මම අහසට කැමතියි. එයිනුත්, අහස විසාලෙටම පේන විවෘත තැනිබිමක් පතුලේ- කුඩා රොඩ්ඩක් වගේ ඇලවිලා, අහස දිහා ගොඩක් වෙලා නිශ්ශබ්දව බලා ඉන්න මම බොහොමත්ම කැමතියි.
ඒ ඇයි දන්නවද?
මේ අහස යට ඉඳගත්තම මම හරිම පුංචියි. මම හරි ආසයි ඒ අංශුමාත්‍ර බවට. එතකොට,
මම හරිම බරසාරව හිතන කිසිම දෙයක්, මේ අපරිමිත විශ්ව පර්‍යන්තය ඇතුළේ ලොකු දේවල් නම් නොවන වග මට වැටහෙන්න ගන්නවා.
ඒ වගේම,
මම පොළොවේ තියන තියන අඩියක් ගාණේ,
ඊට ඉහළින් අහසක් තියන එකත් මොනතරම් නම් අපූරුද?
අපි, අහස තරම්ම පළලට විහිදෙන පොළොවක ඇවිද යන අංශු !
හැමදාම උදේට,
බරට බරේ උස්සාගෙන දුවන නඩු ගොනු වල තියන කරදාසි ගොන්නක පිටපත් කළ “දෙපැත්තට ඇදෙන- අදින- මිනිස් ලොකුකම්” ගැන මට එතකොට හිනා යනවා.
ලොකු වැරදි කරන පොඩි මිනිස්සු ගැන හරි අනුකම්පා හිතෙනවා.
එයාලා එයාලගෙ චූටි ඔළුවල පුරවාගෙන යන සටකපටකම්, කුඩුකේඩුකම් ගැන “අපොයි, කොච්චර මෝඩද?” කියලා හිතෙනවා.
අහසක පොළොවක ආයු කාලය එක්ක අපේ ඉසිඟිති ආයු පරාසය සසඳද්දි, “මිනිස්සු මේ සා ගර්වයක්- මාන්නයක් තමන්ටම ආරෝපණය කරන් ඉන්නෙ මොන එහෙකටද?” කියලා හිතෙනවා.
සදාකාලිකයි කියලා කිසිවක් නැති තැනකදි ගහන ස්ථීරසාර ගිවිසුම් මොනතරම් නම් මුලාවක්ද හිතෙනවා.
විශ්වය,
පාවෙන දේවල් වලට,
නිදහසේ පාවෙන්න ඉඩ හැරලා තියනවා.
ගලන දේවල් වලට,
නිදහසේ ගලන්න ඉඩ හැරලා තියනවා.
බර දේවල්,
ගිලෙන්න- කිඳා බහින්න ඉඩ හැරලා තියනවා.
ඒ අතරේ,
මැරෙන දේවල් වලට බොහොම ටික කලක් සප්‍රාණිකව ජීවත් වෙන්න ඉඩක් දීලා තියනවා….
අපි ඒ බොහොම ටික කාලය තුළ “ජීවත් නොවී”, ඉන් එහාටත් ඉලක්ක තබාගෙන, මරණයෙන් ඔබ්බට ජීවිතය දිගු කරමින්- පරම්පරාවෙන් පරම්පරාවටත්, මරණින් මතු උපතකටත් පිඹුරු පත් සකසමින්, ඉන්නවා.
කිසිම මනුෂ්‍යයෙක්,
එකම ස්ථානයකට දෙවරක් යන්නේ නැහැ. එහෙම යන්නත් බෑ.
පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින්-
සූර්‍යයා වටා පරිභ්‍රමණය වෙමින් ඉද්දි,
සූර්‍යයාත් ක්ෂීරපථය වටා මහාපරිභ්‍රමණයක් සිදු කරන අතරවාරේ-
ඒ චක්‍රාවාටයත් තවත් මහා සක්වළක් වටා කැරකෙද්දී,
ඔබ
විශ්වයේ අද ඉන්න තැනම කීයටවත් හෙටත් නම් ඉන්නෙ නෑ.
