Breaking News

එහෙම නිදහස් කරන්න මොකෝ උඹලා දේශබන්දුල ද?

රත්කරව්වේ ජිනරතන හිමි

කැලුම් – දිල්ශාන් නඩුව ඊයෙ අභියාචනාධිකරණයේදි කැඳෙව්වා. ඒ දෙවෙනි වතාවට. පළවෙනි වතාවෙ කැඳවද්දි ඇප අයදුම්පතට විරෝධතා ගොනු කරන්න නීතිපති දෙපාර්තමේන්තුව මාස තුනක් කල් ඉල්ලුවා. නමුත් කැලුම් – දිල්ශාන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ගේ දැඩි විරෝධය මත එය එක් මාසයකට අඩු කරගන්නවා. ඒ අනුව තමයි ජුලි 04 විරෝධතා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය දැනුම් දෙන්නෙ. නමුත් ජුලි 04 ඒ කියන්නෙ ඊයෙ අභියාචනාධිකරණයට ආව නීතිපතිගෙ නියෝජිතයා විරෝධතා ගොනු කරන්න තවත් මාසයක් කල් ඉල්ලුවා! හරිම පැහැදිලියි නීතිපති දෙපාර්තමේන්තුවට ඕනි කැලුම් – දිල්ශාන් තවත් කාලයක් බන්ධනාගාරෙ ඇතුළෙ තියන්න. ඒක තමයි ආණ්ඩුවේ අවශ්‍යතාව. නමුත් නීතීඥවරුන් ඉදිරිපත් කළ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නඩුව ඉක්මනින් අවසන් කළ යුතු බවත් නීතිපති දෙපාර්තමේන්තුව ජුලි 27 දින විරෝධතා ඇත්නම් ගොනු කළ යුතු බවත් එදිනට අවසන් නියෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කළා.

මේ නීතිපති දෙපාර්තමේන්තුවම තමයි දවස් දෙක තුනකට කලින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි අධිචෝදනා ඉල්ලා අස් කරගත්තෙ. ඒ දේශබන්දුගෙ පොලිස්පති හීනෙට උඩගෙඩි දෙන්න. දේශබන්දුට අධිචෝදනා එල්ල වුණේ 2022 මැයි 09 අරලියගහ මන්දිරේ මහින්දගෙ මීටිමට රිංගලා සනත් නිශාන්තලා එක්ක කරට අත දාගෙන අරගලකරුවන්ට නිල ඇඳුමපිටින්ම ගහන්න ආපු හින්දා. සන්නද්ධ මැරයෝ ඇවිල්ලා සාමකාමී අරගලකරුවන්ට පහර දෙද්දි, අරගලභූමිය ගිනි තියද්දි ඒව දිහා බලාගෙන කිසිම දෙයක් නොකර ඉන්න පොලීසිය ⁣මෙහෙයවපු හින්දා. පහර දෙන්න ආපු මැරයන් එක්ක එකතු වෙලා අරගලකරුවන්ට කඳුළුගෑස් ගහන්න පොලීසිය මෙහෙයවපු හින්දා. ඒ දේශබන්දුගෙ අධිචෝදනා ඉවත් කරගන්න නීතිපති ප්‍රමුඛතාව දීලා කඩිමුඩියේ වැඩ කරල තියෙනවා. ඔය⁣ දේශබන්දු පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධයි කියන එක සමාජයේ කුප්‍රකට මතයක්. එහෙම කාලකණ්ණියෙක් සුද්ධ කරන එක නීතිපතිගෙ ප්‍රමුඛ රාජකාරිය වෙලා.

