ප්‍රවීණ නාට්‍ය ශිල්පියකු හා රංගාලෝක ශිල්පියකු, රංගවේදයේ ආචාර්යවරයකු හා ලේඛකයකු වූ ජයලාල් රෝහණ අද අභාවයට පත් විය.
වාමාංශික දේශපාලනයේ හා කලා සංස්කෘතික පරිසරයක පවුලේ පළමුවැනියා ලෙස වැඩුණු ජයලාල්ට බාල සහෝදරයෙක් හා සහෝදරියක් සිටී. කුඩා අවදියේදීම සිය පියා ඝාතනයට ලක්වීමේ ඛේදවාචකයෙන් තරුණ වියට ඒළඹෙන්නටත් පෙරාතුව ඔහුට ජීවිතයේ අඳුරු කලාපය අනාවරණය කරගන්නට සිදු විය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේදී වේදිකාවේ අත්පොත් තැබීමට ආචාර්යවරු මග පෙන්වූ බව පවසා ඇත. “දැල් ඇදීම” නම් වූ ධීවර ගීත නාට්‍යය 1976 වසරේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් නිෂ්පාදනය වෙද්දී රෝහණ සිය පළමු වේදිකා ආගමනය සිදු කළේය.
නාට්‍යවේදී සයිමන් නවගත්තේගම නිර්මාණය කළ “ගංඟාවක් සපත්තු කබලක් හා මරණයක්” නාට්‍යයේ කුඩා දරුවකුගේ චරිතය නිරූපනය කරමින් ඔහු නාට්‍ය ක්ෂේත්‍රයේ සිය විශේෂ චාරිකාව ඇරඹීය.
1985 විද්‍යා විෂය ධාරාවෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයට පැමිණි ඔහු, එවකට වියවුල්කාරී දේශපාලන වටපිටාව මැද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව ජීවත්වීමේ අභියෝගයට මුහුණ දීමට සිදු විය. එහිදී ආචාර්ය ගාමිණී හත්තෙට්ටුගම, මහාචාර්ය ඈෂ්ලි හල්පෙ යන කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් සමග කටයුතු කිරීමට ඔහුට අවස්ථාව හිමි විය. 1988-89 අරගලය හේතුවෙන් සිය සරසවි අධ්‍යාපනය වසර 10ක් දීර්ඝවීමේ තත්වය තුළ දේශපාලන පන්නරයක් සහිත කලාකරුවකු ලෙස සරසවි ද්වාරයෙන් පිටවන්නට අවස්ථාව සැලසීය.
ජයලාල් සරසවි ශිෂ්‍ය අවධියේ 1987 වසරේ නිෂ්පාදනය කළ “ලෝකා” නාට්‍යය සම්මාන නමයක් දිනාගත් අතර එයින් සම්මාන හතරක් හොඳම නළුවා, හොඳම අංග රචනය, හොඳම වේදිකා පරිපාලනය හා හොඳම ආලෝකකරණය සඳහා ඔහුටම පිරිනමන ලද සම්මාන විය.
1995 සරසවි අධයාපනය අවසන් කළද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව ප්‍රගුණ කළේය. අනතුරුව ගුරු පත්වීමක් ලබමින් තණමල්විල මහ විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකු ලෙස ගුරු දිවිය ඇරඹුවද ඔහුගේ ප්‍රමුඛ අවධානය රංග කලා ක්ෂේත්‍රය විය.
වේදිකා නාට්‍ය රැසක රංගශිල්පි කාර්යයට අමතරව අංග රචනය, වේදිකා පසුතල නිර්මාණය, ආලෝකකරණය, පිටපත් රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය ආදී වශයෙන් වේදිකාවේ සියලු තලයන් තරණය කරමින් ඔහු සිය විශිෂ්ටතාව පෙන්වා ඇත.
වේදිකාවෙන් නොනැවතී 1990 වසරේ ජයතිලක කම්මැල්ලවීරගේ කෙටිකතාවක් ඇසුරින් තිලක් ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ “සපත්තුව”ටෙලි නාට්‍යය ජයලාල්ගේ ටෙලි තිරයේ ආගමනය සලකුණු කළේය. සුසිරන්ද සිල්වා අධ්‍යක්ෂණය කළ “ඉසුරුයෝගය” ටෙලි නාට්‍යයේ “මුතුමිණ ” චරිතයෙන් සුවිශේෂී රංගශිල්පියකු ලෙස ජනාදරයට පත් වූ ජයලාල් රෝහණට එකී රංග භූමිකාව වෙනුවෙන් සම්මාන කිහිපයක්ම හිමි විය.
වේදිකාව තුළ රංගාලෝක ශිල්පියකු හා අංගරචනා ශිල්පියකු ලෙස විශිෂ්ට දායකත්වයක් සපයමින් ලද අත්දැකීම් මත ලියුවුණු ‘සබේ විදුලි විලක්කුව’ හා ‘ සැබෑ මුහුණේ වෙස් මුහුණ’ කෘති වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට ඔහු කළ ශාස්ත්‍රීය සම්ප්‍රදානයන් සංකේතවත් කරයි. එසේම පෞරුෂත්ව වර්ධනය හා කටහඬ අතර සබඳතාව අනාවරණය කරමින් ඔහු ලියූ ‘හඬ වැඩුම’ කෘතියද සුවිශේෂී වේ.
58 හැවිරිදි ව අභාවයට පත්, මේ විශිෂ්ට කලාකරුවාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
උපුටා ගැනීම lankaviews.