ඉතිං, ඒ වගේ තත්ත්වයක් යටතේ,
“මම ඉන්නේ මහනුවර” කියලා කෙනෙක් කියද්දී, “ආ… අපි නම් ඉන්නේ ඊට ගොඩාක් දුර, කයිට්ස් වල…” කියලා තව කෙනෙක් කිව්වොත්, ඒක එක්තරා අන්දමක විහිළුවක් නෙවෙයිද?
කවුරුන් හෝ, “ඔබ ජීවත් වෙන්නේ ඇයි?” කියලා ඇහුවොත්, අපි දෙන උත්තරේ ඇතුළෙ තියෙන්නේ,
“ළමයින්ට උගන්වා ගත්තට පස්සෙ මගෙ ලොකුම බර ඉවරයි, දුවලා තුන් දෙනාව දීග දුන්නට පස්සේ මගෙ ඔළුව නිදහස්, මේ ණය කන්ද ගෙවල දැම්මට පස්සෙ මං නම් මැරුණත් කමක් නෑ, ගෙදර හදාගෙන වාහනයක් ගත්තම මගෙ මිශන් එක කම්ප්ලීට්, ඊළඟ පාර මැතිවරණයේදි නම් අපි දෙනවා ගේමක් ඇඩ්‍රස් නැති වෙන්න…” වගෙ උත්තර නම්…. ඒවා මේ විසල් විශ්ව පර්යන්තය එක්ක සසඳද්දී කොයිතරම් නම් කුහුඹු පිළිතුරුද කියලා ඔබට වැටහේවි.
හැමදාම අපිට උදාසනක් ලැබෙනවා. හැමදාම, දිවා කාලයක් සහ රාත්‍රියක් ලැබෙනවා. අපි ඒ ලැබෙන “දවස් කැබලි” එක්කෝ අර්ථවත්ව ගෙවා දමමින් හෝ එක්කෝ, කා දමමින් ඉඳලා දවසක මැරිලා යනවා.
ඇත්තටම, මිනිස් වර්ගයාටම සොබාදහම කියන්න හදන්නේ- සංජානනය කරන්න හදන්නේ- එකම එක පණිවුඩයයි.
“මං වගේ වෙන්න. විකෘතියක් වෙන්න එපා. මාත් එක්ක එන්න. ඔබ මා දුන් දෙයට පිටින් සිදු කරන කෘත්‍රිම දේවල් වලට කිසිම අර්ථයක් නැහැ. ඔබ සප්‍රාණික යයි කියන – සිතන- කිසිම දෙයකට තිර පැවැත්මකුත් නැහැ. නමුත්, මේ විශ්වයේ, යම් දිව්‍යමය මූල ස්වභාවයක් තිබෙනවා. ඒ මූල ස්වභාවයට පත්වන තෙක්ම ඔබට ගමන් කරන්නට සිදු වෙනවා. ඒ ගමන් කිරීම මහා දුකක්. මා සමඟ, මට අනුගතව ගියොත්, ඔබට ශක්තිමත් ලෙස ඒ ගමන අවසන් කළ හැකියි. අවසන් කිරීම කෙසේ වෙතත්, අඩුම තරමේ- නිදහස් මනසින් සැහැල්ලුවෙන් ගමන් කළ හැකියි. ඔබ මේ කරන තාවකාලික විකෘති සියල්ල, මැරෙන ටිකට කරන පුහු කැටයම් විතරමයි… අවදි වන්න! ඔබේ කෘත්‍රිම කොටුවෙන් එහා- කුඩා කළ පටන් ආගමික කළ මනසින් එහා- පොතෙන් එහා- ඩිජිටල් තිරෙන් එහා- අති අනර්ඝ ස්වභාවික යමක් තියනවා….” කියන එකයි.