍ය තන්ත්‍රයන් පද්ධතියක විලාශයෙනි. එසේ තිබියදීත් මේ න්‍යායට සහයෝගය දක්වන යමෙක් සිටීනම් එක්කෝ ඔවුන් මන්දබුද්ධිකය. නැතිනම් ස්වයං මෝහනයට ලක්වී තිබේ. එසේත් නැතිනම් සදාචාරමය වශයෙන් ඔවුන් වංචනිකය. සමාජවාදය යනු නිදහස අහිමි කිරීමයි. ඒ වගේම සමාජවාදය විසින් වෙලදපොළ අහෝසි කරන නිසා භාණ්ඩ හිග වීම හා පෝලිම් ඇතිවීමද සිදු වේ. ඒ නිසා සමාජවාදය යනු භාණඩ හිගකමට පෝලිම් ඇතිවීමට තිබෙන සමාන වචනයකි”
පිළිතුර
“බටහිර රටවල පිරිමි සහ ගැහැණු බොහෝ දෙනා ස්වකීය ඉතිහාසය තුළ ලෙයින් නැහැවුණු සමාජ සැකැස්මවලට උද්‍යෝගිමත්ව සහයෝගය දී තිබේ. උදාහරණයක් ලෙස ක්‍රිස්තියානි තන්ත්‍රය සැලකිය හැක. එසේම මුළු මහත් ශිෂ්ටාචාර ලේ තුළ ගිල්වූ ක්‍රියාවන්ට විනීත සහ සානුකම්පික ලෙස සහයෝගය ලබාදීම් වලට ද ඔවුන් ප්‍රසිද්ධය.
ලිබරල්වරු සහ කොන්සර්වෙට්ව්වරු එවැනි ක්‍රියාවන්ට සිය සහය පුදා ඇත.නූතන ධනවාදී ජාතීන් වූ කලී වහල්භාවයේ, සමූල ඝාතනයේ, ප්‍රචණ්ඩත්වයේ සහ සූරාකෑමේ ඉතිහාසයක නිර්මාණයෝ වෙති.
මාඕගේ චීනය සහ ස්ටාලින්ගේ සෝවියට් සංගමය තරමටම ඒවායේ ඉතිහාසයද සාහසිකය. ධනවාදයට ලෙයින් සහ කදුලින් නැහැවුණු ඉතිහාසයක් හිමිය. මාඕවාදය සහ ස්ටාලින්වාදයත් ධනවාදයත් අතර වෙනස නම්, එහි ඉතිහාසයේ සිදු වූ එම සාහසික ක්‍රියා අමතක වී යන තරම් කාලයක් ස්වකීය පැවැත්ම සාදා ගැනීමට ධනවාදය සමත්ව තිබෙන අතර එලෙස නොනැසී පැවතීමට තරම් මාඕවාදය හෝ ස්ටාලින්වාදය වාසනාවන්ත නොවීය. මාක්ස්ට මෙම කරුණ අතහැරුණා නම් එසේ වූයේ ඔහු ජීවත් වූයේ ධනවාදය නිර්මාණය වෙමින් තිබූ යුගයේ ජීවත් වූ නිසාය.
දහනව වන සියවස අග භාගයේ මුළුමනින්ම වැලැක්විය හැකිව තිබූ සාගත, නියග සහ වසංගත නිසා මිලියන ගණන් ඉන්දියානුවන්, අප්‍රිකානුවන්, චීනුන්, බ්‍රසීලියානුවන්, කොරියානුවන් හා රුසියානුවන් මියගිය ආකාරය ගැන මයික් ඩේවිස් සිය පසු වික්ටෝරියානු සමූළ ඝාතන (Late Victorian Holocausts) නැමති කෘතියේදී ලියයි. මේ බොහෝ ව්‍යසනයන්ට හේතු වූයේ නිදහස් වෙළදපොළ ගැන තිබුණු ආදනග්‍රාහී විශ්වාසයයි. නිදසුනක් ලෙස ධාන්‍ය මිළ ඉහළ මට්ටමක තබා ගැනීම සදහා ජනතාවට ධාන්‍ය තොග නොලැබෙන පරිදි එම ධාන්‍ය තොග ජලයේ ගිල්වා දැමීම දැක්විය හැකිය. මෙබදු ම්ලේච්ජ ක්‍රියා වික්ටෝරියානු යුගයට පමණක් සීමා වූ ඒවා නොවේ.
විසිවන සියවසේ අන්තිම දශක දෙක තුළ ඩොලර් දෙකකට වඩා අඩු ආදායමකින් ජීවත් වන ලෝක ජනතාවගේ සංඛ්‍යාව මිලියන සියයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇත. වත්මන් බ්‍රිතාන්‍යයේ ළමුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ අවම පෝෂණ අවශ්‍යතා රේඛාවෙන් පහළය. එසේ සිදුවන්නේ බැංකුකරුවන් ස්වකීය වාර්ෂික දීමනා පවුම් මිලියන ගණන්වලින් පුම්බා ගන්නා අතරතුරේදීය”.
Asanka Abeyrathna