Breaking News

ජූලි නමයට පසු පලමු සඳුදාව

ජූලි මස නම වන දා ලංකාවේ ඇති වූ සංසිද්ධිය ඓතිහාසික විප්ලවයකි. ප්‍රවාහන දුෂ්කරතා, රජය විසින් පැනැවූ ඇඳිරි නීතිය, විවිධ තර්ජන ගර්ජන සියල්ල මධ්‍යයේ ලක්ෂ ගණනින් කොලඹ නගරයට එක් රැස් වූ ජනතාව ජනාධිපති මන්දිරය, අරලිග ගහ මැඳුර ආදී වූ රාජ්‍ය බලයේ සංකේත අත්පත් කරගෙන, ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව සිය විරෝධය පල කලහ. ලංකාවේ ඉතිහාසයේ පලමු වතාවට මහජන නැගිටීමක් අබියස විධායක ජනාධිපතිවරයෙක්ට සිය ධූරය අත් හැරීමට සිදුවිය. මේ වනවිට එලැඹ තිබෙන්නේ ජූලි 9 මහජන නැගිටීම නිසා දේශපාලනයේ මුදුන හෙල්ලුම් කෑමට ලක්ව තිබෙන, එහෙත් දේශපාලනය කවර අතකට යොමු වේදැ’යි නිශ්චිතතාවයක් නොපවතින, අවිනිශ්චිත මොහොතකි.

මේ මොහොත තුල දේශපාලන බෙදුම් රේඛා යලි සංවිධානය වෙමින් තිබෙන ආකාරය පැහැදිලිව දැකගත හැක. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැන නැංග මහජන විරෝධය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ නම් වූ පුද්ගලයාට එරෙහි විරෝධයක් ලෙස සැලකිය නොහේ. මෙය වත්මන් තත්වයට රට ඇද දැමීමෙහිලා සැලකිය යුතු වගකීමක් ගත යුතු පවතින ආණ්ඩුවට ; එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුනෙන් දෙකක බලයෙන් යුක්ත ආණ්ඩුවටම එරෙහිව මතු වූ විරෝධයකි. ගෝඨාභය යනු එම රෙජිමයේ නායකත්වය ඉසිලූ පුද්ගලයා පමණි. 2020 අගෝස්තු මස පැවැති මහ මැතිවරණයේ දී මෙරට ජනයා පොදු ජන පෙරමුණට තුනෙන් දෙකක ඓතිහාසික බලයක් ලබා දුන් නමුත්, මේ වනවිට එම ජනමතය සහමුලින් වෙනස් වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්ට තිබේ. පසුගිය මැයි 9 දා ගෝල්ෆේස් පිටියේ පැවැති විරෝධතාවයට මහින්ද රාජපක්ෂගේ මැරයන් කල ප්‍රහාරයට ප්‍රතිචාරී ලෙස, රට පුරා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට ජනයා යොමු වීම තුල පැහැදිලිවම පෙන්නුම් කලේ 2020 අගොස්තු මස ආණ්ඩුව බලයට පත් කිරීමට අදාලව පැවැති සමාජ සම්මුතිය මේ වනවිට පැහැදිලිවම බිඳ වැටී තිබෙන බවය.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් දක්වන ප්‍රතිචාරය කුමක්ද? අවාසනාවකට මෙන්, ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් මහජනයා අතර පැතිරී පවත්නා මෙම විරෝධාකල්පීය මනෝභාවය නිසි ලෙස පිලිගන්නා බවක් දක්නට නොලැබේ. පවතින පාර්ලිමේන්තුව යනු මහජනයාගේ මනෝභාවයන් නියෝජනය නොකරන, මහජන අභිලාෂයන්ගෙන් වියෝ වූ ප්‍රභූ සංකීර්ණයක් බව මොනවට ඔප්පු කරමින්, ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් හැසිරෙන්නේ කිසිවක් සිදු නොවූ ගාණටය. ජුලි 9 හුදෙක් තවත් දවසක් ලෙස අමතක කර දැමීමට ඔවුන් කැමති වී ඇති සෙයකි. ගෝඨාභයගෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට එක අතකින් රනිල් වික්‍රමසිංහ ද, අනෙක් අතින් ඩලස් අලහප්පේරුම ද යෝජනා කරමින් මෙකී දේශපාලනඥයන් කටයුතු කරමින් සිටින්නේ පවතින පාර්ලිමේන්තුව එලෙසම පවත්වාගෙන යාමේ අභිලාෂයෙන් යුක්තවය. ඔවුන්ට අනුව සිදුව තිබෙන්නේ එක දෙයකි ; එනම් ජනාධිපතිධූරය හිස් වීම පමණකි. ඊට තවත් දේශපාලනඥයෙක් පත් කොට, පුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන යාම (business as usual) පුලුවන් බවට ඔවුන් කල්පනා කරන සෙයකි.

