Breaking News

රනිල් පාස්කු චෝදනාවලින් ගැලවෙයි

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින රනිල් වික්‍රමසිංහ එම නඩුකරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්ති අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත්, වත්මන් ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහට මුක්තිය හිමිවන බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් වෙයි.

ඒ අනුව ජනාධිපති ධූරය දරමින් සිටින ජනාධිපතිවරයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වගන්තිය සම්පාදනය කර ඇත්තේ රාජ්‍ය නායකයාට සිය නිල කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) විභාගයට ගත් අවස්ථාවේදි මෙම තීන්දුව ප්‍රකාශයට කෙරිණී.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසකි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමි වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළී ව්‍යාපාරික ජගත් විතානගේ, ශ්‍රි ලංකා නිතිඥ සංගමය, හෙන්රි මේරියන් අශේක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්, නාගානන්ද කොඩිතුවක්කූ, ජූඩ් පෙරේරා, නිමල් කුමාරසිටි, කසුන් පුස්සවෙල, ජිනානන්ද හිමි ඇතුළු පිරිසක් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබ ඇත.

රනිල් වික්‍රමසිංහට මෙම මුක්තිය හිමිවන්නේ විධායක ජනාධිපති ධූරය යටතේ ඇති අසීමිත බලතල නිසාවෙනි. පාස්කු ප්‍රහාරයට පෙර එම ප්‍රහාරය සිදුවෙන බව දැනසිටි පිරිස අතරට රනිල් වික්‍රමසිංහ ද අයත් වේ. නමුත් ඔහු ඇතුළු පිරිස ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොතිබුණි. එය පැහැදිලිව ඔප්පුවී තිබියදී පවා රනිල් වික්‍රමසිංහට තම විධායක බලතල හේතුවෙන් නීතියෙන් ගැලවී සිටින්නට අවස්ථාව උදා වී තිබේ.

leave a reply