Breaking News

විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව “ප්‍රතිසංස්කරණ සඳහාවූ සාමූහිකයේ” ප්‍රවෘත්ති නිවේදනය

“ප්‍රතිසංස්කරණය සඳහාවූ සාමූහිකය” පසුගිය සති කිහිපයේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ මුණගැසී, දැනට ගාලු මුවදොර අත්දකින සහ ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති අරගලයන්, ආර්ථික දුෂ්කරතා, ජනතාව මුහුණදෙන දරිද්‍රතාවයන්ට මූලිකවූ දේශපාලන හා ආර්ථික ක්‍රියාවලීන් සාකච්ඡා කළෙමු.

රජයේ දේශපාලන ප්‍රතිපත්ති, තීරණ, ක්‍රියාවලීන් නිසා රට විනාශමුඛයට පත්ව ඇති බවත්, එම සංකූලතාවනට පිළියම් සෙවීමේදී ආර්ථික ප්‍රතිකර්ම මෙන්ම, රාජ්‍යකරණය හා සඵල, ප්‍රජාතන්ත්‍රවාදී, වගවන පිළියම් සඳහා නෛතික හා ව්‍යවස්ථානුකූලව ප්‍රතිසංස්කරණයන් කළයුතු බවත් පැහැදිලිය. ඒ ගැන අප සාමූහිකයේත්, සමගාමී එවන් කර්තව්‍යයෙහි නියැලී සිටින අන් සංවිධාන හා ක්‍රියාකාරීන් තිහකට අධික කුලකයක් සමගින් දීර්ඝ සංවාදයන් භෞතිකව හා සූම් තාක්ෂණය හරහාත් පැවැත්වූයෙමු.

රජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය 2022-05-29 දින ගැසට් පත්‍රයකින් ඉදිරිපත්වුයේ 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නමිනි. ඉන් පෙර ජනාධිපතිතුමා 2022-05-11 දින ජාතිය ඇමතුවිට පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට දහනවවන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මකවන පරිදි “ව්‍යවස්ථා සංශෝධනයක්” කිරීමට බලාපොරොත්තුවන බව පැවසීය. නව අගමැතිවරයෙකු පත්කොට, රට ස්ථාවරභාවයට පත්වූ පසු ජනාධිපති ධුරය අවසන් කිරීමට හැකි බවද එතුමා එදින පැවසීය. එහෙත් ඉදිරිපත්වී ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධනය සමගින් එතුමා අසත්‍ය ප්‍රකාශයෙකු වීදැයි විමතියක් ඇතිකෙරේ. තවද, මේ කෙටුම්පත දුටුවිට ජනාධිපතිතුමාගේ ‘සම්මා සතිය’ කෙනෙකු ප්‍රශ්න කිරීමට ඉඩක් ඇත්තේ එමගින් දහනවය සිදබිඳ ඇතිහෙයිනි.

අප සාමූහිකය විසින් අංශ එකොලහක් පාදකව අර්බුදයට වහාම පිළියම් සැපයීමේ පළමු පියවර ලෙස කරුණු එකොලහක් ඇතුළත් යෝජනාවලියක් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයටත්, අන්‍ය ආගමික නායකයින්ටත්, කලින් පැවසූ දේශපාලන බලධාරීන්ටත් පිලිගැන්වුණි. එම ක්‍රියාදාමය නිමා වුයේ පසුගිය සතියේ අගමැතිතුමන් සමගවූ සංවාදයකිනි. මෙකී හමුවීම්වලදී අප සාමූහිකයට ඔවුන්ගේ ඇගයීමද පිදිනි.

මේ අතර සමගි ජන බලවේගය කලින්ම ව්‍යවස්ථා යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුදු අධිකරණයේ සීමාවන්ට එය යටත් විය. ඒවාද අප අවධානයට හා අධ්‍යයනයට ලක්විණි. අන් දේශපාලන කණ්ඩායම්ද, වෙන් වශයෙන් තවත් ව්‍යවස්ථාමය හා රාජ්‍යකරණ ස්ථාවරයන්ගේ පිහිටා සිටිති. අප සාමූහිකයට අයත් නොවූ තවත් සිවිල් සමාජ කණ්ඩායම්ද ව්‍යවස්ථාමය හා අන් ක්‍රියා මාර්ග සද්භාවයෙන් ඉදිරිපත් කරති. කෙසේවුවද, අප සැමගේ ඒකායන අරමුණ වී ඇත්තේ පවත්නා ආර්ථික දුර්දාන්තය, දේශපාලනික, ආර්ථික හා රාජ්‍ය කළමනාකරණයෙනුත්, දූෂණය පිටු දැකීමෙනුත්, නෛතිකවත්, නීතියේ ස්වාධිපත්‍යය රැකගැනීමෙනුත් ජයගත යුතු බවය.

