ඉස්සරම දවසක
මම නුඹට තිළිණ දුන්
මියගිය බත්කූරා
දැන් ඇත්තටම
මිය ගිහින් ඇති…
අර රතු පාට බත්කූරා
පේරාදෙණියෙන්
අහුලන් ආපු
නුඹේ පරිගණක තිරයේ
එල්ලි එල්ලී හිටියේ
සෑහෙන කාලයක්
මතකද ඒ කාලේ..
සිකුරාදා මං එනකල්
බලා සිටි කාලේ….
උගේ පිහාටු කුඩුවත්
දැන් නුඹ ගාව නැතිව ඇති
ඒ බත්කූරා
දිනක නුඹ ගලවා විසි කරන්න ඇති
මතකයෙන්
ගලවා විසි කරනු පිණිස මා
වසර ගණනකින්
අහම්බෙන් හමුවෙලා මහමඟ
අහන විට
ඇයි මාව හැරදමා ගියේ….?
දෑස් අග නොවියලුණු කඳුළු එක්ක
පිළිතුරක් තිබුණේ නැහැ මට දෙන්න
“බත්කූරා මිය ගියා
මට දෙන්න වෙන යමක්
නුඹ නැතත්
නුඹ සිහිවෙන්න”
මං හුගක් ආදරේ කළ
මුහුදු බෙල්ලා යතුරු රදවනය
යතුර ගවා අතට ගෙන
නුඹ අතට ගුලි කළෙමි
දෝතින්ම නුඹ
බදාගත් විට මා සුරත
කනට ළංවී කීමි මම
ආපහු මහමඟවත්
හමුවෙන්න එපා මැණික…!!