Breaking News

” වැඩියෙන් ම ආදරේ කාටද ? “

හිල්මි සුපුන්

පොඩි දරුවන්ගෙන් ආදරය ලබන්න වැඩිහිටියෝ හැමෝම කැමතියි.එහි කිසිදු වෙනසක් නෑ, ලොව හැමතැනම ඒ හැඟීම සමානයි. දරුවන් සමීපයේ ජීවත්වෙන අම්මා, තාත්තා වැඩිහිටියෝ, නෑදෑ හිතමිතුරන් තම සමීපයෙ හැදී වැඩෙන පොඩි දරුවන් තමන්ට ආදරෙයි කියනවනං දුහුල් ඇවිත් බදා ගන්නවා නම් ඒකට හරි කැමතියි. පුංචි දරුවන් ආදරය ප්‍රකාශ කිරීම සඳහා දක්වන ප්‍රතිචාරය වැඩිහිටියන්ට ගරුත්වයක් අත්කරදෙන තනතුරක් බඳුය. ඒක බොහොම අවිහිංසක සිතුවිල්ලකි.

වෙනත් කෙනකුගෙන් ආදරේ ලැබෙනවට ඇමැතිව වැඩිහිටියෝ පවා පොඩි දරුවන්ගේ ආදරය ලැබෙනවට කැමතියි. දරුවන්ට පුළුවන් දරදඩු හිත් පවා මෙලෙක් කරන්න. ඒ වෙන කිසිවකින් නෙමෙයි ආදරයෙන් හුරතලයෙන්.

ඔය සමහර පොඩි එවුන් ඉන්න තැන් වල දරුවාගේ අම්මා තාත්තාගේ සහෝදරයෝ ඥාති දරුවන්ට ආවතේවකම් කරලා ප්‍රතිලාභයක් ලෙස බලාපොරොත්තු වෙන්නේ ආදරය හුරතලය.

දරුවෙක් හදන්ඩ වඩන්න අම්මා තාත්තා පමණක් නෙමෙයි අම්ම තාත්ත වටකොට ඉන්න ඥාති හිතවතුන් හැමෝම දායක වෙනවා.දරුවාට වචන හසුරවන්න බැරි කාලේ දරුවාගේ විවිධ ඉරියව් වලින් මේ දරුවා වෙනුවෙන් ආවතේවකම් කරන අය ආදරේ හොයනවා. ඊට පස්සේ දිව පටල පටල හක්ක හප හප වචන තල තල කතා කරන්න පටන්ගත් කල සිටම වචන අර්ථයෙන්ම පුතා වැඩියෙන්ම ආදරේ කාටද කියල අහන්න පටන් ගන්නවා.
පුංචි මනසට කෙලවන කූටප්‍රාප්තිය සිද්ධ වෙන්නෙ එතනින්. මේ ඒ ගැන ඇඟවෙන කවියක්. කවිය රචනා කරන්නේ ලක්ෂාන් මධුරංග.

ආදරේ කාට ද ?
————————-
උඹ
නළවන්නෙ
එක්කෙනෙක්

නාවන්නෙ
එක්කෙනෙක්

බයි කවන්නෙ
එක්කෙනෙක්

දොයි කරන්නෙ
එක්කෙනෙක්

කවි කියන්නෙ
එක්කෙනෙක්

ඉතිං,
කවදාක හරි දවසක
” වැඩියෙන් ම ආදරේ කාටද ? ”
කියලා අහපු කෙනෙකුට
එක්කෙනෙක්
නම් කරලා
කියන්නේ කොහොමද ?

ඉහත කවියෙන් න්‍යෂ්ටිය තියෙන්නෙ ” වැඩියෙන් ම ආදරේ කාටද ? ” කියලා අහන තැන. දරුවන් මුහුණ දෙන අති භයානකම මොහොත. අපි දරුවට බෙදුම් රේඛා නිර්මාණය කරන්න අනුබල දෙන්නේ ඔන්න ඔය කාලයේ.නොලියූ සුදු කඩදාසියක් වගේ තියන පොඩි එකාගේ හිත කම්පනයට පත් කරනවා. මට හිතෙන්නේ පොඩි දරුවෝ බෙදා වෙන්කර බෙදන්න පටන් ගන්නේ ඔන්න ඔය දෙමව්පියෝ සහෝදරයෝ හිතවතුන් ආදරේ බෙදලා ඉල්ලන මොහොතේ සිට කියලයි.

ඔබට මේ අත්දැකීම ඇති.ඔයා වැඩියෙන්ම කාටද ආදරේ කියලා අහපු බොහෝ අවස්ථාවලදී දරුවෝ තුෂ්ණිම්භූත වෙනවා. බොහෝ විට අම්මා හෝ තාත්තා ඔය ප්‍රශ්නය අහන විට තමයි දරුවා ජීවිතයේ මුල් වරට පැනයක් ඉදිරියේ අතරමං වෙන්නේ.

දෙමව්පියෝ දරුවා වටා ඉන්න වැඩිහිටියන් මේ මොහොත පිළිබඳව බැරෑරුම් ලෙස සිතන්නේ නැති උනත් ආදරේ අඩු වැඩි වශයෙන් බෙදා වෙන් කර පවසන්න කියන තැන, කිසිදු නරක සිතුවිල්ලක් නැති ළමා මනස මහා විශාල අගාධයකට ඇද හැලෙනවා. වැඩිහිටියෝ හැටියට ඔය නරක පැනය දරුවගෙන් අසා නොඉන්න වග බලා ගන්නවා නම් හොඳයි.

leave a reply