Breaking News

ගුරුවරුන්ට තර්ජනය කිරීම හෙළා දකිනවා – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයේ නිරත ගුරු විදුහල්පතිවරුන් වෙත විවිධ ආකාරයෙන් බලපෑම් කිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය හෙළා දකියි. දෙමව්පියන් ලෙසින් පෙනී සිටින විවිධ දේශපාලන බලවේග විසින් අවස්ථා රැසකදී වර්ජන්යේ නිරත ගුරු විදුහල්පතිවරුන් වෙත විවිධ තර්ජන එල්ලවී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

එම කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ වෘත්තිය ඉල්ලීම් වෙනුවෙන් පෙනීසිටීමට සහ ඒ් සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ඇති අයිතිය මෙම මැර තර්ජන සහ බලපෑම් හමුවේ උල්ලංගනය වන බවයි. පසුගියදා දිවයිනේ ප්‍රදේශ රැසක වර්ජනයේ නිරත ගුරුවරුන්ට දුරකතන මාර්ගයෙන් බලපෑම් රැසක් එල්ල වූ බවට තොරතුරු වාර්තා විය.ඇතැම් දුරකථන ඇමතුම් වල හඩ කොටස් මාධ්‍ය හමුවේ පවා ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ් අතරින් ඇතැම් හඩපට වල ප්‍රකට අමාත්‍යවරුන්ගේ බලපෑමෙන් මෙම තර්ජනය කිරීම් සිදුවන බවටද කරුණු එළිදරව් වී ඇති බව ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නාය.

කෝවිඩ් 19 සීමා ලිහිල් කිරීමෙන් පසු පැවති ඇතැම් විරෝධතාවලට සාමාන්‍ය ජනතාව මෙන් පැමිණි කඩාකප්පල්කාරී පිරිස් මාධ්‍ය වෙත හඩ කොටස් ලබා දෙමින් පවා ගුරුවරුන්ට තර්ජනය කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙලෙස විවිධ පාර්ශව වල බලය යොදවා විරෝධතාවන්, උද්ඝෝෂණ, මර්ධනය කිරීමට උත්සහ කිරීම බරපතල ලෙස මානව හිමිකම් කඩකිරීමක් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

වැටුප් විෂමතා ඉවත් කිරීම, ගුරු සේවය “සංවෘත” සේවාවක් බවට පත් කිරීම සහ “කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත” අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පාසල් ගුරුවරුන් විසින් දියත් කර ඇති, ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත්ව සිටීමේ වැඩවර්ජනය මේ වනවිට මාස 3කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙයි.

ජූලි 12 දා ආරම්භ වූ වැඩවර්ජනයට උතුරු සහ නැගෙනහිර ඇතුලු දිවයිනේ සෑම පලාතක්ම නියෝජනය කරමින් ගුරුවරු දෙලක්ෂයකට අධික පිරිසක් සහභාගිවී සිටිති. වර්ජනය කැඳවා ඇත්තේ ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය සහ එක්සත් ගුරු සංගමය ඇතුලු සමිති ගනනාවක් විසිනි.

ගුරු සමිති වර්ජනය කැඳවූයේ, ජූලි 08 දා “කොතලාවල විශ්ව විද්‍යාල පනතට” එරෙහිව පැවැත්වූ විරෝධතාවයක දී අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටැලින් ඇතුලු කන්ඩායමක් බලහත්කාරයෙන් ගුවන් හමුදාවේ නිරෝධායන කඳවුරක රඳවා තැබීම තුළින් ඇරඹි විරෝධතා මර්ධන රැල්ල මේ වනවිට තර්ජනාත්මක දුරකථන ඇමතුම් දක්වා වර්ධනය වී තිබේ.

 

leave a reply