කොරෝන වෛරසය මුළු ලොවක් බියට පත් කර ඇත. දහස් ගණනක් මේ වන විටත් මෙලොව හැර ගොසිනි. මුදල්, ආයුධ බලයෙන් අනෙක් රටවලට පවා අභියෝග කරමින් සිටි ලොව ප්‍රබල යැයි සම්මත රටවල් සියල්ලම තම ජනතාව මෙම ව්‍යසනයෙන් ගලවා ගැනීමට නොහැකිව මරණය පත්වීමට අතහැර දමා තිබේ.
අප ඔබට මතු කිරීමට සුදානම් වනුයේ කොරෝන ව්‍යාප්තිය නැවත්වීමට රටවල් වසා දැමීම හේතුවෙන් මතු වූ කරුණක් පිලිබඳවය.
චීනයේ වුහාන් ප්‍රදේශය වසා දැමීමෙන් පසු ඒ අවට වායු ගෝලය 600%න් පිරිසිදු වී ඇති බවට වාර්තා විය. ලංකාව තුල ද වෙනදාට වඩා කැළණි ගඟේ ජලයෙහි ගුණාත්මකභාවය වැඩි වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය ජල නියැදි පරීක්ෂාවකින් සොයා ගෙන ඇත. ඔවුන් සඳහන් කරනුයේ මේ දිනවල කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා බොහොමයක් ක්‍රියාත්මක නොවීම නිසා එම කර්මාන්තශාලා වලින් ඉවතලන අපද්‍රව්‍ය කැළණි ගඟට මුසු නොවීම ප්‍රධාන හේතුවක් බවයි.
එසේම කොලඹ නගරයේ වායු පසුගිය තත්ත්වයට වඩා ගුණාත්මකව ඉහල ගොස් ඇති බව වාර්තා කර තිබිණ. ඊටද හේතුවක් බවට පත්ව ඇත්තේ වාහන ධාවනය නොවීමයි. එසේම ඉන්දියාවේ වායු ගොලය පිරිසිදු වීමෙන් එවරස්ට් කඳු වැටිය කිලෝමීටර් 200ක් දුරට පැහැදිලිව දර්ශනය වන බවද වාර්තා විය. තවද ලංකාවේ මෙන්ම බොහෝ රටවල වන සතුන් නගරවලද නිදහසේ සැරිසරනු දක්නට ලැබුණි.
මේ සියල්ල දකිමින් බොහෝ මාධ්‍ය මෙන්ම ජනතාවද කොරෝනා භීතිය මධ්‍යයේ වුවද දින කිහිපයක් තුල ප්‍රාග්ධන යාන්ත්‍රණය තාවකාලිකව ඇනහිටීම තුල පරිසරයට සිදුවී ඇති සාධනීය බලපෑම අගය කරමින් සිටිති. එහෙත් මෙම පරිසර ප්‍රේමය කොරෝනා අවසන් වනතුරු පමණද?
මෙම කරුණු මඟින් අප පැහැදිලි කරගත යුත්තේ කුමක්ද?
පරිසරය වනසමින් දිගින් දිගටම සිදු කරනු ලබන සංවර්ධන ව්‍යපෘති වලට පසුගිය කාලය පුර පරිසරවේදීන් සේම සටන් කරන බලවේග බරපතල විරෝධයක් එල්ල කරන ලදී. හෝමාගම තාක්ෂණ නගරය, පොර්ට් සිටි ව්‍යපෘතිය, අධිවේගී මාර්ග පද්ධතිය, මීගමුව කලපුව ආශ්‍රිතව සිදු කරන ඉදිකිරීම, සිංහරාජය, නකල්ස්, ත්‍රිකෝණ මඩු රක්ෂිතය, විල්පත්තුව ඇතුළු වනාන්තර පද්ධතිය විවිධ සංවර්ධන ව්‍යපෘති වෙනුවෙන් එලි කිරීම.
මෙකි නොකී සංවර්ධන ව්‍යපෘති ගණනාවකට පරිසරය විනාස කිරීම සිදු විය.
ඇතැම් අය මෙම විරෝධයන් වලට පහර ගැසුවේ විරෝධතා කරුවන් තාක්ෂනය, සංවර්ධනයට එරෙහි ලිංමැඩියන් පිරිසක් බව කියමිනි. නමුත් ඔවුන්ම දැන් කැළණි ගඟත් වාතයත් පිරිසිදු කර දීම වෙනුවෙන් කොරෝන වලට ස්තුතියි කරමින් සිටී.
