Breaking News

වසන්ත සොයා පිහි පහර පැමිණ තිබුණේ පිටුපසිනි …!

කැලණි විශ්ව විද්‍යාලයේ සිදුවූ හෙලිදරව්ව තුළින් ශිෂ්‍ය ව්‍යාපාරය හමුවේ ඇති අභියෝග පිළිබඳව නැවත සිතා බලන්නට බල කරනු ලැබ තිබේ. ජනක සිසිත ඝාතනය සිදුවූයේ ද අරගලයක් ගොඩනැගෙමින් තිබූ පසුබිමකය. නමුත් ඒ මොහොතේ ඝාතකයන් පැමිණි ඉදිරියෙනි. (නිරායුධ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඝාතනය කිරීම සම්බන්ධව අදටත් විධිමත් පරීක්ෂණයක් සිදුවූයේ නැත.) කැලණිය විශ්ව විද්‍යාලයේ සිදුවූ ජුගුප්සාජනක සිදුවීමට අනුව ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශයන් වෙත ලබා දී ඇත්තේ සිසු නායකයන් පිටුපස සිටිමින් බව පැහැදිලිය. (කුමන්ත්‍රණ හෙළිවීමෙන් අනතුරුව කැලණි විශ්වවිද්‍යාලය තුළ දී නම් ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් මේ පිළිබඳව පොදු ශිෂ්‍යයින් වෙත පැහැදිලිව සාධක සහිතව කරුණු ඉදිරිපත් කර තිබිණි.

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ගමන් කළ යතුරු පැදියේ අංක පවා ආරක්ෂක අංශ වෙත ලබාදී තිබූ බව මේ වන විට හෙළිදරව් වී තිබේ. මේ සියල්ල සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රබල අරගලයක් සිදුවෙමින් තිබෙන පසුබිමක ය. විටෙක එම අරගලය ගෝඨාභය රාජපක්ෂ ධූරය දමා පලා යාම දක්වා ප්‍රබල විය. අනතුරුව නැවත මර්දනය පැමිණියේය. මේ සියලූ තත්ත්වයන් තුළ අන්තරේ භූමිකාව ඉතා ප්‍රබල විය. ගෝඨා ගෝගම අරගලය ඇරඹුණේ අන්තරේ මැදිහත් වීමෙන් බව මා අදහස් නොකරමි. නමුත් ඒ මහජන නැගිටීම දක්වා පැමිණි අරගලය තුළ අන්තරේ සටන්කාමිත්වය, මගපෙන්වීම තීරණාත්මක විය. ගෝල්ෆේස් අරගලය ඇරැඹීමත් සමගම අන්තරය එය නිවැරැදි ලෙස පීළිගත කරමින් ඉදිරියට මෙහෙයවීය.
අරගලය පසු බැසීමෙන් අනතුරුව සකලවිධ මර්ධනයන් හමුවේ නැගී සිටියේ අන්තරයයි. වෘත්තිය සමිති දේශපාලන පක්ෂ සමාජ ක්‍රියාකාරීන් එක් කරගනිමින් ඉදිරියට පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. එබැවින් ශිෂ්‍ය ව්‍යාපාරය නිහඬ කිරීම සමාජය නිහඬ කිරීමේ එක් පියවරක් බව සත්‍යකි.
අද දවසේ ශිෂ්‍ය ව්‍යාපාරය බිඳ දමන්නට තැත් කරන්නේ අන් කිසිවක් නොව එම අවශ්‍යතාවය උදෙසා ය. ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් මෙවර පිහි පහර පැමිණ ඇත්තේ පිටුපසිනි. එය මේ මොහොතේ හෝ අවබෝධ කර ගනිමින් සිසු ජීවිත සුරක්ෂිත කර ගැනීමට හැකි වීම සතුටට කරුණකි. ශිෂ්‍ය ව්‍යාපාරය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් විශ්වවිද්‍යාල පද්ධතිය පුරාම සිදු වී ඇති පාවා දීමේ ජාලය හෙළිදරව් කරගැනීම අද දවසේ ජය ගත යුතු අභියෝගයකි.
ශිෂ්‍ය ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට එක්වෙමු…!

Tharinda Elvitigala

leave a reply