Breaking News

ලේඛකයන්ට තියෙන්නෙ ලියන්න ,කියවන ජනාධිපති කෙනෙක් අපිට ඉන්නෙ

ලේඛක කසුන් සමරතුංග සමඟ  තුසිත පතිරණ කළ සාකච්ඡාවක්
කවි ලියල ඉවර වෙලාද යොවුන් නවකතාවලට බැස්සෙ?

දැන් අවුරුදු දෙක තුනක් තිස්සෙ ඔලුව ඇතුළෙ පොඩි පොඩි කතා ටිකක් කැරකුනා. විශේෂයෙන් අන්තිම අවුරුදු පහේ ගුරුවරයෙක් විදියට ලබපු අද්දැකීම්, ඊට කලින් පාසැල් ශිෂ්‍යයෙක් විදියට අවුරුදු දහතුනක් ලබපු අද්දැකීම්, තව එතකොට සමාජයෙ ගැටෙන කොට අහන දකින දේවල්. ඕව කැරකි කැරකි තිබුණ. ඒ ටික එළියට දාන්න හොඳම විදිය යොවුන් නවකතාවක් කියල හිතුන. එහෙමයි වැඩේට හැඩේ ආවෙ. කොහොමත් කවි කියන්නෙ ලියල ඉවර කරන්න පුළුවන් ජාතියක් නෙවෙයිනෙ.

මේ දවස්වල කඩදාසි මිල වැඩියි. ඇත්තටම රටක හොඳම නිර්මාණකරුවන් යට යනවා නේද මේ තත්වය නිසා?

යට යන්නත් පුළුවන්. මතු වෙන්නත් පුළුවන්. ඉතිහාසයෙ අපි නොදන්න එහෙම යට ගිය අය කොච්චර ඇද්ද? මතු වෙච්ච අය නම් ඔන්න අපි දන්නවා. රුවන් බන්දුජීව ඕක හරි ලස්සනට කියනවා, මෙන්න මෙහෙම;

“…සුබ ප්‍රාර්ථනා තුඩුව ළඟදිත්
නැව් ගිලුණු බව ඇත්තයි
ගිලුණු නැව්වල නම් ප්‍රසිද්ධයි
නොගිලුණා නම් අප්‍රසිද්ධයි…”

ලේඛකයන් විදියට රජයට බලපෑම් සහගත වෙන්න පුළුවන්නෙ. කෝ එහෙම දෙයක් ගොඩ නැගිල තියෙනවද?

සෑහෙන්න පොත් කියවපු – කියවන ජනාධිපති කෙනෙක්නෙ දැන් අපිට ඉන්නෙ. ඉතින් ලේඛකයන්ට තියෙන්නෙ ලියන්න. එයා ඒව කියවල අනිත් අයටත් තේරුම් කරල දෙයි. එතකොට බලපෑමක් වෙයිනෙ. හා, නැද්ද? මතක ඇතුව මේ උත්තරේ අගට සභාවේ සිනා කියලත් දාන්න. (සභාවේ තදින් සිනා!)

ඔබ ගුරුවරයෙක්. ගොඩ නැගෙන පරම්පරාවන් සදහා මේ නිර්මාණ කාර්යය දායාද කරන්නේ කෙසේද?

එහෙම කිසිම දෙයක් දායාද කරන්න මට නම් ඕනෙ නෑ. අලුතෙන් ගොඩ නැගෙන පරම්පරා ගොඩ නැගෙයි. අපි කොහොමද ඒවයෙ හැඩය තීරණය කරන්නෙ? පැත්තකට වෙලා බලං ඉන්න එකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නෙ.

පාසලේදී නිර්මාණකරන්න විෂයන්ට අමතරව ඔබ දේශපාලනයත් ළමුන්ට කියා දෙනවාද?

අපිට ඉන්නවා හොඳ දේශපාලන විද්‍යාව ගුරුවරයෙක්. එයා ඒ වැඩේ හොඳට කරනව මං හිතන්නෙ. මං මට පුළුවන් විදියට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය උගන්වනවා. ඒ අතරෙ පොඩි පොඩි ආර්ට් වැඩවලට මැදිහත් වෙනව මට තේරෙන විදියට. ඒව ඇතුළෙ දේශපාලනය තියෙනවද නැද්ද කියල ළමයි තේරුම් ගනියි. උන් අපිට වඩා ගොඩක් ක්‍රියේටිව්. ගොඩක් බුද්ධිමත්.

නව සමාජ ධාරාවන් සඳහා යල්පිනූ ආකෘති ඇතුළෙ අපි ලියන කියන දේවල් ගැලපෙනවාද යන්න ඔබ කල්පනා කරල තියෙනවද?

ඔබ අහපු ප්‍රශ්නවලින් මං කැමතිම ප්‍රශ්නය මේක. ඇත්ත ! අදට ලියද්දී සමහර දේවල් – නැත්නම් ගොඩක් දේවල් – සෙට් නැති ගතියක් දැනෙනව. අපි පාවිච්චි කරන උපමා – රූපකවල ඉඳලම අලුත් බඩු ටිකක් ඕනෙ වගේ. එහෙම කරන අයත් ඉන්නව. හැබැයි තව ඕනෙ. පහුගිය සමාජ – දේශපාලනික තත්ත්වයන් පවා අපිට ඒක බලකරල කිව්ව. ඉස්සරහට මොනව හරි වෙයි. නැත්නම් කිසිම දෙයක් නොවෙන්නත් ඉඩ තියෙනව. අපි බලමු.

ඔබගේ කෘතියට සම්මාන හිමි වුණා. මොනවද ඒ් සම්මාන කිව්වොත්?

මේක ඉදිරිපත් කළේ ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගයට. ඒකෙ ජයග්‍රාහී යොවුන් නවකතාව විදියට මේක, සුනිල් එස්. තන්ත්‍රිආරච්චිගෙ ‘සූරිය වියන යට’ යොවුන් නවකතාවත් එක්ක සම ඇගයීමට ලක් වුණා. ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි පොත මුද්‍රණය වෙලා ආවෙ. නැත්නම් මේ කාලෙ පොත කෙරෙන්නෙ නෑ ඉතිං.

සාකච්ඡා කලේ – තුසිත පතිරණ

උපුටාගත් තැන http://lankatarget.com/

leave a reply