අර එක අතක මහපට ඇඟිල්ලයි, දබරැඟිල්ලයි එකට තියලා තුඩු ගන්වලා ,ඒ තුඩ දිව යට තියලා ගහන විසිල් එකක් තියෙනවා නේද.ඔන්න ඕක මං පොඩි කාලෙ අහපු දැකපු දවසෙ ඉඳන්ම සැරින් සැරේ ගහන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් නිකං තොල් අස්සෙන් හුළං පනින “සූස් – සූස්” සද්දෙ මිසක් මේ වෙනකම් ඒක කවදාවත්ම මගේ අතින් වැදිලා නෑ.ඊට හපන් අර අත් දෙකේ දබරැඟිලි දෙකෙන් දිව පිටිපස්සට රෝල් කරලද මොකද්ද මන්දා කරලා සමහරු ගහන විසිල් එක.ඒකත් එහෙමම තමා ඉතින් .ඕන් ඔයි වගේම තමා අර ඒ කාලේ ආපු පිළිම ගොඩාරියක් එක උඩ එක වගේ හිටින්න ඇඳලා තිබුණු පින්තූරෙ.ඒකෙ එක තැනක් දිහා දිගටම බලාගෙනම හිටියම අනිත් පිළිම දියවෙලා වගේ ගිහින් එක විසාල පිළිමයක් විතරක් පේන්න පටන්ගන්නවලුනෙ.ඕක පේනවා කියලා පාරම්බාපු අයගෙන් එක එක විදිහෙ ක්‍රම අහගෙන කොයිතරම් ඔය පින්තූරෙ දිහා බැලුවත් මට කවමදාවත් එහෙම එකක්නම් මතුවෙලා පෙනිලා නෑ.
පාරෙන් එහා පැත්තෙ තියෙන බාර් එකෙන් ඩ්‍රෑම් දෙසීයකුත් දාගෙන ඇවිත් සිගැරට් එකකුත් පත්තුකරගෙන මං මේ ඉන්නෙ වැල්ලවත්තෙ මූද ගාව තියෙන වැලිකණ්ඩියක වාඩිවෙලා.
අර ඊයෙ හවස මැරිච්ච ජිරාෆයව වලදාලම එන්න වෙච්චි හින්දයි මං අද ටිකක් වෙනදට වඩා මෙතෙන්ට එන්න රෑ වුණේ.දවල් වෙද්දි උගෙ මරණ පරීක්ෂණ වාර්තාව ඔෆිස් එකට ඇවිත් තිබුණා.ඒක නිසා හවස් වෙන්නත් කලින්ම වගේ අපි වැඩේට කෝමත් සෙට්වෙලයි හිටියෙ.
අමරකෝන් බැකෝ එකෙන් වල කැපුවා.ලැබ්රෝයි අයිය ට්‍රැක්ටර් එකෙන් ජිරාපයව එතනට පටෝගෙන ආවා. මං උද්‍යාන පාලන අංශෙට ගිහින් චේන් සෝ එකක් ඉල්ලගෙන ආවා.ඔව්.චේන් සෝ එක තිබ්බ නිසා ඔයින් ගියා.වෙන මොන මුවාත තිබ්බ ආවුදේකින් ඌව කෑලි කරන්න ගියත් අපිට ඔයිට වඩා සෑහෙන්න වෙලාවක් යන්න ඉඩ තිබ්බා ඒ වැඩේට.වලගාව බිම තියාගෙනම තමා අපිට ජිරාපයව කෑලි කරන්න සිද්ද වුණේ.අපි කියලා කිව්වට ඉතින් ඒක කරන්න වුණේ මට .