මෙම ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුළු අන් බහුපාර්ශවීය මූල්‍ය හා ආධාර කරන කණ්ඩායම්හි සහ බලවත් රාජ්‍යයන්ගේ ප්‍රකාශවලද හුයක් සේ දිවෙයි. එහෙත්, ජනාධිපතිතුමාගේ උපුටන ලද ප්‍රකාශ හා අන් බලගතු මැදිහත්වීම් හොඳින් දන්නා රජයෙන් ඉදිරිපත්වුණු 22 ව්‍යවස්ථා සංශෝධනය, යහ රාජ්‍යකරණය හා ව්‍යවස්ථාමය අපේක්ෂාවන්ට විලංගු දමා, අරගලයේ යෙදෙන, නොයෙදෙන, දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය, රාජ්‍යකරණ අපේක්ෂා භංග කර ඇත.

වත්මන් ජනාධිපතිතුමාගේ රාජ්‍යකරණ සමයේ එතුමාම පිළිගෙන ඇති අන්දමටම විධායක බලය යටතේ ගත් ක්‍රියාමාර්ග නිසා රට දුර්දාන්ත භාවයට පත්ව සිටින හෙයින් විධායක ජනාධිපති ක්‍රමය හා බැඳුනු බල සංකේන්ද්‍රණය තර කළ 20 වන සංශෝධනය මකා දැමීමට වන දැඩි ඉල්ලීම ඉතා සාධාරණය. එහෙයින් 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එම තත්ත්වය අකාමකා දැමීම අපේක්ෂා කළෙමු. එහෙත්, දක්නට ඇත්තේ ජනාධිපති බලය තවත් තර කෙරෙන තත්ත්වයකි. මේනිසා, අප සාමූහිකය 22 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට අපගේ දැඩි අනනුකූලතාවය, විරෝධය හා ප්‍රතික්ෂේපය ප්‍රකාශ කරමු. මෙම තීරණයට එළඹුණේ රජයේ ස්ථාවරයන්ගෙන් මදක් හෝ බැහැරවීමට රජයේ අධිකාරීන් දක්වන අකර්මන්‍ය ස්වභාවයද, ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයයි රට පුරා හා දේශ දේශාන්තර සියලුම ඩයස්පෝරාවන් මහ හඬ නගන අවස්ථාවක, ඔහු තනතුරකට අරක්ගෙන සිටීමට ගන්නා මේ ව්‍යංග, වක්‍ර තැත අභව්‍ය හෙයිනි. එයට ආධාරක වීම ශ්‍රී ලාංකීය දිලින්දන්ගේ නාමයෙන් මහා පාපකර්මයකි. අපි ඊට අත් නොඔසවමු.

රටේ දුර්දාන්ත ස්වභාවය හා නෛතික අනනුතාවයන් මත 22 වන ව්‍යවස්ථාවට සහාය දීම වෙනුවට විකල්ප දෙස බැලුවෙමු. අධිකරණයේදී බාධාවන් නොමැති, රාජ්‍යකරණය ප්‍රජාතන්ත්‍රවාදීව, ආර්ථික වර්ධනයට මගපාදන ව්‍යවස්ථාමය තත්ත්වයක්, ක්ෂණිකවම නිර්මාණය කළ හැක්කේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි. එකී ලක්ෂණ සහිත රාජ්‍යකරණයක් නොමැති වුවහොත් රට ගොඩනැගීමට අවශ්‍ය විදේශ සම්පත් ලබාගැනීමට අපහසුද වේ.

19 ව්‍යවස්ථාව සම්මතවූ අවස්ථාවේ ජාත්‍යන්තරය සාධනීයව, සන්තුෂ්ටිය හා ඇගයීම පිරිනැමීය. එය නැවත දිනාගැනීමට නම් 20 වනසංශෝධනය කුරුටුගා, දළ කැඩීමෙන් දුබලවූ 22 වන ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීමේ යෝජනාව ඉවතලා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත කරලියට ගෙන ඒමට අපි යෝජනා කරමු. එමගින් වියයුතු උච්චතම අපේක්ෂාවන් සියල්ලම සාක්ෂාත් නොවුවද, වැඩි ස්වාධීන රාජ්‍යකරණයක්, නෛතිකව ඉටුකර ගත හැක්කේ, දැනටමත් එයට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය ලැබී ඇති හෙයින් හා වර්තමාන රජයේ හා විපක්ෂයේ අතිබහුල සංඛ්‍යාවක් 19 වන සංශෝධනය සමග 2015 දී සාධනීයව සිටි හෙයිනි.

