Breaking News

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය.

” IMF මර උගුලට – ඉන්දියානු විජිතකරණයට එරෙහි එළියේ බලයක් ” තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින පෙලපාලිය සහ ජන රැළිය පැවැත්වීමට තීරණය කර ඇත. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ගෙවී ගිය මාස කිහිපය තුළ ලංකාවේ දේශපාලනය තීරණාත්මක පරිච්ඡේදයක් පසු කරමින් සිටින බව පැහැදිලිය. බලයට පත් වීමට ප්‍රථමයෙන් ආණ්ඩුව කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර කොන්දේසි ලිහිල් කරගැනීමට කටයුතු කරන බවයි. නමුත් ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව කිසිඳු සංශෝධනයක් නොකර රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ නවලිබර් වට්ටෝරුවම වත්මන් ආණ්ඩුවත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ අනුව මේ වනවිටත් රාජ්‍යය ආයතන පෞද්ගලිකකරණය, රැකියා සහ වැටුප් කප්පාදුව, අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකකරණය, වැනි නවලිබර් වැඩපිළිවෙළවල් වේගයෙන් ක්‍රියාත්මක වේ. එයට සමගාමීව රට දිනෙන් දින ණය උගුලේ හිර කරමින් පවතින අතර මෙවර අයවැය මගින් ද බිලියන ගණනින් ණය ගැනීමට අනුමැතිය හිමි වී තිබේ. සාමාන්‍ය ජනතාව මත අධික බදු බරක් පටවමින් ධනපති සමාගම්වලට කෝටි ගණනින් බදු සහන ලබා දීමද මේ වැඩපිළිවෙළේම දිගුවකි.
මේ අතර ලංකාවේ ස්වාධිපත්‍යයට අතිශයින් හානිදායක ගිවිසුම් කිහිපයක් ඉන්දියාව සමග අත්සන් කිරීමට ද ආණ්ඩුව පසුගිය අප්‍රේල් 5 දින කටයුතු කලේය. ලංකාව ජාත්‍යන්තර යුද්ධයකදී ඉලක්කයක් විය හැකි ආරක්ෂක ගිවිසුමක් ද මේ ගිවිසුම්වලට අයත්ය. මෙයට අමතරව ලංකාවට ගෙන්වන ඖෂධවල ගුණාත්මක  භාවය පහත දමා ප්‍රමිතියෙන් බාල ඉන්දියානු ඖෂධ ගෙන්වීමටත්, රටේ බලශක්තිය හැසිරවීමේ බලය ඉන්දියාවට පැවරීමටත් මෙම ගිවිසුම් මගින් එකඟ වී ඇත.
වත්මන් පාර්ලිමේන්තුව තුළ තිබෙන විපක්ෂ දේශපාලන පක්ෂ මේ අනතුර දිහා නෑසූ කනින් බලා සිටී. ඒ වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට ක්‍රියාත්මක කරගැනීමට බැරි වූ නවලිබර් වැඩපිළිවෙළම බැවිනි. එබැවින් විපක්ෂයට තිබෙන්නේ ප්‍රතිපත්තියමය ප්‍රශ්නයක් නොව ඔවුන්ගේ වැඩපිළිවෙළ වෙනත් පක්ෂයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රශ්නයකී. ආණ්ඩුව IMF සහ ඉන්දියානු බලහත්කාරය ඉදිරියේ දණ නවා නවලිබර් වැඩපිළිවෙළ වේගයෙන් ක්‍රියාත්මක කරන පසුබිමක විපක්ෂය ප්‍රතිපත්තියමය විවේචනයක් නොකර ඇඳුම්වල බොත්තම් නොදැමීම වාහනයේ දොර ඇරීම වැනි සරල විවේචනවලට සීමා වී තිබෙන්නේ එබැවිනි.
මේ හේතුවෙන් වත්මන් ආණ්ඩුවේ නවලිබර් වැඩපිළිවෙළ පරාජය කිරීමේ වගකීම පැවරෙන්නේ මෙරට කම්කරු පන්තියට වේ. IMF මර උගුලත් ඉන්දියානු බලහත්කාරයත් පරාජය කළ හැකි වැඩකරන ජන්තාවගේ බලයක් පාර්ලිමේන්තුවෙන් එළියේ නිර්මාණය කළ යුතුය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය සංවිධානය වන්නේ එකී අරමුණ පෙරදැරි කරගෙනය.
ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින පෙලපාලිය දහවල්  12.00ට හැව්ලොක් ටවුන් BRC පිටියෙන් ආරම්භ වේ.  පෙලපාලිය  හයිලෙවල් පාර ඔස්සේ කිරුලපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණය දක්වා ගමන් කිරීමට නියමිතය. මැයි දින රැළිය සවස 3.00ට කිරුලපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මැයි රැළිය සඳහා  කම්කරු අරගල මධ්‍යස්ථානය, ගොවි අරගල ව්‍යාපාරය, නිදහස උදෙසා කාන්තා ව්‍යවහාරය, විප්ලවවාදී ශිෂ්‍ය සංගමය සහා Youth for Change යන සංවිධාන සම්බන්ධ වේ.
ගොවී අරගල ව්‍යවහාරයේ විමල් වත්තුහේවා සහෝදරයා, Youth for Change සංවිධානයේ ළහිරු වීරසේකර සහෝදරයා, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මංගල මද්දුමගේ සහෝදරයා, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න සහෝදරිය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා, වතු කම්කරු මධ්‍යස්ථානයේ මාක්ස් ප්‍රභාකර් සහෝදරයා, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා යන කථිකයින් මැයි රැළිය ආමන්ත්‍රණය කරනු ඇත.

leave a reply