Breaking News

පෞද්ගලීකරණයට එරෙහි විරෝධතා අතරතුර තෙල් බෙදාහැරීම විදෙස් සමාගම්වලට දෙන්න යයි

ඛනිජ තෙල් සංස්ථාව අයත් දේපල විකුණා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) දිනයේ පැවැත්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසන්නේ එම සාකච්ඡාවෙන් අනතුරුව සිය ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රජය සතු කොටස් විකිණීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (27) පෙරවරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව පැවැත්වෙන බව බන්දුල සමන් කුමාර පවසා තිබේ.

සත්‍යග්‍රහය පැවැත්වෙන අතරතුරදී විෂයබාර අමාත්‍ය කංචන විජේසේකර සිය Tweet සහ FB හි සටහන් තබමින් පැවසුවේ විදෙස් සමාගම් තුනක් වෙත ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්දන පිරවුම්හල් වසර 20ක ට බලපැවැත්වෙන පරිදි පවරා දෙන බවයි. ඒ සඳහා කැබිනට අනුමැතිය හිමි වූ බව ඔහු පවසනවා.

මෙම සමාගම් 3 සඳහා දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 450 සහ එම සමාගම් තුන තෝරාගත් නව ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්රෝලියම් ඕස්ට්‍රේලියාවේ සහ RM පාර්ක්ස් නමැති ඇමෙරිකානු සමාගමට මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට එලෙස අනුමැතිය හිමිව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

මෙරටට පැමිණ සිටින ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම්, පන්කජ් ජේයින් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සමඟ මෙරට බලශක්ති අමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරු ගණනාවක් පසුගියදා සුහද හමුවක් පවත්වා තිබුණි.

මෙම විශේෂ ඉන්දීය දූත පිරිසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජෙකබ් , ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ විශේෂ කාර්ය භාර නිලධාරිනී ඊෂා ශ්‍රීවාස්තවා, IOC සමාගමේ සභාපති එස්.එම්. වෛද්‍ය, ඉන්දියා ලිමිටඩ් ඉන්ජිනියර්ස් සමාගමේ සභාපති වර්තිකා ශුක්ලා, Petronet LNG Limited කළමනාකාර අධ්‍යක්ෂ, ඒ.කේ. සිං, ONGC Videsh Limited හි කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ෂි ගුප්තා, ඉන්දියානු ඛනිජතෙල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අමිත් ග්‍රේග් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වූ බව පැවසේ.

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් පෞද්ගලිකරණය කිරීමේ සැලසුමක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට මේවන විට සැක මතුවෙමින් තිබේ.

leave a reply