Breaking News

බ්‍රෙෂියා කිතුනු සංගයේ රිදී ජුබිලියට විවර අපේ සුබපැතුම්

සුබ පැතුම් එක් කරන මේ මොහොතේ බ්‍රෙෂියා කිතුනු සංගය සමාජය වෙත කල සේවය අගයන අතර ඊට අදාල ඉතාහිසය පිළිබඳ කෙටි මතක් කිරීමක් එක් කිරීම අපගේ යුතු කමක් ලෙස සලකමු. මේ ලිපියේ අරමුණ කිසිවකු අපහසුතාවයට ලක්කිරීම නොවන අතර එය ඇගයීම හා මතකය අලූත් කිරීමක් පමනක් බවද සටහන් කර තබමු

බ්‍රෙෂියා පලාතේ ලාංකික කතෝලික ජනතාවට තම කටයුතු ආරම්භ කිරීමත් එම කටයුතු පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය මධ්‍යස්තානයක් ලෙස ස්තොකෙත්තා දේවස්ථානය හිමිකර ගැනීමත් පිළිබඳ ඉතිහාසයක් තිබෙන අතර එහිදී ඒ වෙනුවෙන් කැපවී කටයුතු කල පිරිස වෙත එහි ගෞරවය පිරිනැමීම අපගේ වගකීම ලෙස අප විශ්වාස කරමු.

