Breaking News

3/2 දෙනවාද? ජනතා බලයක් ගොඩනගනවාද? හෙට තේරීමට ඇත්තේ ඔය දෙකින් එකකි

සමන්සිරි හේරත්

මීළඟ පාර්ලිමේන්තුව සඳහා තෝරාපත්කර යවන්නේ කාවද කියා තීරණය කරන්න ජනතාවට ඉතිරිව තිබෙන්නේ තවත් එක් දිනක් පමණි. මෑත ඉතිහාසය තුළ දීර්ඝතම ප්‍රචාරණ කාලයක් හිමි වෙච්ච මැතිවරණය ලෙස මෙය ඉතිහාසයට එකතු වෙනවා. මේ මැතිවරණය සඳහා දීර්ඝ ප්‍රචාරණ කාලයක් ලැබෙන්නේ COVED-19 වසංගත තත්වය හේතුවෙන්. ඒ වගේම මේ කොරෝනා වසංගත තත්ත්වය ම උපයෝගී කරගනිමින් බලය හොබවන රාජපක්ෂලා ඇතුළු කණ්ඩායමට මෙහි විශේෂ වාසියක් අත් වුනු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිද්ධ වුණේ අසමානතා රාශියක් මධ්‍යයේ. මිල මුදල් බලය තිබුණු දේශපාලන කණ්ඩායම් පක්ෂ ‍ ප්‍රචාරණ කටයුතු සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කළ අතර පවතින වසංගත තත්ත්වය මිල මුදල් නැති පුංචි දේශපාලන කණ්ඩායම් වලට පක්ෂ වලට ප්‍රචාරණ අවහිරතා ඇති කරන තත්වයක් නිර්මාණය කර දී තිබුණා. කිනම් තත්ත්වයක් යටතේ වුවද දැන් ප්‍රචාරණ කටයුතු අවසන් වී තිබෙනවා. හෙට දිනයේ ජනතාව තමන්ගේ තීරණය ජන්ද පොලට ගිහින් ප්‍රකාශ කිරීම සිදු කළ යුතුව තිබෙනවා.

වෙනත් කාල වල පවතින මැතිවරණ වලදී වගේ විපක්ෂයේ සිටින අය ආණ්ඩු බලය ඉල්ලන මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් මේ මැතිවරණයේදී අපි දැක්කේ නැහැ . විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දී සිදු වුණේ දැනට බලයේ සිටින රාජපක්ෂලා ඇතුළු කණ්ඩායම තුනෙන් දෙකේ බලයක් සඳහා ජනතාවගෙන් වරමක් ඉල්ලීමත් , විපක්ෂයේ සිටින කණ්ඩායම් ආණ්ඩු බලය වෙනුවට විපක්ෂයේ වැඩි බලයක් ඉල්ලීමයි.

උදාහරණයක් විදිහට ගතහොත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් කණ්ඩායම, මැතිවරණ ආසන්නයේ බිඳීගිය සජිත් කණ්ඩායමෙන් පරාජයට පත් නොවී විපක්ෂයේ සිටීම සඳහා වැඩි බලයක් ඉල්ලමින් මැතිවරණ ප්‍රචාරණ කටයුත්තේ නියැලී සිටිය අතර සජිත් කණ්ඩායම සිරිකොත තමන් සතු කර ගැනීම සඳහා රනිල් කණ්ඩායමට වැඩි බලයක් තමා වෙත ලබා දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලමින් සිටියා. රාජපක්ෂවරුන් ඇතුළු මේ මොහොතේ බලය හොබවන කණ්ඩායමේ ප්‍රචාරණ කටයුත්ත සිදු වුණේ මීළඟ ආණ්ඩුව පිහිටුවා ගෝඨාභය ජනාධිපතිවරයා සමග ඒකරාශී වී අලුත් දේශපාලන වැඩපිළිවෙළක් සකසා ගැනීමට තුනෙන් දෙකේ බලයක් ජනතාවගෙන් අපේක්ෂා කරන මැතිවරණ ප්‍රචාරණ කටයුත්තකි .