“ බෲං බෲං බෲං – බ්‍රෑන්න්න්න්න්න්න්න්න්න් බෲං ……….. “
මං චේන් සෝ එක ස්ටාර්ට් කරලා මුලින්ම උගේ දරදඬු ගැහිච්ච ගාත් හතරයි, වලිග කෑල්ලයි වෙන්වෙන්න කපලා අරන් පැත්තකින් තිව්වා.ඊට පස්සෙ මට වෙන්කරන්න වුණේ උගෙ බෙල්ල. අන්න එතනදි තමා මට මහ අමුතු ආකාරෙක හැඟීමක් පහළ වුණේ.සත්තුවත්තෙ ඉන්න සරීරප්‍රමාණයෙන් විසාල සත්තු මළාම, උන්ව අර සංරක්ෂණය කරලා කටුගෙදරට යැවෙන වැඩේට ගැනෙන්නෙත් නැතිනම් අපි මීට කලිනුත් උන්ව මෙහෙම කපලා සත්තුවත්තෙම කොණක වලදාලා තියෙනවා තමා.ඒ කොයි සතාගෙත් ඉතින් බෙල්ල වෙන්කරන්නෙ එක පාරනෙ.ඒත් මේක ඊට වඩා සෑහෙන්න වෙනස්.මට ජිරාපයගෙ බෙල්ල එකපාරක් වෙනුවට දෙපාරක්ම කපන්න වුණා. පළවෙනි පාර මම උගෙ ඒ දිග බෙල්ල උඩ අතට ගලාගෙන ගිහිල්ලා ඔළුවට හයිවෙන තැනින් චේන් සෝ එකෙන් කපලා වෙන්කළා.ඊට පස්සෙ ආයෙමත් උගෙ බෙල්ල පහළට ගලාගෙන ඇවිල්ලා උගෙ කඳට හයිවෙන තැනින් කපලා වෙන්කළා.දෙපොලකින් කැපිලා වෙන්වෙච්චි උගෙ බෙලි කොටෙයි, අනිත් කෑලිබෑලි ටිකයි සේරොම වල දාල තමයි අපි එතනින් එන්න ආවෙ.
රැලෙන් මගෑරුණු බැටළු පැටියෙක් මට ටිකක් විතර එහායින් තිබුණු වැලි පරයක් උඩ වකුටුගැහිලා හොඳටම නිදි.කොයිවෙලාවක හරි ඌව හොයාගෙන ළමයි කාණ්ඩෙ මේ පැත්තට දුවගෙන ඒවි. දෙයක් අලුතින් හොයාගත්තම “යුරේකා – යුරේකා” කියලා කෑගහගෙන දුවන රැල්ල යුරෝපෙන් පටන් අරගෙන ලෝකෙ පුරාම පැතිරෙන්ඩ ගතවුණේ එක නිමේසෙනෙ.ඒත් ඒක ඔඩුදුවන්න පටන්ගත්තෙ පාරිභාෂිත වචනයක් හැටියට ඒ වචනෙ ළමයි අතරට වැදුණට පස්සෙයි.කඳුකර ගොවිපොළවල්වල ඉන්න බැටළුවො සැරින් සැරේ අතුරුදහන්වෙන එක කෝමත් ඉතින් සුලභ කාරණාවක්නෙ.වැඩේවුණේ මේකයි.අතුරුදහන් වෙච්චි බැටළුවෙක්ව හොයාගෙන යන ළමයි රංචුවකට අපි ඌව හම්බවුණා කියමුකො.උන් එතකොට “යුරේකා – යුරේකා” කියලා කෑගහගෙන බැටළුවවත් අරගෙන කඳුකරේ හරහා පල්ලෙහාට දුවගෙන ආවා.හැබැයි ඒ ළමයින්ට හම්බවුණේ වෘකයෙක්ට එහෙම අහුවෙලා කීතුවෙච්චි බැටළුවගෙ කටුටික කියමුකො.උන් ඒත් කළේ “යුරේකා – යුරේකා” කියලා කෑගහගෙන ඒ කටුබොඩියත් උස්සගෙන කඳුකරේ හරහා පල්ලෙහාට දුවගෙන ආපු එකම තමයි. ඒ නිසා කාලයක් ගතවෙද්දි ළමයි මේ “යුරේකා” කියලා කෑගහන්නෙ උන්ට බැටළුවව පණපිටින් හම්බවුණාමද එහෙමත් නැතිනම් උන්ට බැටළුවගෙ මිනිය හම්බවුණාමද කියලා හරියටම හිතාගන්න කාටවත්ම බැරි වුණා.
