Breaking News

ආචාරධාර්මිකව වාර්තා කිරීම් මාධ්‍යවේදීන්ගේ වගකීම

COVID-19 ආසාදිතයන් අපරාධකරුවන් ලෙස වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස වාර්තා කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනියි.

COVID-19 පිළිබඳ වාර්තා කරද්දී ඇතැම් ජනමාධ්‍ය රෝගය ආසාදනය වූවන්ගෙගේ සහ රෝගය අසාදනය වූවායැයි සැකකරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් කරන වාර්තා කිරීම් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.

ජනමාධ්‍යවලට සිය රාජකාරි කරගෙන යෑමට ඉඩ ඇත්තේ ලෝකයේ පොදුවේ පිළිගත් ජනමාධ්‍ය ආචාරධර්මවලට සහ ශ්‍රී ලංකාවේ බලපවත්නා නීති රාමුව ඇතුළේ සිටිමින් බව අපගේ විශ්වාසයයි.

COVID-19ආසාදිතයන් සහ ආසාදනය වූවායැයි සැකකරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ සිටම ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ ආසාදිතයන් වැරදිකරුවන්යැයි යන හැඟීම මහජනතාවට ඇතිවන අයුරින් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන අයුරින්ය. මීට පෙර කොරෝනා බෝකරන්නේ ඒක්තරා ජාතියකට අයත් පිරිසක් බවට ඒ්ත්තු ගැන්වීමට පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ව්‍යාජ පුවත් පවා ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ අතර ඒය සමාජයේ දැඩි කතාබහකට ලක් විය.

මෙවර COVID-19 ආසාදනය වීම සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍ය ඇඟලුම් සේවක සේවිකාවන් අගතියට පත්වන ආකාරයෙන් සහ ඔවුන් කෙරෙහි සමාජයේ ද්වේශයක් ඇතිවන ආකාරයෙන් වාර්තා කිරීම් කර තිබෙනු දක්නට ලැබිණි. ඒමෙන්ම කොරෝනා ආසාදනය වූවන්ගේ සහ ආසාධිතයැයි සැක කරන පුද්ගලයන්ගේ නිවාස පෙන්වමින්, ඔවුන්ට පී.සී.ආර්පරීක්ෂණය සිදු කරන ආකාරය පෙන්වමින් සහ ඔවුන්ගේ මුහුණු පෙන්වමින් වාර්තා කිරීම් සිදු කරන ආකාරය පසුගිය දින කිහිපයේම දක්නට ලැබිණි. මෙවැනි වාර්තා කිරීම් යහපත් ජනමාධ්‍ය සංස්කෘතියකට කිසිසේත් ගැලපෙන්නේ නැත. එම වාර්තා කිරීම් මාධ්‍ය ආචාරධර්ම අමුඅමුවේ උල්ලංඝණය කිරීමකි.

රෝගය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් COVID-19ආසාධිතයන් අපරාධකරුවන් සේ සලකා කරන වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන ආකාරයට වාර්තා කිරීම බව අපගේ විශ්වාසයයි.

COVID-19නිසා පීඩාවට පත්වී සිටින ජනතාවට ජනමාධ්‍ය නිසා තවත් පීඩනයක් ඇතිවීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි. එබැවින් මෙවැනි ආචාර ධර්ම විරෝධී සහ සහ නීති විරෝධී වාර්තා කිරීම් නතර කරන ලෙසත්, ආචාරධාර්මිකව වාර්තා කිරීම් සිදු කරන ලෙසත් අපි ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු.
ස්තුතියි.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

leave a reply