වර්තමාන ආහාර අර්බුදය පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබෙනවා. මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මේ අර්බුදය පිළිබඳ වෙනස්ම අදහසක් පළ කරනු ලැබුවා. ඔහුට අනුව මේ අර්බූදය ස්වභාවිකව නිර්මාණය වූවක් නොවෙයි මේ හිතාමතාම සැලසුම් සහගතව නිර්මාණය කළ එකක්.පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් දැක්වූ අදහස් සංක්ෂිප්තය පහත පරිදි වේ.
වර්තමානයේ ලංකාව තුළ උද්ගතව ඇති ආහාර අර්බුදය ස්වභාවිකව නිර්මාණය වූවක් නොව කෘතිමව නිර්මාණය කළ එකක් බව පැහැදිලි වෙනවා. ආහාර අර්බුදය පිළිබඳව කලින්ම ජනතාව දැනුවත් කරමින් බිය වද්දා මේ සඳහා සූදානම් කළේ ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂගේ පූර්ණ අනුග්‍රහය ඇතිවයි. මෙය හුදු ප්‍රකාශයක් නොව ඒ සඳහා බලපාපු හේතු ගණනාවක් තිබෙන බවත් එය මේ පවතින ආර්ථික සමාජ දේශපාලන ක්‍රමවේදයේ ම කොටසක් ලෙස අප හමුවට පැමිණ තිබුනත්, වඩා ඉක්මන් කර කෘතිමව නිර්මාණය කිරීමේ කාර්යභාරය සිද්ධ කරන්නේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වර්තමාන ආණ්ඩුවේ කොටස්කරුවන්.
2011- 2050 ජාතික භෞතික සැලැස්ම ක්‍රියාවට නැගීමේ කොටසක් හැටියට මේ ආහාර අර්බුදය අපට හඳුන්වන්න පුළුවන්. මේ සැලැස්මට අනුව රටවල් 36 ක් සමග එකගතා ඇති කරගෙන තිබෙනවා ලංකාවේ ආණ්ඩුව අපේ රටේ ඉඩම් ඒ රටවල් වල සමාගම්වලට ලබා දෙන්න. 2011- 2050 ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ අපේ ගොවියාව ගොවි බිමෙන් ඉවත් කළොත් පමණයි. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාවට නගන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. පහුගිය අවස්ථා ගණනාවකදී ලෝක බැංකුව පවා ප්‍රකාශ කළා වී ගොවිතැන පාඩුයි කියල. කුඩා ඉඩම්වල වී ගොවිතැන සිදු කිරීම පාඩුයි. ඒ සඳහා දරන්න වෙන පිරිවැය වැඩියි. පුංචි ඉඩම් කට්ටි වල ගොවිතැන් බත් කරන ගොවියන් මෙන්න මේ ආකල්ප යොදලා ඉවත් කිරීම සඳහා වූ මානසික වියවුල නිර්මාණය වෙමින් තියෙනවා. මේ සියලූ සැලසුම් ඉලක්ක වෙන්නේ ලංකාවේ ගොවි බිමෙන් ගොවියාව ඉවත් කර ඉහත සඳහන් බහු ජාතික සමාගම් වලට අපේ ඉඩම් අත්පත් කර දෙන්නටයි.
අධික රසායනික පොහොර භාවිතයට අපි කවුරුත් විරුද්ධයි. නමුත් එහෙමයි කියලා එක රැයින් කාබනික පොහොර ගොවිතැනට නිර්දේශ කළොත් අසාර්ථක වෙන්නේ ගොවිබිම. මේ ආණ්ඩුව සායනික පොහොර භාවිතයට මිනිස්සුන්ගෙන් එල්ලවී තිබුණු විරෝධය පාවිච්චි කරලා එකපාරටම කාබනික පෝර භාවිතයට ගියා. 2021 – 2050 ජාතික භෞතික සැලැස්මට අනුව ඉඩම් ටික අත්පත්කරගැනීමේ උවමනාව ඇතිවගොවිතැන විනාශ කිරීම සඳහා තමයි මේ ක්‍රියාවලිය ආරම්භ කළේ. රසායනික පොහොර අවම කිරීමේ ක්‍රියාවලිය අඩුම වශයෙන් අවුරුදු පහක සැලසුමක් ඇතිව සිදු කළ යුතු දෙයක්. එක රැයින් මේක කරන්න බැරි හේතුගණනාවක් තියෙනවා. එක ගොවි බිම දීර්ඝ කාලයක් තිස්සේ රසායනික පොහොරවලට හුරුවෙලා තියෙන්නේ. දෙක ගොවියා කාබනික පොහොර වලින් ඈත්වෙලා දීර්ඝ කාලයක් ගතවෙලා දැන් ඔවුන් රසායනික පොහොර භාවිතය පිළිබඳව තමයි වඩාත් දැනුවත්. කාබනික පොහොර භාවිතයට ගොවිතැන හුරු කරනවා නම් ක්‍රමානුකූලව පස ඊට හුරු කරමින් ගොවියා ව ද ඒ සඳහා දැනුවත් කරමින් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ. දැන් මේ වැඩේ කඩිමුඩියේ කරන්න ගිහින් සිද්ධ වෙලා තියෙන්නේ රට ආහාර අර්බුදයකට යටත් වීමයි. ඒ අනුව ගත්තහම ලංකාවේ වර්තමාන ආහාර අර්බුදය ඉතා දැනුවත් භාවයෙන් සැලසුම් සහගතව නිර්මාණය කළ එකක් බව අපට සනාථ කරන්න පුළුවන්. ලෝක බැංකුව සහ දැවැන්ත මූල්‍ය ආයතන වල උවමනාව අනුව ලංකාවේ ආණ්ඩුව විශේෂයෙන්ම රාජපක්ෂලාගේ වර්තමාන ආණ්ඩුව මේ ක්‍රියාවලිය කඩිනම් කරමින් ක්‍රියාත්මක කළා.