Breaking News

ගෝඨගේ ආරක්ෂාවට ඖෂධ ආධාර පාවිච්චි කළ බවට කළ චෝදනා සත්‍ය ද ?

පවතින වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් රෝගී ජීවිත බේරා ගැනීම පවා අවදානමකට ලක් වී තිබෙන මොහොතක රටවල් කිහිපයකින්  අත්‍යවශ්‍ය ඖෂධ  ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන තුන්සියයකට ආසන්න මුදලක්  ණය සහ පරිත්‍යාග ලෙස ලැබෙනවා. චීනයෙන් ඩොලර් මිලියන දෙසීයක ආධාරයක් ලැබෙනවා. එපමණක් ද නොව ඉන්දියාවෙන්, ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, අත්‍යවශ්‍ය බෙහෙත් මිලදී ගැනීම සඳහා ණය ආධාර ලැබෙනවා. මේ සමස්ත එකතුව තමයි ඩොලර් මිලියන 300ය . නමුත් මේ ඩොලර් මිලියන 300න් ඖෂධ ලබා ගැනීම සඳහා භාවිතා කරන්නේ ඩොලර් මිලියන 92 ක් පමණ වූ ඉතා සුළු මුදලක්.

ජනතාව ප්‍රශ්න කළ යුත්තේ ඉතිරි මුදලට කුමක් සිදුවුනේ ද යන්නයි.

සාමාන්‍යයෙන් වාර්ෂිකව රටේ ඖෂධ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යන මුදල ඩොලර් මිලියන තුන්සියයකට ආසන්න හෝ ඊට මදක් වැඩි ප්‍රමාණයක්. දැන් අපේ රට විශාල බේත් හිගයට මුහුණ පා තිබෙනවා. රෝගී වූ මිනිසුන් ගේ ජීවිත අවදානමකට ලක්වී තිබෙනවා.

ආධාර ලැබී තිබියදීත් මේක මෙහෙම වුණේ ඇයි?

වාර්ෂික වියදමට සමාන මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍යතා සපුරා ගැනීම සඳහා ලැබී තිබෙද්දීත් අපි අද විශාල ජීවිත අනතුරක් ළඟා කරගෙන තිබෙනවා . දේශපාලකයන් සහ කිසිදු විචාරශීලීත්වය කින් තොරව කටයුතු කරන නිලධාරීන් අතලොස්සකගේ අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන්.

පසුගිය දිනවල ගෝඨාභයගේ ආරක්ෂාව වෙනුවෙන් පාරවල් වල වැටවල් ගැසීම සඳහා බට, කම්බි ඉන්දියාවෙන් මිලදීගත් කතාවක් අපට අසන්න ලැබුණා. ඒ  කතාව සත්‍ය වුවත් නොවුවත් මේ ලැබුණු ආධාර මුදලින් ඩොලර් මිලියන 92  පමණ ඖෂධ සඳහා  වැය කර අනෙකුත් ඩොලර් මිලියන 208 වැය කළේ කුමක් සඳහා ද ?

ඉහත සඳහන් රටවල් සහ සංවිධාන මුදල් ලබා දෙද්දී ඔවුන් ප්‍රකාශ කළේ මේවා මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ලබාගැනීම සඳහා ලබාදෙන ආධාර ලෙසයි. එසේ තිබියදීත් මෙරට පාලකයන් තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් බහුතරයක් රටේ ජනතාවගේ ජීවිත උගසට තබමින් කටයුතු කිරීම  ජනතාව තමන්ගේ බලය පාවිච්චි කර   විසඳාගත යුතු ප්‍රශ්නයකි.

අත්‍යවශ්‍ය ඖෂධ  නොමැතිවීමෙන් රෝහල් තුළ මිය යන මිනිසුන් ගණන අද කාගේත් අවධානයට ලක් වී නැහැ. හැදිලිවම මෙය රාජ්‍ය ත්‍රස්තවාදයක්. හිතාමතා ජීවිත විනාශ කිරීමක්.  මේ වන විට හිරගෙදර සිටිය යුතු මහින්ද රාජපක්ෂ නම් මිනිමරු මහල්ලා  පසුගියදා පාර්ලිමේන්තුවේ රටේ ජනතාවගේ දෑත්වල ලේ තැවරී ඇති බව ප්‍රකාශ කිරීම පිළිකුල් සහගතයි.

ජුනි  10  වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ 25000 කට ආසන්න ප්‍රමාණයක්  අතුරුදහන්වී හෝ මරා දැමීමට ලක් කර තිබෙන බව මහින්ද විසින් ම පත් කළ කමිටුව අනාවරණය කළ බව. රාජ්‍ය බලය පාවිච්චි කරමින්  මිනීමැරු මහින්ද රාජපක්ෂ රටේ ජනතාවට චෝදනා කරන්නේකොහොමද?

ඉහත සඳහන් ඩොලර් මිලියන 92 පාවිච්චි කර තිබෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ඖෂධ ගෙන්වීම සඳහා පමණක්ම නොවන බවත්  රූපලාවණ්‍ය කටයුතු වලට පාවිච්චි කරන ඖෂධ වර්ග ද මේ තුළ පවතින බව වෛද්‍ය ගිශාන්ත දසනායක ජුනි මාසේ 10 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කළා.

leave a reply