Stocetta සිංහල දෙමළ අලුත් අවුරුද්ද උත්සවය 1996

එහි ආරම්භය ඇතිවූයේ 90 දකසයේ මුල් භාගයේදීය. ලාංකීය කතෝලික ජනතාවගේ මධ්‍යස්ථානයක් ලෙස ස්තොකෙත්තා දේවස්ථානය පත්වීම සඳහා මූලික නියමුවා වන්නේ ගරු බර්නාඞ් පියතුමාය. එතුමා අපට මුණ ගැසෙන්නේ ඊට පෙර වෙනත් අවස්ථාවක වන අතර එතැන් සිට අප ගත් උත්සහය හා එතුමාගේ කාරුණික අනුග‍්‍රහය අපට අමතක කල නොහැක. මුලින්ම එතුමා බ්‍රෙෂියා පලාතේ මනේර්බියා දේවස්ථානයේ සේවය කල අතර එතුමා අපට මුල් වරට මුණ ගැසෙන්නේ කියාරි දේවස්ථානය විසින් සංවිධානය කරන ලද සංක‍්‍රමණිකයින් වෙනුවෙන් පවත්වන ලද විශේෂ දේව මෙහෙයකදීය. එහිදී අප මතක් කල යුතුම කෙනෙකු වන්නේ තෙරෙස් මල්වත්ත මහත්මියයි. ඇය දීර්ග කාලීනව වාසය කරන කියාරි නගරයේ දේවස්ථානය විසින් සංවිධානය කල එම දේව මෙෙහෙයේදී ලාංකීය අපගේ දායකතවය සඳහා මූලිකත්වය ගෙන ඇය අපට යෝජනා කලේ එහි ගීතිකා ගායනයට සම්බන්ද වන ලෙසයි. එහිදී අප යාලූවන් කීප දෙනෙකු විසින් එම කාර්යය බාරගත් අතර එදින එම කාර්යය සඳහා සහභාගිවීමු. එහිදී ආගමික වෙනසකින් තොරව එය ඉදිරිපත් කිරීම සඳහා අනිල් සාලිය රීටක්කා ප‍්‍රියානි සහ නම් වශයෙන් මතක නැති තවත් කීප දෙනෙක් සම්බන්ද විය. අවසානයේ අපට බර්නාඞ් පියතුමා මුණගැස්වීමට තෙරෙස් මහත්මිය කටයුතු කල අතර එම කතා බහේදී අප විසින් එතුමාට ඉදිරිපත් කලේ ලාංකීකයින්ගේ ආගමික හා සමාජ කටයුතු වෙනුවෙන් මධ්‍යස්ථානයක අවශ්‍යතාවයයි. මොකද ඒ වන විටත් අප බ්‍රෙෂියා ලාංකීකයින් වෙනුවෙන් සංගමයක් ආරම්භ කර තිබුනි. එහිදී එතුමා අප වෙත දන්වා සිටියේ නොබෝ කලකින් එතුමා ස්තොකෙත්තා වෙත පත්වීමක් ලැබ එන බවත් ඔහු සංක‍්‍රමණිකයින්ගේ කටයුතු වෙනුවෙන් පත් කර තිබෙන බව හා ඒ අනුව එම ස්ථානය විවිධ කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන හෙයින් අපගේ අවශ්‍යතාවයට එහි ඉඩ විවර කර දෙන්නට හැකි බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡුා කර ගැනීමට එතුමා එවකට සිටි මනේර්බියා වෙත පැමිනෙන ලෙස අපට ආරාධනා කලහ. ඒ අනුව මම අනිල් සහ තෙරෙස් මහත්මිය එතුමා මුණ ගැසීමට එහි ගිය අතර අපගේ අදහස හා වුවමනාව පැහැදිළිව සාකච්ඡුා කර ගැනීමට හා එකගතාවයට පැමිනීමට හැකි විය. ලාංකීකයින් ඇතුලූ සියලූ සංක‍්‍රමණිකයින් හට එය විවෘත බවත් එහි පැමිණි වහාම කටයුතු ආරම්භ කල හැකි බව එතුමාගේ කාරුණික පොරොන්දුව අපට ලැබුන අතර එතැන් සිට ඊට අදාල සැලසුම් සකස් කිරීමට අප යුහුසුලූ වීමු. ඒ වන විටත් අප සංවිධානය මූලික වී විශේෂ අවස්තාවන්හි කතෝලික ජනතාවට සිංහල භාෂාවෙන් දිව්‍යපූජා පැවැත්වීමට කටයුතු කරමින් සිටියෙමු. නත්තල පාස්කුව වැනි විශේෂ අවස්තාවන්හි දිව්‍යපූජා සඳහා ඒ වන විට රෝමයට අධ්‍යාපන හා සේවා කටයුතු සඳහා පැමිනෙන ලාංකීය පියතුමන්ලා බ්‍රෙෂියා වලට ගෙන්වා ගෙන කටයුතු කිරීමට අප මැදිහත් වෙමින් සිටිමු. එහිදී ඊීටා මහත්මිය අපට අමතක කල නොහැක. පලමු අවස්තාවට එවන් පියතුමකු ගෙන්වා ගැනීමට අදාල සම්බන්දතාවය අපට උදා කර දුන්නේ ඇය වන අතර ඇයගේ සොයුරු නෙවිල් පියතුමා මුල්ම අවස්තාවට සහභාගිවී අපට එම සම්බන්දතාවය සාදා දුනි.