අලුත් ජිරාපයව මේ වෙනකොටත් එහෙන් නැවට පටවලා ඇති මයෙ හිතේ.අපිට ඌට දාන්න නමක් කල්පනා කරන්නත් වෙනවා.නම් කිව්වම මතක් වුණේ.අපේ ලැබ්රෝයි අයියා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ. එයා පොඩියට වගේ මාරි බිස්කට් වර්ගයක් හදලා ඈත පළාත්වලට දාන්න හිතාගෙන ඉන්නෙ. ඒකට දාන්න හරියන නමක් හොයන වැඩෙත් ලැබ්රෝයි අයියා මට බාරදීලයි තිබුණෙ.අන්තිමට පොඩීයට වගේ ඡායාමාත්‍රික ප්ලෑන් එකක් දැන් මගේ හිතේ ඇඳිලා තියෙන්නෙ.මම ඒ මාරි එකට නම දානව “මයුර මාරි” කියලා.
“මාරි කර්මාන්තයේ විශිෂ්ටතම සලකුණ – මයුර මාරි”
ඔහොම තමා පෝස්ටරේ ගහන්න අපි හිතාගෙන ඉන්නෙ. අපි කිව්වට මම ඉතින් . පෝස්ටරේ මැද්දෙ මොණරෙක් ඉන්නවා පිල් කළඹ විදාගෙන මේම. උගෙ අර පිල්වල තියෙන්නෙ නිල්පාට රවුම් වගේ එව්වා.අන්න ඒ තැන්වලට මයුර මාරි බිස්කට්ටෙක දාලයි මොණරව අඳින්න ඕනෙ . ඒත් ලැබ්‍රෝයි අයියා ඒකට කැමතිවෙයිද කියන්නත් බෑ ඉතින්.
තව ඩ්‍රෑම් පනහෙ දෙහෙකට වගේ මේ වෙලාවෙ මගේ හිතේ ඉඩ තියෙනවා . ඒත් ඊට කලින් මට එහෙනම් ATM එහෙකට යන්න වෙනවා.ඔයගොල්ලො පොඩ්ඩක් ඔහොම්මම ඔතන ඉන්නවද.මම සුටුස් ගාලා ATM එහෙකට ගිහින් සල්ලි අරගෙන එන්නම්.හරිද?
හවස ඉඳන්ම වගේ හීනියට පාත්වෙන පොද වැස්ස තාමත් එහෙම්මම තමයි.මම මූදු වෙරළ එතනම තියලා රේල්පාර උඩින් පැනලා ආපහු මහපාර ගාවට ආවා.එක දිගට පේළියට ඇදීගෙන එන රංචු රංචු ගැහුණු වාහන වලින් පාර වැහිලා ගිහිල්ලා.ඒ වාහනවල තුඩු අගින් තාරපාරට වැක්කෙරෙන රතුපාට එළි උඩට රෑට මේ විදිහට වැටෙන වැහි ඉරිත් එකතුවුණාම පුදුමාකාර ලස්සනයි.මං ඒ දිහා ටික වෙලාවක් ඔහේ බලාගෙනම උන්නා.
මට වාහන එලවන්න බෑ.බෑ කියන්නෙ අඩුගානෙ බැරි ඇයි කියලා මට ඒක පැහැදිලි කරන්නවත් හරියට බෑ.මට ඒක පේන්නෙ මට කවමදාවත් කරන්න බැරි මහ අද්භූත දෙයක් හැටියට. වාහනවල යද්දි ඒවා එලවන අය දිහා මං එයාලට නොතේරෙන්න හරිම කල්පනාකාරීව බලාගෙන ඉන්නවා.