සමාජයේ පිළිගත් අදහස වී ඇත්තේ 19 වන ව්‍යවස්ථා ප්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කළ යුතු බවය. 2015 කාල පරිච්චේදයේදී සමාජය අත්දුටු ඍණාත්මක සිද්ධීන් ඊට හේතුවී ඇත. ඒ සඳහා 19 වන සංශෝධනය යලි ස්ථාපනය ආරම්භක පියවරක් ලෙස සලකමු. තවද අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ආධාර දෙන ආයතන හා විදේශීය ඉල්ලීම්ද ඒ සමග සැසඳේ. දුබල ලෙස ඔවුන්ද, අපද හඳුනාගන්නා අංශයන් ගැන අප සාමූහිකය ඉදිරිපත් කළ මූලික යෝජනා එකොළහ තුළ පිළියම්ද ඇත. ඒවා වහාම නීතිගත හෝ ව්‍යවස්ථාගත කිරීමට සෑම උත්සාහයක්ම දරන අතර, ඉදිරි ප්‍රශ්නාභිමුඛ කාල පරිච්චේදයේදී නොහැකි වුවහොත්, ඊළඟට පිහිටුවන රජයකින් එය ඉටුකර ගැනීම අප සාමූහිකයේ බලාපොරොත්තුවයි.

දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණපා ඇති රට ගලවා ගැනීම දැන් අත්දකින අන්දමේ දේශපාලන ධ්‍රැවීකරණයෙන් විසඳිය නොහැකිය. ජාතියේ හා දිළිඳුබවින් විනාශයේ දොරකඩට පත්ව, මහෝඝයක ගිලීමට යන ජනතාව ගලවා ගැනීම වෙනුවට, තම පක්ෂ සාමාජිකත්වය හෝ නායකයින් හා ඔවුන්ගේ හිතෛශීන් පමණක් ගලවා ගැනීම දේශපාලන පක්ෂ සියල්ලම ප්‍රතික්ෂේප කළ යුතුය. රජයේ 22 වන ව්‍යවස්ථා වෑයම එවැනි ඍණාත්මක උත්සාහයකට මනා උදාහරණයකි. තෝරාගත් පුද්ගලයින් සඳහා නොව ජනතාව සදහා ව්‍යවස්ථා නිමවිය යුතුය. එහෙයින් ජාතියේ, ජනතාවගේ, උපන් නූපන් ශ්‍රී ලාංකික දැරූ මුණුපුරන්ගේ නාමයෙන් වත්මන් රජය වෙනුවට, නිශ්චිත කාල පරිච්චේදයකට හෝ සර්ව පාක්ෂික රජයක් පිහිටුවා, එම කාලය අවසානයේදී මහ මැතිවරණයක් මගින් නව රජයක් පිහිටුවීම සුදුසුයි අපි යෝජනා කරමු.

මෙම දෘඪ වගකීම එසේ ක්‍රියාත්මක නොකළහොත් කල් නියම නොකළැකි ඉතා නුදුරු අනාගතයේදීම දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව බලධාරීන් පලවා හැරීමට හා මැයි 09 වන දින වුවාට වඩා අතිශය මහා විනාශයන් කිරීමත් වැළැක්විය නොහේ. එමනිසා, ආර්ථික, සාමාජික හා දේශපාලනික අර්බුදයට තිරසාර පිළියම් යෙදීම වහාම ආරම්භ කළ යුතුය. කල් මැරීමට නොහැකිය. අවංකව, නෛතිකව, යහ රාජ්‍යකරණය ඉටුනොවුනහොත්, අපට ශ්‍රී ලංකාවයැයි පැවසීමට දේශයක් ඉතිරි නොවනු ඇත. මෙම සත්‍යයට ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජයටත්, විපක්ෂයේ සියලුම දේශපාලන අධිකාරීන්ටත්, රජය මෙහෙයවන පරිපාලනය හා හමුදා, පොලිසිය වැනි ආයතයනටත් සාක්ශ්‍යාත් වේවා යන්න අපේ පිවිතුරු පැතුමයි; අවධාරණයයි. එය සිදු නොවුවහොත් අපේ විනාශයයි.

leave a reply