Brescia ආගමික සංස්කෘතික ඉතිහාසය

බර්නාඞ් පියතුමාගේ බ්‍රෙෂියා ආගමනයත් සමග අප එහි කටයුතු ආරම්භ කල අතර මාසයකට එක් දිව්‍යපූජාවක් බැගින් පවත්වන්නට අවස්ථාව උදා කර ගත්තෙමු. ඒ අනුව සෑම ඉරිදාවකම එහි ඒකරාශිවී ක‍්‍රීඩා හා වෙනත් කටයුතු ඉටු කර ගැනීමට එම ස්ථානය යොදා ගැනීම ආරම්භ කළෙමු. මුලින්ම අප වොල්බෝල් ක‍්‍රීඩාව ( පරණ යකඩ කඩයකින් බම්බු දෙකක් ගෙනැවිත් පිටිය සෑදීමට අප කටයුතු කළෙමු ) හා අනතුරුව පාපන්දු ක‍්‍රීඩාව ආරම්භ කරම්න් ලාංකීකයින් ආගම් බේදයකින් තොරව ඒකරාශීවන මධ්‍යස්ථානයක් බවට පත්කර ගත්තෙමු. ලාංකීය බෞද්ධ ජනතාව වෙනුවෙන්ද අප විශේෂ අවස්ථාවන්හිදී ස්වාම්න්වහන්සේලා වැඩම්මවා වෙසක් පොසොන් වැඩසටහන්ද බ්‍රෙෂියා හිදී පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කලෙමු. විශේෂයෙන් සඳහන් කල යුතුම කාරණයක් මෙහිදී මතක් කල යුතුය. ස්තොකෙත්තා දේවස්තාන පරිශ‍්‍රයේ වෙසක් වැඩ සටහනක් කිරීමටද අප කටයුතු කල අතර බර්නාඞ් පියතුමාගේ නොමසුරු සහයෝගය ඊට ලබා දුන් බවද එතුමාට ගෙෘරවයක් ලෙස සඳහන් කල යුතුමය. සියලූ ලාංකිකයින්ගේ මධ්‍යස්ථානයක් ලෙස දිනෙන් දින වර්ධනය වූ එහි විවිධ කටයුතු පවත්වාගෙන යාමට අපට එය මහගු අවස්ථාවක් විය. නත්තල් උත්සව අවුරුදු උත්සව සංගීත සංදර්ශන ආදී විවිධ සමාජ හා සංස්කෘතික කටයුතු කරන ලාංකීය මධ්‍යස්ථානය බවට එය නිතැතින්ම පත්විය. ඉතාලි ජනතාවගේ සහයෝගයද අපට නොමසුරුව ලැබුන බවත් එහිදී ජුසී මහත්මිය මහගු කාර්යයක් අප වෙන්වෙන් ඉටුකල බවත් එතුමියට ගෞරවයක් ලෙස සඳහන් කල යුතුමය.

මුලින්ම අපට අඛන්ඩව මාසික දිව්‍ය පූජාව වෙනුවෙන් ගරු බෙනඩික් පියතුමා පැමිනි අතර රෝමයේ සිට පැමිනි එතුමා මිලානෝ බ්‍රෙෂියා වෙරෝනා දක්වා පූජා පවත්වමින් එම සති අන්තයන් සංවිධානය කල අතර අප සංවිධානය ඒ වෙනුවෙන් ගමන්ගාස්තු ගෙවීමට කටයුතු කළෙමු. එහිදීත් බෙනඩික් පියතුමාගේ හා ගරු බර්නාඞ් පියතුමාගේ විශේෂත්වය අප ඔවුන්ට ගෙෘරවයක් ලෙස සටහන් කර තැබිය යුතුමය. එනම් බෙනඩික් පියතුමා තම ගමන් ගාස්තුව නගර කීපයට සමානව බෙදා අපගෙන් ගනු ලැබුයේ අපට අදාල කොටස පමනක් වන අතර බර්නාඞ් පියතුමා පූජාවේදී එකතුවන පඩුරු මුදල අපවෙත ප‍්‍රධානය කලේ එය ගමන් වියදමට ලබා ගන්නා ලෙස පවසමිනිි.

2001 විවර සංවිධානය කළ  අත්පන්දු තරගාවලිය

අප ආරම්භ කල ලාංකිකයින් වෙත සිංහල දිව්‍යපූජාවන් ලබා ගැනීමේ කටයුත්ත නියමු ව්‍යාපෘතියක් වූ අතර මුලූ ඉතාලිය පුරාම එය දිනෙන් දින වර්ධනය විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉතාලියේ ලාංකීය කතෝලික ප‍්‍රජාව වෙනුවෙන් නිත්‍ය නියෝජිතයකු පත්කර එවීමට කතෝලික සභාව කටයුතු කරන ලදී. ඒ අනුව වර්ෂ 2000 ආසන්න වකවානුවේ නෙවිල් ජෝ පියතුමා එම නියෝජිතයා ලෙස පිළිගැනීමේ උත්සවයක් අප සංවිධානය මූලිකත්වයෙන් පැවතුනි. එහිදී ජූසි මහත්මියගේද සහය ඇතිව පිට්සා ඇතුලූ කෑම බීම සහිතව බොහෝ ලාංකිකයින් හා ඉතාලි අයගේ සහභාගිත්වයෙන් සිදුවූ එහිදී අපූරු සිදුවීමක් සිදුවිය.

