සුදුමැස්සා උවදුර වර්ධනය වෙන්නට ඉඩ හැර
පොල් ගස වඳ කරන්නද සූදානම් වන්නේ
2023 ජනවාරි 25 වැනිදා මාධ්‍ය හමුවකදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ලංකාවේ පොල් කර්මාන්තය මුහුණ දී තිබෙන බරපතළ ගැටළුවක් පිළිබඳ හෙළිදරව්වක් කළා . අවුරුදු හතරකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පැමිණ පොල් වගාවට බරපතළ හානි කරන සුදුමැස්සා උවදුර මේ හෙළිදරව්වයි.
මේ උවදුර පිළිබඳව මුල්වරට වාර්තා වෙන්නේ 2019 වසරේදීයි . නමුත් මීට පිළියම් යෙදීමට හෝ උවදුර මැඩ පැවැත්වීමට අවශ්‍ය කරන මැදිහත්වීම කරන්නට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ,පොල් සංවර්ධන මණ්ඩලය හෝ පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර අරගෙන නැහැ.
ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනයෙන් 8.8% ආවරණය කරන්නේ පොල්. පොල් නිෂ්පාදනය වසරකට පොල්ගෙඩි බිලියන හතරකට ආසන්න ප්‍රමාණයක්. පොල් අපනයනයෙන් 2022 වසරේ ලබපු ආදායම හරියටම ගණනය කරන නැතිවුනත් උපකල්පනය කරනවා අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ආදායමක් උපයා ඇතැයි කියා. පොල් අපනයනයෙන් 2021 වසරේ ඩොලර් මිලියන 838.1 උපයලා තියෙනවා. සැලකියයුතු අපනයන ආදායමක් ලබා දෙන පොල් කර්මාන්තය රැකගැනීමට බලධාරීන් ක්‍රියා නොකිරීම පිටුපස රටට ආවේණික ගස්ලබු පැනිදොඩම් ඇතුළු භෝග විනාශ කර දැමුවා සේම ක්‍රමානුකූලව පොල් ගසද අපේ රටින් වඳකර දැමීමට යටිකූට්ටු උපක්‍රමයක් යොදනවා ද කියන සැකය මතු වෙනවා.
(Aleurodicus cocois Curtis, 1846) කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ආත්‍රපෝඩා වර්ගයේ ඊ සෙට්ඨා කාණ්ඩයට අයත් කෘමියෙක් ට තමයි මේ සුදුමැස්සා කියන්නේ. මේ කෘමියා පොල් කොලේ යට පැත්තෙයි ලැගුම් ගන්නේ. ඊට පස්සේ ඌ ඒකෙ බිත්තර දානවා. සතාගේ ජීවන චක්‍රයේ අවස්ථාවන් හතරක් හඳුනා ගන්න පුළුවන්. බිත්තර අවස්වක්, කීට අවස්ථාක්, පිළව අවස්ථාක්, සහ වැඩුනු අවස්ථාක් . මේ කෘමියාගේ ජීවන කාලය දින 45 ත් 60 ත් අතර කාලයක් වෙනවා. එම කාලයෙන් පොල් ගහට හානි නො කරන්නේ දින 14ක පමණ කාලයක් පමණයි. ඒ බිත්තර සහ කීට අවස්ථාවයි. එතනින් එහාට මැරෙනකම්ම පොල් කොළ යුෂ උරා බොනව. මේ සතා හානි කරන්නේ පොල් කදට හෝ පොල් කරටියට නෙමෙයි. පොල් කොළයටයි. සතාගෙන් පොල් ගහට හානි වී ඇති බව හඳුනාගන්න තියෙන හොඳම සාධකය තමයි පොල් කොළ කහ පාට වී තිබීම . සුදුමැස්සා තමන් ඉන්න පොල් අත්තේ කොළ යුෂ උරා බොනවා පමණක් නෙවෙයි වූ පරිවෘත්තියේ දී පිටකරන සීනි අඩංගු ද්‍රවණය අනිත් අතු මතට වැටීමෙන් සූර්යාලෝකයට පොල්කොළ නිරාවරණය වීම වලක්වා පෝෂණ හීනතාවය ඇති කරන්නත් බලපෑම් කරනවා. එනිසා මේ සතා නිසා පොල් ගහ අවස්ථා දෙකකදී හානියට පත් වෙනවා. සුදු මැස්සා විසින් නිකුත් කරන සුක්‍රෝස් අඩංගු ද්‍රාවණය මත වැඩෙන දිලීරය තමයි කළු පුස් ලෙස හඳුන්වන්නේ.
සුදුමැස්සා උවදුරට අපට කලින් මුහුණ දුන්නු රටවල් තියෙනවා. 1990 දී පමණ බ්රසීලය, මෙක්සිකෝව සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ සුදුමැස්සා හමු වෙනවා. මේ රටවල් වල මේ උවදුර වේගයෙන් වර්ධනය වී ගෙන යන විට ඔවුන් ඒක මර්දනය කරන්න පියවර ගත්තා. ඊට පසුව අප්‍රිකානු මහද්වීපයේ උවදුර පැතිර යනවා, එකෙන් ගැලවෙනවා.
2002 දී මාලදිවයිනේ පොල් වගාවට සුදු මැස්සා හානි කරනවා. 2016 දී අපේ අසල්වැසි ඉන්දියාවේ පොල් වගාවට සුදුමැස්සා හානි කරනවා. මේ උවදුර පැතිර යද්දී එකට මැදිහත් වෙලා ඔවුන් උවදුර පාලනය කරනවා . අපිට මේ සම්බන්ධයෙන් අමුතු බියක් ඇති කර ගන්න දෙයක් නැහැ මොකද මේක අපිට කලින් ලෝකයට ආපු , පාලනය කරපු උවදුරක්.
දැන් මේ සුදු මැස්සා උවදුර ලංකාවට ඇවිත් වසර හතරක් ගතවෙලා තියෙනවා. ලෝකයේ මෙය පාලනය කිරීමට සමත් වෙලා තියෙන වටපිටාවක් තුල අපි තාමත් ඒ අත්දැකීම් උපයෝගී කරගෙන අපේ පොල් වගාව මේ උවදුරෙන් ගලවා ගැනීමට පියවර අරගෙන නැහැ.
සුදු මැස්සා පාලනය කිරීම සඳහා ලෝකය භාවිතා කරපු සාර්ථක ප්‍රතිඵල අත්කර ගත් කෘමිනාශක තියෙනවා. මේ උවදුරට හොඳයි කියලා නිර්දේශ කරපු කෘමිනාශක කීපයකුත් තියෙනවා. නමුත් මේවා සුදු මැස්සෝ උවදුරට ලක් වෙච්ච පොල් ගස් වලට ගහන්න රජයේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් හදන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය වෙන්නේ පවර් ස්ෆ්රේ යන්ත්‍ර . පොල් සංවර්ධන මණ්ඩලය සතුව ලංකාවටම මේවා තියෙන්නේ 250 යි. දැවැන්ත උවදුරක් හමුවේ මේ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. රජය මැදිහත් වෙලා මේකට වැඩපිලිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැතුව පොල් ගස් වලට නැග මිනිස්සුන්ට මේ වැඩේ කරන්න බැහැ.
සියලු කරුණු සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ මේ උවදුර පාලනය කිරීම සඳහා කඩිනම් පියවර නොගත්තොත් ලංකාවේ පොල් වඳ වී යෑමේ අවදානමකට ලක්වී ඇති බවයි.