Breaking News

banksyගේ ‘Aachoo!!’  සහ අපේ වීදි  චිත්‍ර

හිල්මි සුපුන් 

පසුගිය වසරේ නොවැම්බර් ,දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ  පාරවල් වලට මුහුණ ලා තිබු තාප්ප වල බොහෝ  චිත්‍ර ඇඳි යටගියාවට එකතු වූ කාලයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟ  ආරම්භ වූ  මේ වීදි  චිත්‍ර රැල්ල වැඩි කලක් නොයාම අභාවයට පත් වුණා. මේ රැල්ල ඇති වීමට හේතු කාරණා වුනේ  මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ  ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ නගර අලංකරණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමත්  කොළඹ කේන්ද්‍ර කරගෙන කොළඹ නගර ආකර්ෂණීය නගරයක් බවට පත් කරන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමයි . ඉතින් සාමාන්‍ය ජනතාව තරුණ කොටස් ගෝඨාභයගේ ජනාධිපති වීමෙන් පසුවත් කල්පනා කළේ ඔහු එදා  ගෙන ගිය වැඩ පිළිවෙළ දැන් ඉතින් දිගටම කරගෙන යාවි රට ලස්සන කරාවි කියාය .  මේ අවිඥානික සිතුවිල්ල නිසා තරුණ කණ්ඩායම් තාප්ප බිත්ති චිත්‍ර වලින් පුරවන්න ගත්තා. විවිධ අරමුණු ඇතිව සමාගම් ඒවාට අනුග්‍රහය දැක්වුවා. 2020 වර්ෂය  ආරම්භ වී ටික කලක් යත්ම වීදි චිත්‍ර ඇඳීම නගර අලංකාරය  නන්නත්තාර වී ගියා. මේ කියමනට එරෙහිව තර්කයක් ගොඩ නගන්න පුළුවන්, ඒක එහෙම වුණේ  2020 ආරම්භයේ කොරෝනා වසංගතය ඇවිත් රට  අකර්මණ්‍යය කරපු නිසා කියලා.  පවතින තත්ත්වයන්ට සාපේක්ෂව සහ ගෙවුණු කාලයේ සිදුවීම් වලට සාපේක්ෂව අප විශ්වාස කරනවා කොරෝනා ආවත් නැතත් මේ බිත්ති හැඩි කරපු රැල්ල මේ විදිහටම අභාවයට යන්න නියමිතව තිබුණු රැල්ලක් කියා . ඊට හේතුව තමයි එය පොදු වුවමනාවන් වෙනුවෙන් හෝ පුළුල් සමාජ උන්නතීය අරමුණක් වෙනුවෙන් හට නොගත් එකක් වීම.

මේසේ ඇඳි වීදි චිත්‍ර අතර පුළුල් කතාබහට ලක්වූ සහ 2019 තාප්ප හැඩිකළ චිත්‍ර අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීමට තරම් වැදගත් අදහසක් මතු වෙන කිසිම චිත්‍රයක් ඇදුනෙ නැති තරම්. යම් සමාජ දේශපාලන සංස්කෘතික අනාගත වෙනසක් හුවා දක්වන්නට ඇඳි එකම චිත්‍රය පවා රාජ්‍ය මැදිහත්වීම ඇතිව මකා දැමීමට කටයුතු කිරීම සිදුකරනු ලැබුවා .  එම  චිත්‍රය මකා දැමීම හරහා සනාථ කරනු ලැබූවේ  වීදි චිත්‍ර ඇඳීම සඳහා ගෝඨාභයගේ පැමිණීම සමඟ ලබා දුන් සහයෝගය යනු ජනතාව රවටන ව්‍යාපෘතියක් බවයි.

                                       රටේ සම්පත් විකුණන දේශපාලන ව්‍යාපෘතියට හානි වේයැයි බියවී මකාදැමූ චිත්‍රය

ඉහත මතක් කිරීම කළේ  ලෝකප්‍රසිද්ධ වීදි චිත්‍ර ශිල්පියෙක් වන බන්ස්කි ගේ  නවතම වීදි  චිත්‍රය පිළිබඳව සටහනක් තැබීම වෙනුවෙන්. එංගලන්ත ජාතිකයකු වන  banksy නැමැති වීදි චිත්‍ර ශිල්පියා අදටත් ලෝකයට අනාවරණය නොවුනු පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් මාස 10  වන දින  banksy ඔහුගේ නවතම වීදි   සිතුවම නිර්මාණය කරන්නේ ඔහු උපන් ගම් පළාත යයි සැක කෙරෙන  බ්‍රිස්ටල්හි උප නගරයක් වන ටොටර්ඩවුන් හිදීයි . banksy බ්‍රහස්පතින්දා දහවල් සිය වෙබ් අඩවියේ සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේන්  තහවුරු කළේ එම කාර්යය ඔහුගේ බවයි . එය සනාථ කිරීම සඳහා ඔහු විසින් ඡායාරූප ඵළ කිරීම සිදු කර තිබේ.