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්නට කියන ප්‍රචාරණ ව්‍යාපෘතියක් සමඟ මැතිවරණ ප්‍රචාරනයේ යෙදී සිටියා. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ප්‍රචාරණ කටයුත්තේදී වැඩි බරක් යෙදෙව්වෙ වමේ බලයක් වෙනුවෙන් නොව හොඳ මිනිසුන්ගේ පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම සඳහා ඊට වැඩි බලයක් ලබා ගැනීමේ උවමනාව මුලින් තියාගෙනයි. මේ හොඳ මිනිස්සුන්ගේ කතාව කොයි තරම් නැගලා ගියාද කියනවා නම් ප්‍රචාරණ ව්‍යාපෘතිය තුළ සුනිල් හඳුන්නෙත්ති කාගෙත් සුරතලී බවට පත් වී සිටි අයුරු අපි දුටුවා. ජනතා විමුක්ති පෙරමුණේ දෙතුන් දෙනෙක්ව පාර්ලිමේන්තුවට යවන්න කියලා බැසිල් රාජපක්ෂ පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තැනට මේ හොඳ මිනිසුන්ගේ කතාව දිග්ගැස්සී මෙන් ධනපති දේශපාලන න්‍යාය පත්‍රයට බලපෑමක් නොකරන බව දැන් අපට ගම්‍ය වෙමින් තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින ප්‍රධාන දේශපාලන බලවේගයන් ප්‍රතිපත්තිමය ,දේශපාලනික වශයෙන් වෙන් වෙන තැන කොතැනද කියලා හොයද්දි ඉහත අපි සඳහන් කරපු රාජපක්ෂලා ප්‍රමුඛ මේ මොහොතේ බලය හොබවන කණ්ඩායමෙත් , රනිල් සජිත් කණ්ඩායම් දෙකෙත් අරමුණු සමානයි. ඔවුන් ජනතාවගෙන් බලය ඉල්ලන්නේ ධනේශ්වර සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න . මෙම කණ්ඩායම් වලට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නියෝජනය කරන බලවේගය බලය ඉල්ලන්නේ ඉහත සඳහන් කළ ධනේශ්වර සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාවලිය හොඳ මිනිසුන් යොදාගෙන ඉදිරියට අරගෙන යන්නයි.

හැත්තෑ දෙවසරක් අපි ගමන් කෙරුවේ සෘජු හා වක්‍ර වත් මේ ධනේශ්වර ක්‍රමයේ ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික පැවැත්ම සමග. නමුත් අප දන්නවා මේ ක්‍රමය ඇතුළෙ හොඳ මිනිසුන් කොච්චර පාර්ලිමේන්තුවට තේරී පත් වුණත් ක්‍රමය වෙනස් නොකර කළ හැක්ක අවම බව. මෙය යථාර්තයක් බව සිහි කැඳවා ගැනීමට ඔබට අවශ්‍ය නම් කළ යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 39ක් තිබෙන විට කළ හැකි වූයේ කුමක්ද යන්න පිළිබඳව නැවත සිහියට ගැනීමයි. ඒ හරහා අපට තේරුම් යන කරුණ තමයි ක්‍රමය වෙනස් නොකර හොඳ මිනිසුන් කොපමණ පාර්ලිමේන්තුවේ සිටියත් ලබාගත හැක්කේ සොච්චම් දේයක් බවයි .

ඉහත අප සාකච්ඡා කළ දේශපාලන බලවේග වලට අමතරව මැතිවරණ ප්‍රචාරණ කළ පක්ෂය තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය කිසිදු සැඟ වීමකින් තොරව, පැකිලීමකින් තොරව, සමාජවාදය උදෙසා වූ වැඩපිළිවෙළක් යටතේ කෙරුනු ප්‍රචාරණ ව්‍යාප්තියක්. මෙවර මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ අපට පැහැදිලිවම දැක ගන්නට හැකි වුණේ මත වාද දෙකයි. ධනපති ක්‍රමය ආරක්ෂා කරගැනීම සඳහාත් එහි දිගුවක් පවත්වාගෙන යෑම සඳහා පෙනී සිටින එක්සත් ජාතික පක්ෂ රනිල් සහ සජිත් පිල ඇතුළු රාජපක්ෂලා නියෝජනය කරන කණ්ඩායමේ ප්‍රචාරණ කටයුත්ත, සමගින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය මේ පවතින ක්‍රමයම සුද්ධ පවිත්‍ර කරමින් ඉදිරියට අරගෙන යන්නට ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ වාදී හොඳ මිනිසුන්ගේ දේශපාලන ව්‍යාපෘතියයි . ‍මෙම මැතිවරණය තුළ එම දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතිවලට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් ඉදිරිපත් කළා නම් ඉදිරිපත් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණයි .

ඉතින් අගෝස්තු පස්වන දා ජනතාව තීරණය ලබා දීමට තෝරාගත යුත්තේ මේ පැති දෙකෙන් එකකි. පවතින ධනේශ්වර ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ඡන්දය පාවිච්චි කරනවාද එසේත් නැත්නම් මේ පීඩාකාරී සමාජ දේශපාලන සංස්කෘතික රාමුවෙන් පිට පැන නව මාවතක් කරා ගමන් කිරීම සඳහා සමාජවාදය නියෝජනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්තිමය කරුණු මත තමන්ගේ ඡන්දය පාවිච්චි කර රට ඉදිරියට ගෙන යනවාද කියන එක පමණයි.

 

leave a reply