Jorge Luis Borges කියන ලේඛකයා පාඨකයන්ට කියලා තියෙනවලු තමන්ට නොදැනෙන කවි අතහරින්න කියලා. මම මේ උපදෙස නම් අකුරටම ඉටු කරනවා. විශේෂයෙන්ම ප්‍රේමය හා වියෝව හෙවත් ‘ලව් ඉලව්’ පද්‍ය මම ගොඩක් ම අතාරිනවා. පරණ කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනාම, “මටද ආදරේ කියා තිබේ” කියන එක මොන මළ පෙරේත වැඩක් ද? කෙල්ල කැම්පස් තේරිලා කොල්ලට බැරි උනා කියලා, සම්බන්ධයත් අත ඇරලා, ලොකු වැඩක් කළා වගේ ගීයකුත් ලියනවා නම් ඒ මොන ආදරයක්ද? කොටින්ම කියනවා නම් රහස් අහස් තලයට පවරනවා කියලා ලියලා, ඇත්තටම කරන්නෙ ඒ කතාව නමත් එක්ක රටේම පතුරවන එක…. ගොඩක් ලව් ඉලව් කවි වලත් තියෙන්නෙ වෙන වෙන ලස්සන වචන වලින් එකම කතාවක් ලියලා. ඕවා නම් ඇත්තටම මට දැනෙන්නෙ නෑ.
මම කියවන ප්‍රේමය හා වියෝව ගැන කවිත් තියනවා. කූඩුවක දාලා, තුන් වේල කන්න දීලා තියන ආදරය නිදහස් කරලා, බඩගින්නේ උනත් අහසේ පියාඹවන්න හදන කවි. වඩාත් නිදහස් හා සුන්දර ආදරයක් පිළිගන්න සූදානම් මිනිස්සු හදන්න උත්සාහ කරන කවි. ඉබේම ‘හරි’ කියලා හිතෙන දේවල් වලට එරෙහිව හිතන එකට කියන්නෙ ප්‍රතිසහඥානමය චින්තනය ලු. මාව එහෙම හිතන්න පොළඹවනවා නම්, ප්‍රේමය හා වියෝව මාතෘකා කරගත්ත කවි මට දැනෙනවා.
ඉනෝකා වැලිකඩආරච්චි ගේ ‘සඳ පතර අහස යට’ කවි පොතේ කවි වැඩි හරියක් ප්‍රේමය හා වියෝව ගැන. ඒ හැම කවියක්ම මම කියෙව්වා.
කවියේ යෙදෙන ස්වභාවෝක්ති අලංකාරය කියන එක අපේ බැචෙක් කියා දුන්නෙ පැරණි පඬි කියමනක් ඇසුරෙන්. ‘වකුටු වූ රතු පාට හොටයකින් ද, මරා පැහැ පියා සඟලකින් ද, පාට තුනක ඉරි ඇති ගෙලකින් ද, මිහිරි හඬකින් ද යුතු, රංචු ගැසී වසන මොවුන් ගිරවුන් මය’ (මතක හැටියට ඈ…. කෑලි ගොඩක් වැරදි ඇති). ඉතින් ස්වභාවෝක්ති අලංකාරය කියන්නෙ යම් දෙයක් නොයෙක් ආකාර වලින් වර්ණනා කරන එක ලු. ඉනෝකා ගෙ පොත කියවද්දි මේ කතාව තමා මතක් උනේ. මොකද ඒ මුළු පොතම ගත්තොත් ආදරය හා වියෝව ගැන ස්වභාවෝක්ති අලංකාරයක් වගේ.
ඒ පොතේ කවි, ආදරය හා වියෝව දිහා උඩින්, යටින්, වමෙන්, දකුණෙන්, ඉස්සරහින් හා පිටිපස්සෙන් බලනවා. එක එක පැති වලට හරවලා ආලෝකය වැටෙන්න ඇරලා බලලා, කළුවරට දාලත් බලනවා. කෑලි ගලවලා හා කණපිට හරවලාත් බලනවා. අන්තිමට විවිධාකාර සංකල්පරූප වල ඔතලා, විවිධ දෘෂ්ඨිකෝණ වලින් ඉදිරිපත් වෙනවා.
එක කවියක නම ‘රාස්සියක්, රෝස මලක් හා බඹරෙක්’. බැලූ බැල්මට කළු පාට චරිතය වන මනුස්සයාට, තමන්ට හොඳින් සලකන බිරිඳව පේන්නෙ රාස්සියක් වගේ. වෙනත් පෙම්වතියක් පේන්නෙ සුදු රෝස මලක් වගේ. ඒත් කතාව කියන්නෙ ඒ කළු චරිතය වන මිනිහා. සාමාණ්‍යයෙන් පාඨකයා කතාව කියන කෙනාගෙ පැත්ත ගන්න පොඩි පෙළඹීමක් තියෙනවා නෙ? එහෙනම් ඇයි මෙහෙම ලියැවෙන්නෙ?
බලාගෙන ගියාම තුන්දෙනාම වින්දිතයෝ. ප්‍රධානම වින්දිතයා රාස්සියක් වගේ පේන බිරිඳ. තමන්ව පිළිකුල් කරන බව දැන හෝ නොදැන, එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න සිදුවීම මොන තරම් අසාධාරණයක් ද, අභාග්‍යයක් ද? මොන වේදනාව විඳලා හරි එතනින් අයින් වෙන එක වඩා හොඳ නැද්ද? දෙවනුව මිනිහා. හැඟීම් බැඳීම් කියන්නෙ කෙනෙකුට ඕනෙ විදිහට ඇතිවෙන හෝ වෙනස් වෙන දේවල් නෙවෙයි නෙ. එයාගෙ ජීවිතේ ඕනෙ දේ නොලැබීම නිසා, එයාට වරදක් නොකළ අහින්සකාවියකට නපුරුකම් කරන්න තරම් කාලකණ්ණි වෙලා. තෙවනුව අනිත් කාන්තාව. ඇත්තටම ආදරය නිසා හෝ යම් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් එයා තහනම් ආදරයකට යොමු වෙලා. ඒ දෙකෙන් කොයි එක උණත් හරි කණගාටුදායක තත්වයක්.
ඉතින් මේ ඔක්කොටෝම මුල මොකක්ද? දෙදෙනෙක් අතර බැඳීමකින්, එක්කෙනෙකුට ඉවත් වෙන්න බැරි කරන නීතිමය ලියැවිල්ලක්. ඒ වගේම ඒ හා බැඳුණු සමාජයේ අපවාද. ආදරය අස්සන් ගහපු කොලයක් බවට පත් කරන එක හරිද? වඩාත් හොඳ ලෝකයක දී ආදරවන්තයන් දෙන්නෙක් සදාකාලිකව බැඳ දාන මේ විවාහය කියන නීතිමය හා ‘ලෝකාපවාදමය’ විලංගුවකින් තියෙන්න ඕනෙද?
ඒකට පිළිතුර වැදගත් නෑ. ඉනෝකා ගේ කාව්‍ය නිර්මාණය මාව මේ තරම් දුරක් ප්‍රතිසහඥානමය චින්තනයකට යොමු කරපු එකයි වැදගත්. ලව් ඉලව් කවි වැඩි උනත්, බෝහේස් ගේ නියමය අනුව ‘සඳ පතර අහස යට’ කියන්නෙ මම අතහරින්න ඕනෙ නැතිම කවි පොතක්!