Breaking News

78 ඉඳන් කියන පුස් තර්ක ගෙනත් පුද්ගලික විශ්ව විද්‍යාල හදන්න අපි ඉඩ දෙන්නෙ නැහැ – මංගල මද්දුමගේ

78 ඉඳන් කියන පුස් තර්ක ඉදිරිපත් කර අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක මංගල මද්දුමගේ පවසයි. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරමින් අධ්‍යාපනය පුද්ගලීකරණය සඳහා වත්මන් ආණ්ඩුව ගෙනයන වැඩපිලිවෙල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

“අපි පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ වෙන්නෙ අපි හිතනවා අධ්‍යාපනය මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකමක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ පවා සඳහන් වෙනවා අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක්. ඒ මූලික අයිතිවාසිකම හැමෝටම සමානව ලබාදිය යුතුයි කියන එක. අතේ තියෙන මුදල් ගණන අනුව දරුවෙක් ලබන අධ්‍යපනය තීරණය වෙන්න බැහැ. අධ්‍යාපනය මුදල මත පදනම් වෙන්න බැහැ. සෞඛ්‍ය මුදල මත පදනම් වෙන්න බැහැ. සෞඛ්‍ය මුදල් මත පදනම් වෙන්න බැහැ. ලෙඩක් හැදුනම තමන් ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න බැහැ අතේ තියෙන මුදල් ගණන අනුව.

රනිල් වික්‍රමසිංහ කියන්නේ එයාලගේ ආර්ථික මෝඩල් එක සමාජ වෙළඳ පොළ ආර්ථිකය. එකෙ අධ්‍යාපනය කියන්නෙ වෙළඳ භාණ්ඩයක්. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන්න අපි ඉඩ තියන්නෙ නැහැ. ඕක රනිල්ලා 78 ඉඳන් ගහන බයිලයක්. ඒක අලුත් එකක් විදිහට දැන් ඇවිල්ලා කියනවා. අධ්‍යාපනය විකුණනවා කියන මේ යෝජනාව මොඩර්න් විදිහට ගෙනාවට මේවා අලුත් ඒවා නෙමෙයි. 1978 විවෘත ආර්ථිකය ගෙනාව දවසේ ඉඳලා මේක කරන්න හැදුවා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ගේන්න හැදුවා. ධවල පත්‍රිකාව හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න හැදුවා. පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගේන්න හැදුවා. 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටවපු පනත සංශෝධනය කරන්න හැදුවා. කොතලාවල පනත හරහා ඒක සංශෝධනය කරන්න හැදුවා. සයිටම් ගෙනල්ලා ඕක කරන්න හැදුවා. එකක්වත් කරන්න බැරි වුණා. බැරිවුණා නෙමෙයි කරන්න දුන්නේ නැහැ. අපි නැවත කරන්න දෙන්නෙත් නැහැ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි අභියෝග කරනවා.

මේ කට්ටිය අයවැය ඉදිරිපත් කරනකොට කියපු කතාවක් තමයි 1978 ඉඳන් මේ රට ගොඩගන්න බැරිවුනේ විවෘත ආර්ථිකේ ෆේල්. විවෘත ආර්ථිකේ ෆේල් වුනේ ජනතාවට සහන දුන් නිසා සහ සුබ සාධන ක්‍රියාත්මක කරපු නිසා කියලා. මාරු තර්ක ගෙනල්ලා තියෙන්නේ. රනිල්ගේ අයවැයේ විදිහට සුබ සාධන නිසා තමයි රට හදන්න බැරිවෙලා තියෙන්නෙ. අපිට සුබ සාධන දුන්නේ නැහැ.

ඇයි අපි අධ්‍යාපනයට නැවත වියදම් කරන්න බෑ කියන්නේ. මේ රටේ බදු අනුපාතය අනුව සියයට 80ක් වක්‍ර බදු. භාණ්ඩ සහ සේවා මත අයකරන බදු. එතකොට මේ 80% අප මත පටවපු බදු. අපි ආණ්ඩුවට බදු ගෙවලා අධ්‍යාපනය වෙනුවෙනු සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරලා තමයි අපි කියන්නේ. ආණ්ඩුව ව්‍යාපාර කරලා ඒ මුදලින් අපේ අධ්‍යාපනයට වෙන් කරනවා නෙමෙයි. අපි කියන්නේ අපි ගෙවන බදු මුදල් නැවත අපේ අධ්‍යාපනයට වෙන් කරන්න. උඹලට රට සවාරි යන්න උඹලට වෙන වෙන ජොලි දාන්න. ඒවාට නෙමේ අපි බදු ගෙවන්නේ. තමන්ගේ ආරක්ෂක ස්කොඩ් එක වැඩිකරගන්න නෙමෙයි අපි බදු ගෙවන්නේ. මේ රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නොමිලේ ලබාදෙන්න කියන එකට තමයි අපි බදු ගෙවන්නේ. මේ රටේ ජනතාව සමස්ත බදු අදායමෙන් සියයට 80ක් බදු ගෙවලා තියෙනවා. ඒ නිසා මේක සුබසාධනය නෙමෙයි. අපි කියන්නේ අපිට නැවත ගෙවන්න බැහැ.”

leave a reply