Breaking News

පෙරටුගාමීන්ට ( ජන අරගල සන්ධානය) තැනක් දෙමු.

අරවින්ද රත්මල්ගම

රටේ බල පෙරළියක් සිදුව ඇති බව අප දනිමු. රටේ ජනපතිවරණයකින් බලය ලැබූ පක්ෂයකට ඒ ආසන්නයේ ම ඇති මහ මැතිවරණයේදී ද බලය ලැබෙන බව දේශපාලනය ගැන දැනුමක් නොමැති අය පවා දන්නා කාරණාවකි.
ඒ අනුව මෙවර ජාතික ජන බලවේගය රටේ වැඩි ආසන ගණනක් ලබා ගනු ඇත. ගැටලුව එය නොවේ. ඕනෑ ම රටක, ඕනෑ ම රජයක් නිවැරදි දිශාවකට ගමන් කරවීමට ශක්තිමත් නැතිනම් හොඳ විපක්ෂයක් අවැසි ය.
මෙතෙක් බලය නොලබා සිටි ජාතික ජන බලවේගය සිදු කළේ, බලය ලබා සිටි අය විවේචනය කිරීම සහ වැරදි පෙන්වා දීමයි. එය පසුගිය පාර්ලිමේන්තුව දෙස බැලිමේදී අපට වැටහෙණු ඇත.
අද ඔවුන් බලය ලැබූ පසු ඔවුන්ගේ වැරදි පෙන්වා දීමට පැරණි බලය ලබා සිටි එක්සත් ජාතික පක්ෂය, පොහොටිටු හෝ සමගි ජන බලවේගයට නොහැකි වන්නේ ඔවුන් කළ වැරදි නිසා මෙන්ම ජා.ජ.බලවේගය හා තර්ක කර සටන් වැදීමට ශක්තියක් නොමැති නිසාවෙනි.

එමෙන්ම ජාතික ජන බලවේගයට ඔවුන් අභියෝගයක් ද නොවේ. එසේනම් අප ඔවුන් විවේචනය කළ හැකි කිහිපදෙනෙකුට හෝ අවස්ථාව ලබා දිය යුතුය.

එයට හොඳ ම විකල්පය ලෙස අපට පෙරටුගාමීන් ( ජන අරගල සන්ධනය) හැඳින්විය හැක. ඔවුන් කුඩා බලයක් ඇති කණ්ඩායමක් වුවද ඔවුන් වම නියෝජනය කරන, පීඩිත පංතිය ගැන කතා කරන හොඳ සටන්කාමින් පිරිසකි.
පැරණි ජනතා විමුක්ති පෙරමුණේ නියම ගුණාංග අද ඔවුන් උකහා ගෙන ඇත. ජාතික ජන බලවේගයේ වැඩ බැලීමට රටේ බලය ඔවුන්ට ලබා දුන්නා සේ ජන අරගල සන්ධානයේ වැඩ බැලීමට ආසන දෙකක් ලබා දීමේ කිසිදු වරදක් නැත.
පොහොට්ටුවෙන්, එජාපයෙන්, සමගි ජන බලවේගයෙන් ඉවත් වූ, ඔවුන් ගැන කලකිරී සිටින ජනතාවට මෙවර ජාතික ජන බලවේගය හා ගැටීමට ජන අරගල සන්ධානය අත්හදා බැලිය හැකිය.
වාමාංශික යැයි සිතා, ජ.වි.පෙ. යැයි සිතා ජාතික ජන බලවේගයට ජන්දය දී එම බලාපොරොත්තු බිඳී ගිය අයට ද ජන අරගල සන්ධානය අත්හදා බැලීමේ වරදක් නැත. ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාර ශක්තිය දුර්වල බව අපට පෙනී ගොස් ඇත. එහෙත් ඔවුන් ද හොඳ තරගකරුවන් කිහිපදෙනෙකු සටන් බිමට බස්සවා ඇත.

ඉන් ඉදිරියෙන් ම කොළඹින්, පුබුදු ජාගොඩ තරග කරමින් සිටී. අති දක්ෂයෙකු වන පුබුදු උගත්කම පමණක් නොව පෞද්ගලික ප්‍රතිලාබ නොතකා ජනතාව වෙනුවෙන් වාම අදහස් පෙර දැඩි කොට ගනිමින් කළ කැපවීම අප සඳහන් කළ යුතු නොවේ.

එමෙන්ම ගාල්ලෙන්, ලහිරු තරග වදින අතර, ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙයවා අත්දැකීම් ලත් උගත් තරුණයෙක් වන අතර, ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තියක් ද ඇති බව නොරහසකි.
ගම්පහින්, රටේ මෑත කාලීන ශිෂ්‍ය ව්‍යාපාරයේ රන් අකුරින් නම ලියවා ගත් අති දක්ෂයෙකු වන වසන්ත මුදලිගේ සටන් වදිමින් සිටී. පසුගිය අරගල සමයේ පාර්ලිමේන්තු වට රවුමේ සිද්ධිය ඔබට අමතක වීමට කිසිදු ඉඩකඩක් නැත. ප්‍රහාර හමුවේ තම සගයන් සමග ඒ කළ සටන, රටේ සමාජවාදි ශිෂ්‍ය සංගමයට විවේචන තිබූ අය පවා සහය දුන් සටනක් බව අප දනිමු. එවන් තරුණයන්ට අප අවස්ථාව ලබා දිය යුතු ම ය.
ගම්පහ යනු පබාලා ආ ආසනයකි. රණතුංගලා වැනි හොරුන් පත් වූ ආසනයකි. එම පාදඩ, රටට අහිත කර උන් පත්කර හෙම්බත් වූ ජනතාවනි, මෙවර මෙම තාරුණ්‍යයට ඉඩක් ලබා දෙන්න.
අප ආණ්ඩු පෙරලිය යුතු නැත. පැරණි සාම්ප්‍රදායික උන් එලවා නව රජයක් පත්වීමේ සතුට අපට ද ඇත. එහෙත් එය නිවැරදි මඟ ගමන් කරවීමට නිවැරදි, ශක්තිමත් විපක්ෂයක් අවැසි ය.
පසුගිය සමයේ විපක්ෂයක් සිටිය ද විපක්ෂයේ කාර්යය භාරය ජ.වි.පෙ. මන්ත්‍රීන් තිදෙනෙකු මත පැවරුණේ කෙසේද එලෙසම අද ජාතික ජන බලවෙිගය හා ගැටී ඔවුන් නිවැරදි මඟ රැගෙන යාමට මෙවැනි ශක්තිමත්, උගත් ,දක්ෂ වාමාංශිකයින් කිහිපදෙනෙකු පත් කර යවමු.

එසේ නොවුණ හොත් ඝෝඨාභය පත්කොට කැඹූරු හා තාප්ප පාටකල තාරුණ්‍යය පසුව කලකිරුණේ කෙසේද එසේම ජාතික ජන බලවේගය බලයට පත් කළ තාරුණ්‍යය ද කලකිරෙණු ඇත.
මන්ද පත්වීමට නියමිත විපක්ෂය කිසිදු බලයක්, ශක්තියක් නැති දියාරු විපක්ෂයක් නිසා බලය ඇති උන් අයාලේ ගොස් රට අගාදය කරා රැගෙන යාමට ඉඩ ඇති බැවිනි.
ජය!

leave a reply