ප්‍රධාන පක්ෂවල දේශපාලනඥයන් මෙලෙස මහජන මතය හා ව්‍යවස්ථාදායකය තුල මහජන මතය නියෝජනය වීම අතර පවතින බරපතල පරතරය නොතකා හැර කටයුතු කරන විට, ඊට වෙනස් පර්යාවලෝකනයන් ඉදිරිපත් කරන ප්‍රවණතා දෙකක් අපට දැකගත හැක.
පලමු ප්‍රවණතාවය නම් ජනතා විමුක්ති පෙරමුණයි. පවතින පාර්ලිමේන්තුව මහජන මතය නියෝජනය නොකරන බවට ඉතාම නිවැරදිව පෙන්වා දෙන ඔවුන්, හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවිය යුතු බවට ඉල්ලා සිටිති. ඔවුන්ගේ යෝජනාව වන්නේ එතෙක් අන්තර්වාර පාලනයක් ඇති විය යුතු බවත්, එම අතුරු පාලනයේ අරමුණ විය යුත්තේ මැතිවරණයක් පවත්වන තෙක් ඒ සඳහා අදාල පසුබිම සකස් කිරීම පමණක් බවත්ය.

දෙවන ප්‍රවණතාවය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ සංඛ්‍යාත්මකව සුලුතර නමුත්, නොසලකා හල නොහෙන බලවේගය වෙතින් මතු වේ. පාර්ලිමේන්තුව මහජන මතයේ නියෝජනයක් ලෙසට සැලකිය නොහෙන නිසා, පාර්ලිමේන්තුවට පිටත සිටින මහජන බලවේග ඒකරාශී කරගත් මහජන කවුන්සිලයක් ස්ථාපිත කල යුතු බවට ඔවුන් ඉල්ලා සිටී. ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාධරයන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන යනා දී සමාජ මතය නියෝජනය කරන සංවිධානවලින් මෙම මහජන කවුන්සිලය සමන්විත විය යුතු බවත් ; එම කවුන්සිලයේ අදහස් ආණ්ඩු කටයුතු කිරීමේ දී තීරණාත්මක ලෙස සලකා බැලිය යුතු බවත් ඔවුන් පවසති.

පලල් වශයෙන් ගත්කල, ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංස්ථාපිත දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන අදහසට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කරන බව පෙනෙන්ට තිබේ. සංස්ථාපිත දේශපාලනඥයන් සංස්ථාපිතය එලෙසම ආරක්ෂා කරගැනීමේ යොමුවක පසුවේ. ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය නව පාර්ලිමේන්තු මැතිවරණයක් තුලින් කෙරෙන පාර්ලිමේන්තු සංයුතියේ වෙනසක් හරහා සංස්ථාපිතයේ තර්කය අර්බුදයට යැවීමටය. පෙරටුගාමී පක්ෂය පාර්ලිමේන්තුවට පිටත පිහිටුවන මහජන නියෝජිත සභාවක් හරහා සංස්ථාපිත දේශපාලනයේ තර්කය අර්බුදයට යැවීමට කල්පනා කරයි.

කෙසේ වුවද, මෙම පක්ෂ දෙක ඉදිරිපත් කරන ඉදිරි දර්ශනයන් අතර තීරණාත්මක ගැටුමක් ද පවතී. පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සදහා ජනතා විමුක්ති පෙරමුණ කරන ඉල්ලීම පෙරටුගාමී පක්ෂය දකින්නේ ‘අරගලය පාවාදීමක්’ ලෙසටය. කෙසේ වුවද, පෙරටුගාමී පක්ෂය ඉදිරිපත් කරන වැඩපිලිවෙල වන ; විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු ප්‍රතිසංස්කරණ ද සහිත, අවසානයේ නවතම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පවතින පාර්ලිමේන්තුව හරහා සම්මත කරගැනීමේ වැඩසටහන බෙහෙවින් මනෝරාජික වූවකි. ජනතා විමුක්ති පෙරමුණ ඊලග මැතිවරණයේ දී වැඩි බලයක් ගැන්මට අපේක්ෂා කරයි. දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඔවුන්ගේ ප්‍රවේශය නම්, එම ප්‍රතිසංස්කරණ සිදුකිරිමේ කතෘකයා තමුන් විය යුතු බවට වන අදහසයි. පෙරටුගාමී පක්ෂයේ ප්‍රවේශයේ තිබෙන මූලික ගැටලුව නම්, ප්‍රතිසංස්කරණවල කතෘකයා වීමේ වගකීම පොහොට්ටු බහුතරයක් තිබෙන වත්මන් පාර්ලිමේන්තුවට පවරා, මහජන කවුන්සිලය හරහා හුදු බලපෑම් කණ්ඩායමක් බවට පත්වීමේ තත්වයට සිය කතෘත්වය ඌණනය කරගැනීමයි.

