පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ
කිව්වට කොහොමද හිත සැනසෙන්නේ
ලස්සන ලොවකට හීන පුරපු උන්
ඉක්මන් ගමනින් අප හැර යන්නේ
නොමිනිස් ලොවක මිනිසත් කම රැඳුණු එවුන්
මිනිසත් ලොවක් වෙනුවෙන් හඬ නගපු එවුන්
මම ගැන නෙමෙයි ‘අපි’ ගැන නිති හිතපු එවුන්
විරලයි ලොවට, ලොවකට පෙම් බැඳපු එවුන්
පැතූ ලොවේ රන් අරුණළු නැගෙන දින
හිනා මලක් වී පසෙකින් හිඳිනු මැන
සටන් සගය, අත් නොහරින එඩිය ගෙන
බලාපොරොත්තුව වී හද පිපෙනු මැන