මා අසලම රැඳී සිටි නෙවිල් පියතුමා විසින් මෙම කටයුතු ඇතුලූව දිව්‍යපූජා කටයුතු සිදුවන ආකාරය ගැන මගෙන් විමසා සිටීමයි. මා එහිදී අප සංවිධානය මූලික වී කටයුතු ආරම්භ කල බව හා පවත්වාගෙන යන ආකාරය පැහැදිලි කළෙමි. එහිදී අප ජාති ආගම් කුල බේදයකින් තොරව සියලූ දෙනාගේ සහයෝගයෙන් මෙම කටයුතු බ්‍රෙෂියා හිදී පවත්වාගෙන යන බව සැලකිය යුතු ආඩම්බරයකින් පැවසීමි. එහෙත් සිදුවූයේ කිසිසේත්ම මා බලාපොරොත්තු නොවූ ප‍්‍රතිචාරයකි. එනම් එතුමා වහාම පැවසුවේ දේවස්ථානය කතෝලිකයින්ට පමනක් බවත් අන් අයට මෙහි කටයුතු සඳහා ඉඩ නොමැති බවත් ඉදිරියේදී ඒවා වෙනස් විය යුතු බවත් ප‍්‍රකාෂ කිරීමයි. ක්ෂණයකින් මා සිත තුල ඇතිවූයේ යම් අප‍්‍රිය ජනක හැගීමක් ඇතිවූ අතර මා සිතා ගත්තේ මෙතැන් සිට අපට අලූත් අභියෝගයකට මුහුණ දීමට සූදානම් විය යුතුය යන හැගීමයි. එතුමාට ප‍්‍රතිචාර දැක්වීමට උනන්දු නොවූ මා එදින කටයුතු අවසන් කරන්නට දායක වුනි. එතුමා යටතේද දිව්‍යපූජා කටයුතු සංවිධානය කිරීමට අප කටයුතු කල අතර එහිදී එතුමා අවධාරණය කලේ මිල්ල 100ක මුදලක් ගමන් වියදම් සඳහා අප විසින් ගෙවිය යුතු බවයි. කෙසේ නමුත් අප එයද ඉටු කරමින් යන අතරතුර එක් අවස්ථාවකදී නොසිතු ගැටලූවකට මුහුණ දීමට සිදුවිය.

එක් ලාංකිකයකු පියතුමා සමග සාකච්ඡුා කර පූජාව පැවැත්වීම අදාල ඉරුදින උදයට යොදාගෙන තිබුනි. ඒ ඔහුට අදාල විශේෂ අවස්ථාවක් නිසා වෙනි. නමුත් අවසාන මොහොත දක්වා ඒ බවක් අප දැනුවත් නොවූ හෙයින් ඒ පිළිබඳ අපගේ නොසතුට පල කල අතර ඊට විශේෂම හේතුව වූයේ ජනතාව දැනුවත් කිරීමට ප‍්‍රමානවත් කාලයක් අපට නොතිබීමයි. අද වගේ නොව එදා පහසුකම් අඩුකම නිසා ජනතාවගේ දෝෂාරෝපණයටද අප භාජනය වීමත් අනෙක් පසින් අප ගෙවිය යුතු මුදලට දායක වන පිරිස මේ හේතුවෙන් අඩුවීමත් විසින් අපට ගැටලූ දෙකකට මුහුණ දීමට සිදුවිය. කෙසේ වෙතත් එදින උදේ පූජාව යොදාගත් කෙනා අප දැනුවත් කරමින් පැවසුවේ ඔහු විසින් මිල්ල 50 ක් පියතුමාට ලබා දුන් බවත් අප දිය යුත්තේ ඉතිරි මිල්ල 50 පමනක් බවයි. ඒ අනුව මට මතක ආකාරයට එවකට බ්‍රෙෂියා ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති ලෙස කටයුතු කල සමන්ත සොයුරා එම 50 ලබාදුන් අතර එය පියතුමාගේ දෝෂ දර්ශණයට ලක් විය. ඒ අප ලබාදිය යුතු මුදල අඩුකිරීම සම්බන්දවයි. කෙසේ වෙතත් අප අවසානයේ මුලූ මුදල ලබා දීමට කටයුතු කළෙමු. කෙසේ නමුත් පසු අවස්ථාවකදී පියතුමාගේ මැදිහත්වීමෙන් පූජා කටයුතු වෙනුවෙන් වෙනම කමිටුවක් පත්කර ගත් අතර එතැන් සිට ජූජා කටයුතු සංවිධානය කිරීමේ වගකීමෙන් බ්‍රෙෂියා ශ‍්‍රී ලංකා සංවිධානය ඉවත් වීමට කටයුතු යෙදුන අතර සෙසු ක‍්‍රියාකාරකම්ද හීන වන්නට විය. ආගමික කටයුතු සඳහා එසේ ඔවුන් සීමා වන විට සෙසු සමාජ කටයුතු පවත්වාගෙන යන්නට හා පුලූල් කිරීමට අපගේ අවධානය යොමු විය.