කෙසේ වුවද, මහජන කවුන්සිලය පිලිබඳ පෙරටුගාමී පක්ෂය යොදන අවධාරණය අපගේ අවධානයට යොමු විය යුත්තකි. පෙනෙන්ට තිබෙන ලෙසට, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් බැහැර එබඳු ව්‍යුහයක තිබෙන වැදගත්කම තවමත් නිසි ලෙස ග්‍රහණය කරගෙන නොමැත. එබඳු ව්‍යුහයක් වැදගත් වන්නේ ඇයි? යට කී ලෙස මහජන මතය පාර්ලිමේන්තුව තුල නිසි ලෙස නියෝජනය නොවන පසුබිමක, පාර්ලිමේන්තුව තුල සිටින සංස්ථාපිත දේශපාලන පක්ෂ එකී මතය නොතකා හැර අත්තනෝමතික ලෙස සිය බලය පවත්වා ගෙන යන පසුබිමක, මන්ත්‍රීවරුන් තිදෙනෙක් පමණක් සහිත ජනතා විමුක්ති පෙරමුණට වුව පාර්ලිමේන්තුව තුල කල හැකි දෑ සීමිතය. පාර්ලිමේන්තුව සිය සුජාත නියෝජනය නොවන ලෙස හගින ජනයාගේ ආවේගයන් ප්‍රකාශමාන වීම සඳහා යම් වේදිකාවක් මෙම පසුබිම තුල අවශ්‍ය කෙරේ. එබඳු වේදිකාවක් ලෙස මහජන සංවිධානවලින් සමන්විත, පාර්ලිමේන්තුවෙන් පිටත පවතින යම් ව්‍යුහයකට මේ මොහොතේ කල හැකි තීරණාත්මක කාර්යභාරයක් පවතී.

රාජ්‍ය බලය ලබාගැනීම පිලිබඳ සාම්ප්‍රදායික ලෙනින්වාදී ආස්ථානය වන්නේ ද්විත්ව බලය පිලිබඳ අදහසය. එනම් පවතින ආයතනික ව්‍යුහයට සමාන්තර ලෙස, සෝවියට් සභා පන්නයේ බල ව්‍යුහ නිර්මාණය කිරීම හා එම ව්‍යුහ හා පවතින ආයතනික ව්‍යුහ අතර සිදුවන මුහුණට මුහුණලා අරගලයක් හරහා නව ව්‍යුහය වෙත බලය ලබා ගැනීමය. මෙම ආස්ථානය පාර්ලිමේන්තුව බඳු නියෝජිත ආයතන ස්ථාපිත වී නොතිබූ 20 වන සියවසේ මුල රුසියානු සමාජය තුල යථාර්තවාදී ස්ථාවරයක් වන නමුදු, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය මුල් බැස ගෙන තිබෙන සමාජවල පවතින නියෝජිත ආයතනවලට සම්පූර්ණ විකල්පයක් ලෙස එබඳු විකල්ප ව්‍යුහවලට මතු වන්ට තිබෙන ඉඩ සීමිතය.

පසුකාලීනව, මාක්ස්වාදී සාහිත්‍යය තුල මේ සම්බන්ධව ඇති වූ වාද විවාදවල දී ග්‍රීක මාක්ස්වාදී න්‍යායධරයෙක් වූ නිකොස් පුලන්සාස් බඳු අය ද්විත්ව බලය පිලිබද සාම්ප්‍රදායික අදහසට එරෙහිව මතු කල ප්‍රධානතම විවේචනයත් එයයි.