‘Aachoo!!’ යන නමින් නම් කර  ඇති මෙම සිතුවමේ මහළු ස්ත්‍රියට වේගවත් කිවිසුමක් යන අතර  ඒ සමග ඇයගේ බොරු දත් ඇන්ද  ගැලවී යනවා.  ක්‍රියාවලිය මොන තරම් ප්‍රබල ද කියා  හුවා දක්වන්න ඔහු අන්තර්ජාලයට එකතු කර තිබෙන ඡායාරූපයකකින් උත්සාහ කරනවා. අංශක විසි දෙකක් පමණ වූ බෑවුමක් සහිත පාරක් අද්දර තිබෙන නිවාස සංකීර්ණයක ආරම්භක නිවසේ තාප්පේ ඇඳ තිබෙන මෙම චිත්‍රය  ඔහු ඡායාරූප ගත කරන්නේ පොළොව කෙලින් සිටින විදිහටය. එවිට නිවාස සංකීර්ණය පැත්තකට ඇල වෙන අතරම කිවිසුමේ  ප්‍රභලත්වය සනාථ කිරීම සඳහා ඔහු එතැන කුඩයක් අතින් ගත් මිනිසෙකු පසුපසට තල්ලු වෙන ආකාරයත් කුඩය අනිත් පැත්තට නැවෙන ආකාරයක් නිරූපණය වෙන විදිහට මෙම ඡායාරූපය අරගෙන තිබෙනවා.

කිවිසුම් යාම කොරෝනා වසංගතයේ මූලික රෝග ලක්ෂණයක් වන හෙයින්  මේ  නිර්මාණය කොරෝනා වසංගතය පිළිබඳ ඔහුගේ අදහස ප්‍රකාශ කිරීමට කළ එකක්ද යන්න පිළිබඳ අවිනිශ්චිත මත ප්‍රකාශ වෙනවා. ඒ අතරම මෙම ඡායාරූපයේ සිටින පස්සට විසි වූ මිනිසා තවමත් කිසිවෙක් හඳුනානොගත්  banksy  යැයි සැක පහළ කර තිබේන අතර චිත්‍රය පිළිබඳව මිනිසුන් විවිධ පැතිකඩයන් ගෙන් සිතන අතරතුර එම පළාත භාර නිලධාරීන් කඩිනම් පියවරක් ලෙස එම චිත්‍රය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන  පියවර ගෙන ඇති බව දැකගන්න පුළුවන්.

                  චිත්‍රය ආරක්ෂා කිරීම සඳහා උඩින් ප්ලාස්ටික් ආවරණයක් සවි කරන අයුරු

 banksy කළ බොහෝ නිර්මාණ සිත රිදවනු ලැබූවේ දේශපාලකයන්ගෙය .  ඒ නිර්මාණ වැළඳ ගත්තේ සහ නියෝජනය කළේ  පීඩාවට පත්වෙච්ච ජනතාව. ඒ නිර්මාණ දේශපාලන ක්‍රියාවන්ට  බලපෑම් එල්ල කළත් ඒවා කිසිවෙකුට විනාශ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඊට හේතුව තමයි ඒවා ඉක්මනින්ම ජනතාව ආදරය කරන  නිර්මාණ බවට පත්වීම විසින් දේශපාලකයන්ට සිද්ධවුණා තමන්ම කොපමණ පැරුවත් ඒවා ආරක්ෂා කරන්න. එසේ නොවුනා නම් ජනතා විරෝධය ඉස්මතු වෙන්න තිබුනා.

2019 ලංකාවේ වීදි චිත්‍ර රැල්ල හටගැනීමෙන් පසුව ඇඳපු දේශපාලන චිත්‍රය දවස් දෙකක් ඇතුළත මකාදමන්න ආණ්ඩුව කටයුතු කළත් ඊට එරෙහිව නැගී සිටින්න ජනතාව පෙළ ගැසුණේ නැහැ. එදා චිත්‍රය මකා දමන මොහොතේ වට වී බලාගෙන සිටි පිරිසෙන්  වැඩි කොටසක් තේරුම් ගත්තා නම්  මේ  චිත්‍රය නිරූපණය කරන්නේ  රට විකුණන දේශපාලන ක්‍රියාවළිය සහ ඉන් අනතුරුව තමන්ට අත්වන ඉරණම කියලා එය මකා දමන්නට ඉඩ නොදෙන්න තිබුණා.  එසේ නැතත් තවමත් අපේ රටේ බහුතර ජනතාවක් නිර්මාණයක් රසවිඳින්නට අසමත්, බොහෝ කලා කෘති තේරුම් ගන්නට අසමත්, බොහෝ කලා කෘති නියෝජනය කරන පාර්ශවය වටහා ගන්නට අසමත්.

හිස මත පිස්ටල් එකක් සමඟ ඇඳී දේවමෑණියන්ගේ නිර්මාණය  banksy විසින් ඉතාලියේ ඇඳි ප්‍රථම වීදි චිත්‍රයයි. එය යම් පමණකට විනාශ වී ඇති මුත් ආරක්ෂා කිරීම සඳහා පියවර ගෙන ඇත.

 

 

 

 

 

 

හිල්මි සුපුන්

 

leave a reply