ඔව්.ඒක මහ අද්භූත වැඩක්ම තමා. අපරිමිතව එහාට මෙහාට රැව් දිදී හුවමාරුවෙන වාහන අස්සෙ එව්වගෙ හප්පගන්නෙ නැතිව තමන්ගෙ වාහනේ කෙළින් තියාගෙන පැති කණ්නාඩි දිහා බල බල මේ කරන වැඩේ කාලයක් යද්දි අවිඤ්ඤාණිකව වෙනවා වෙන්නත් පුලුවන් ඇති. කෝම නමුත් කවුරු මොන වාහනේ එලෙව්වත් ඒ හැමෝටම මගෙ හිතේ තියෙන්නෙ අප්‍රමාණ ගරුත්වයක් .
නෑ.තව දෙයක් තියෙනවා ඔය වාහන කතාව පිටිපස්සෙ.රියදුරු පුහුණු පාසල් දෙකකදී සහ ඊට අමතරව තව කීප අවස්ථාවකදීම මම වාහන ටික දුරක් එලවලා තියෙනවා.ඒවා එලවද්දි ඇත්තම කිව්වොත් මට ටික වෙලාවකින් විකාරගතියක් දැනෙන්න පටන් ගන්නවා මම මේ මොන මඟුලක්ද කරන්නෙ කියලා.නෑ.ඒක විතරකුත් නෙවෙයි.ඒකනෙ මම මුලින්ම කිව්වෙ මට වාහන එලවන්න බැරි එක තියා ඒක පැහැදිලි කරන්නවත් බෑ කියලා.
ඔව්.තව එකමෙක වැදගත් දේකුත් තියෙනවා. ඔය මීදුම ඕසෙට ගලන මහා ප්‍රපාත පිරිච්ච වංගු ගැහුණු පාරවල් තියෙනවා නේද.හරියට නිකං බෙරගල හරියෙ වගේ.ඒ නැතත් ඕනිනම් කඩුගන්නවා හරිය වුණත් ඇති.බස්වල හරි යාලුවෙක්ගෙ වාහනේක හරි ඔය වගේ තැන්වලින් යද්දි මට පුදුමාකාර ලාලසාවක් ඇතිවෙන්න පටන් ගන්නවා.ඒ තමා ඒ අදාල වාහනේ එලවන්නෙ මම කියලා උපකල්පනය කරගෙන පතුල පේන්නැති ඒ වගේ ප්‍රපාතවලින් වාහනේ හෙල ඇතුළට කපලා කැරකි කැරකි පාවෙලා ගිහින් මීදුම මැද්දෙන් අතුරුදන් වෙන එක.මම යන්නෙ අදාල වාහනේ ඉස්සරහ සීට්ටෙකේ වාඩිවෙලානම් වාහනේ එලවන කෙනාගෙ ඇඟට පැනල ඌත් එක්කම වාහනෙන් ප්‍රපාතෙ ඇතුළට කිමිදෙන විදිහෙ ආශාවක් ඒක. ඒක ස්වයං නාශක ආශාවක් නෙවෙයි.ඒත් ඒක තමා මගේ ආශාව. ආහ්ලාදය.ඒ වෙලාවට මං ඉන්නෙ මේ වගේ දෙකක් තුනක් දාගෙනනම් මේ ආශාව තව සෑහෙන්න තීව්‍ර වෙන්නත් පුලුවන්.
කෝකටත් මං ආයෙමත් කියනවා.ඒක ස්වයං නාශක ආශාවක් නෙවෙයි.ඒකෙ පිරිලා තියෙන්නෙ අධික සාන්ද්‍රණයකින් යුක්ත වූ වසඟකාරී ප්‍රීතිය උතුරා ගලන හීනි මීදුමක් වගේ හෑල්ලු හැඟුම් පොදියක් විතරමයි. මේක මම මට වාහනවලින් ගමන් පහසුව සලස්වන ඒ වගේම මාව ඈත කඳුකර පැති හරහා එහෙ මෙහෙ එක්කගෙන යන මගේ යාලුවන්ට කීප වතාවක්ම වගේ පැහැදිලිවම කියලා තියෙනවා. ඒත් ඒක ඇහුණම හිනාවෙනවා මිසක්, ඒ කවුරුවත් මේ වෙනකම් ඒක ලොකුවට ගණන් අරගත්තු වගක් තාමනම් මට දැනිලා නෑ……