මේ තතු තුල පවතින ආයතනික ව්‍යුහයට පරිපූර්ණ විකල්ප ආයතනික ව්‍යුහයක් ලෙස මහජන කවුන්සිලය බඳු ආයතන වර්ධනය කිරීමට යමෙක් කල්පනා කරයි නම්, එය එතරම් ප්‍රායෝගික ඉදිරි දර්ශනයක් ලෙස සැලකිය නොහේ. කෙසේ වුවද, එබඳු ව්‍යුහයකට භූමිකාවක් නොපවතින බව ඉන් අදහස් නොවේ. නිකොස් පුලන්සාස් 1970 ගණන්වල ග්‍රීක කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට අදාලව ඉදිරිපත් කල සටන් පාඨය වූයේ ද්විත්ව ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවයයි ; එනම් පාර්ලිමේන්තුවෙන් පිටත සමාජ ව්‍යාපාර තුල දේශපාලන කිරීම, එම දේශපාලනය සංවිධිත ලෙස ගොඩනැගීම හා එලෙස ගොඩනැගෙන බලයේ පදනම මත පවතින ආයතනික ව්‍යුහ ආක්‍රමණය කිරීම හා ඒවා තුල දේශපාලනය කිරීම. එනම් ආයතනික ව්‍යුහය තුල කෙරෙන දේශපාලනය හා ඉන් පිටත කෙරෙන දේශපාලනය යන දෙකම එක හා සමාන වැදගත්කමකින් යුක්ත බවට සලකා, මේ දෙක අතර පවතින දයලෙක්තික සම්බන්ධතාවය වටහා ගෙන, මේ ක්‍රියාකාරීත්වයන් දෙක අතර සංයෝගයක් ඇති කිරීමට යන්ත දැරීමය.

ඊලගට කවුරු ජනාධිපති වූවත්, මෙරට ජනතා ව්‍යාපාරයට ඉදිරියට තිබෙන මග එබඳුය. රනිල් වික්‍රමසිංහ වේවා, රොහාන් සමරජීවගේ මූලිකත්වයෙන් සකස් කල ඊනියා අවම වැඩපිලිවෙලට එකඟතාවය පල කල ඩලස් අලහප්පේරුම වේවා ජනාධිපති වූ විට සිදුවීමට නියමිත දෙය නම් — පවතින ආර්ථික අර්බුදයට නව ලිබරල් විසඳුමක් ඉදිරිපත් කිරීමය. එනම් කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කරමින්, සමාජයේ පහල පාන්තික ජනතාව මත අර්බුදයේ බර පටවමින්, රජයේ ආර්ථික ක්‍රියාකාරීත්වය තව තවත් හකුලුවා දමමින්, ව්‍යාපාරික පන්තියට පුලුවන් තරම් සහන ලබා දෙමින් පන්තිමය වශයෙන් අතිශය පක්ෂග්‍රාහී වූ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමය. මේ රටේ බහුතරය වන වැඩ කරන ජනයාට, ගොවීන්, ධීවරයන් බඳු සුලු නිෂ්පාදකයන්ට, අසංවිධිත අංශයේ සේවා නියුක්ත ලක්ෂ සංඛ්‍යාත අඩමාන ශ්‍රමිකයන්ට මේ වැඩපිලිවෙල තුල ඉදිරියේ දී සිදුවීමට නියමිත කබලෙන් ලිපට වැටීමය. ඔවුන්ගේ කෝපය හා අසහනය ඊලග වටයේ දී තව තවත් උග්‍ර වීමට නියමිතය. මෙම මහජන අතෘප්තිය ආයතනික රාමුවෙන් පිටත හා පවතින ආයතනික ව්‍යුහයන් තුල සංවිධානය කරමින්, රාජ්‍ය බලය අත්පත් කරගැනීමට කල්පනා කරන නිර්මාණශීලී ප්‍රගතිශීලී ව්‍යාපෘතියකට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පසුබිම මේ වනවිට සකස් වෙමින් තිබේ.

සඳුදා යනු සතියේ පලමු වැඩ දවසය. ප්‍රබෝධමත්ව වැඩ පටන් ගත හැකි දවස සඳුදාය. සංස්ථාපිත දේශපාලනයට අනවශ්‍ය තරම් අනුගත වීම හා අතිවාමවාදී වීම යන අන්ත දෙක මග හැර, අලුතින් හුස්මක් ගෙන වැඩ පටන් ගන්නේ නම්, මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයට මේ උදා වී තිබෙන්නේ ඉතිහාසය අලුතින් ලිවිය හැකි මනරම් අවස්ථාවකි.

රමිඳු පෙරේරා විසිනි.
Prathivada.lk උපුටා ගැනීම.

leave a reply