ඒ අනුව 1997දී අප විසින් ඉතාලි ශ‍්‍රී ලංකා සහයෝගිතා සංවිධානය පිහිටවූ අතර අපගේ කටයුතු පුලූල් කිරීමට අවධානය යොමු කලෙමු. ඒ අනුව අප 1997 මාර්තු වන විට විවර ගුවන්විදුලි විකාෂය ආරම්භ කල අතර 2000 ආසන්න වන විට විවර පුස්තකාලය හා පසුව විවර පාසල ආරම්භ කලෙමු. අපගේ සියලූ කටයුතු කිසිදු බේදයකින් තොරව සැමට විවෘත වූ අතර කලා කටයුතු සංස්කෘතික කටයුතු මාධ්‍ය කටයුතු අධ්‍යාපන ආදී විවිධ වූ සමාජ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මැදිහත්වෙමින් සිටිමු.

ඒ අතර වෙනම නත්තල් උත්සවයක් කිරීමට අප පෙළඹවූ කාරණය සටහන් කරමින් මේ ලිපිය අවසන් කරමි. බ්‍රෙෂියා නගරයට මුල් වරට අවුරුදු උත්සව නත්තල් උත්සව ක‍්‍රීඩා උත්සව නාට්‍ය සිනමා කටයුතු කතෝලික/බෞද්ධ ආගමික උත්සව යනාදිය පවත්වන්නට කටයුතු කල අප ලාංකීය බහුතරයේ සහයෝගයෙන් හා වෙනසකින් තොරව සැමට ඊට සහභාගී වියහැකි වන ලෙස සංවිධානය කළෙමු. එහෙත් එක් අවස්ථාවක නත්තල් උළෙල සංවිධානයේදී ඔවුන් විසින් එහි ප‍්‍රාසාංගික කටයුතු කතෝලික ළමුන්ට පමනක් සීමාකර තීබූ හෙයින් එහිදී සෙසු දරුවන් අපහසුතාවයට ලක්වීමේ ඒ වේදනාකාරී අත්දැකීම විසින් සියලූ දෙනාට සහභාගිවිය හැකි විකල්ප නත්තල් උළෙලක් සංවිධානය කිරීමට අපව පෙළඹවූ බවයි. කෙසේ වෙතත් මේ පසුකාලීනව පැමිනි පියතුමන්ලා සමග පුලූල් අවබෝධයකින් සහ සහයෝගයකින් කටයුතු කිරීමට අවස්ථාව හිමිව තිබෙන අතර ගරු ක‍්‍රිස්ටි ලෙනාඞ් වත්මන් පියතුමා මෙන්ම ගරු ජෝර්ජ් ලින්ටන් හිටපු පියතුමාද එහිදී අපගේ ගෞරවයට පාත‍්‍ර වන බවද සඳහන් කරමු. අප සෑම විටම සියලූ ආයතන සංවිධාන හා පුද්ගලයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප‍්‍රතිපත්තියක් කොට ඉදිරියටත් ක‍්‍රියාකිරීමට සැදී පැහැදී සිටිමු.

ඒ වෙනුවෙන් සැමට අපගේ සහෝදරත්වයේ දෑත් විවර කරමු.

තීමස් විජිත්

leave a reply