මොහොතකට අපි කොරෝනා නොමැති තත්ත්වය ගැන උපකල්පනය කරමු. එසේනම් කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා තවමත් ක්‍රියාත්මකය. කැළණි ගඟේ ජලය අසීමිත ලෙස දුෂණය වෙමින් පවතී. එම ජලය කැළණි ගඟ දෙපස ජනයා පමනක නොව දහස් ගණනකගේ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කෙරේ. ජනතාව ලෙඩ රෝග වලට ගොදුරු වේ. කර්මාන්ත ශාලා සිය ගණනකින් පිට වන විස දුම් වායු ගෝලයට මුදා හැරේ, දස දහස් ගණන් ජනයා එකී වායුව ආශ්වාස කරයි. මිනිසුන් ලෙඩ වෙයි.
ගංගා වලින් අසීමිතව වැලි ගොඩ දැමීම සිදු වෙයි. කළු ගඟ, නිල්වලා ගඟට මහුදු ජලය මිශ්‍ර වෙයි. මිනිසුන්ට බරපතල පානීය ජල ගැටලුවකට මුහුණ දීමට සිදු වෙයි.
ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට හේතු වන කාබන් වැඩිපුරම පරිසරට මුදා හරින එක් රටකි ඇමෙරිකාව. එය අවම කිරීමට ලෝක මට්ටමෙන් අත්සන් තැබූ ගිවිසුම් පවා ඇමෙරිකාව අදටත් පිළිගන්නේ නැත.
එසේනම් කොරෝනා වලින් පසු අපට පිරිසිදු කැළණි ගඟක් හෝ පිරිසිදු වායුවක් ලැබේද?
කිසි සේත්ම නැත කොරෝනා අවධානම පහව යන පළමු මොහොතේම හෝ නැත්නම් හොර රහසේ හෝ නැතිනම් රජයේ තීරණයක් ලෙසම හෝ මේ සියල්ල නැවත ඇරඹේ. නැවත කැළණි ගඟේ ජලය දුෂණය වීම ඇරඹේ. එසේනම් කොරෝනා පැමිණීමටත් පෙර අප සිටියේ මරණ මංචකයේය.
කරමාන්ත ශාලා, තාක්ෂණ නගර, අධිවේගී මාර්ග හැදුන තරමට ජිවිත සංවර්ධනය නොවන බව දැන්වත් වටහා ගත යුතුය. එසේ නම් ලාභය පමණක් මුල් කරගත් ධනවාදී සංවර්ධනය අපට උරුම කර ඇත්තේ කොරෝනා වලටත් වඩා අනිවාර්ය මරනයක් නොවේද? කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා වලින් ජලයට අපද්‍රව්‍ය මුසු කිරීම වහා නවතා දැමිය යුතු නොවේද?
නමුත් කොරෝන තත්ත්වය පහව යන මොහොතක මෙතෙක් හැල්මේ දිවආ ප්‍රාග්ධන යාන්ත්‍රණය එලෙසින්ම පණ ගන්නනවාද? යන්න සැබෑ පරිසර ප්‍රේමීන් දැන් කල්පනා කල යුතුය. අපට ජිවත් වීමට සිදු වන්නේ නරුම ධනවාදය තුලය. මෙම තත්ත්වය හමුවේ තමන්ට අහිමි වූ ලාභය සෙවීමට වැඩි වැඩියෙන් පරිසරය වනසන දැවැන්ත ව්‍යාපාරිකයන් හැර පරිසරය ගැන හිතා පරිසර හිතකාමීවන ධනපතියන් අපට මුණ ගැසෙන්නේ නැත.
එසේනම් කොරෝනා වලින් නොමැති වුවත් ඊනියා සංවර්ධනය නිසා අප මරණයට පත්වනු ඇත. අවශ්‍ය වන්නේ ඊට එරෙහි වන සටනකි. කොරෝනාවෙන් ලෝකයට මෙතෙක් ආ ගමන මොහොතක් නතරවී සමාලෝචනය කිරීමට අවස්ථාවක් දී ඇත. එම අත්‍යවශ්‍ය සමාලෝචනයෙන් උගත් පාඩම් ප්‍රයෝජනවත් වන්නේ පරිසරයත් ජීවයත් වනසමින් ඉදිරියට ඇදෙන ප්‍රාග්ධන යාන්ත්‍රණය තවදුරටත් රිසිසේ ඉදිරියට යාමට ඉඩ නොදීම තුල පමණකි.
උපුටා ගැනීම ගිණිසිළුව පුවත් පත