නමුත් කැලුම් – දිල්ශාන් කියන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දෙන්නෙක්. උන් දෙන්න ගැන විමර්ශන කරන්නෙ අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට පත් කරලා. දැන් රිමාන්ඩ් කරලා මාස හයක් ඉක්මවලා ගිහින්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගෙ ජීවිතේ වැදගත්ම විභාගයට ඒ කියන්නෙ අවසන් වසර අවසන් විභාගයට කැලුම් – දිල්ශාන් මුහුණ දුන්නෙ බන්ධනාගාරෙ ඉඳන්. අවසන් වසර නිබන්ධනය ලියන්න වෙලා තියෙන්නෙ බන්ධනාගාරගත වෙලා. උන් දෙන්නට ඇප දෙනවට නීතිපති මාරාන්තිකව විරුද්ධ වුණා. නඩුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මහාධිකරණයට ගියා. දෙවෙනි නඩුවාරය වෙනකම්ම මහාධිකරණ නඩුව කැලුම්ට දිල්ශාන්ට වාසිදායක විදිහට තිබ්බා. ඔක්කොම හිතන් හිටියෙ තුන්වෙනි නඩුවාරයෙදි අනිවාර්යයෙන්ම නිදහස් කරගන්න පුළුවන් කියලා. හැබැයි මහාධිකරණයේ තුන්වන නඩුවාරෙදි නීතිපති දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් කෙනෙක් ආවා. ඇප දෙනවට විරුද්ධව පැය බාගයක දේශපාලන කතාවක් උසාවියේදි කරා. ප්‍රධාන තර්කය වු⁣⁣ණේ මේ ශිෂ්‍යයෝ අරගලයට සම්බන්ධ අය කියන එක. ඒ තමයි ආණ්ඩුවේ පණිවිඩය. ඇප දෙන්න එපා. නඩුව මහාධිකරණයෙන් අභියාචනාධිකරණයට ගියා. ඒකෙදිත් මේක විසඳෙන්න දෙන්නැතිව මාස ගණන් කල් ඉල්ල ඉල්ල යන එක තමයි නීතිපතිගෙ සැලැස්ම වෙලා තියෙන්නෙ.

වැඩේ තියෙන්නෙ කැලුම් – දිල්ශාන් සිරගත කරන්නෙ ඇයි? ඔවුන්ට විරුද්ධව නඩු පවරන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමය ඒ කියන්නෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරන කීප දෙනෙක්. මොවවන් තමන්ගෙ පටු දේශපාලන අවශ්‍යතා ⁣වෙනුවෙන් ශිෂ්‍ය සංගමයේ බලය තහවුරු කරගන්න කරපු තක්කඩි වැඩක් අනිත් ශිෂ්‍යයන්ට මාට්ටු වෙනවා. ඒ වෙද්දි ත්‍රස්ත පනතෙන් සිරගත කරලා හිටපු වසන්ත මුදලිගේ කැලණිය කැම්පස් එකට ආවගිය තොරතුරු, පාවිච්චි කරපු බයික් ගැන විස්තර පොලීසියට දීලා. අන්තරේ, ශිෂ්‍ය සංගමේ තවත් ශිෂ්‍ය නායකයන්ගෙ ඡායාරූප එක්ක තොරතුරු දීලා. ශිෂ්‍ය සංගමේ තීන්දු තීරණ කැම්පස් එකේ පරිපාලනයට යවලා. මෙහෙම එකක් අහු වුනාට පස්සෙ කැම්පස් එකේ ශිෂ්‍යයෝ නිකං හිටියෙ නෑ. ලොකු ගැටුමක් ඇති වුණා. දවස් දෙකක් ගැටුම ඇවිළිලා ගියා. ඒ ගැටුම් ශිෂ්‍ය සංගමේට මැදිහත් වෙලා වළක්වන්න පුළුවන් සීමාවෙ නෙවෙයි තිබ්බෙ. අන්තිමේදි පරිපාලනයත් මැදිහත් වුණා.
මේ සිද්ධියෙන් දවසකට පස්සෙ ජවිපෙ සාමාජිකයන් හය දෙනෙක් ගිහින් හෝමාගම හොස්පිටල් එකේ ඇඩ්මිට් වුණා. කිරිබත්ගොඩ පොලීසියේ පැමිණිල්ලක් දැම්මා තමන්ට නවකවදය දුන්නා කියලා. ඒ නවකවද පනතෙන් නඩු දාන්න පුළුවන් වෙන්න. ශිෂ්‍ය නායකයන් 11 දෙනෙකුගේ නම් පොලීසියට දුන්නා. කැලුම් – දිල්ශාන් ගිය අවුරුද්දෙ ජුනි 10 අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට තිබුණු උද්ඝෝෂණයකට අදාළව ජනවාරි 02 අත්අඩංගුවට ගත්තා. ඒ නඩුවට ඇප ලැබුණු දිනයෙම CID එක මහර උසාවියෙන් නියෝගයක් අරගෙන නැවත අත්අඩංගුවට ගත්තා. එදා ඉඳන් අද වෙනකම් ඔවුන් ඉන්නෙ සිරගත වෙලා. මෙතනදි විශේෂත්වය වෙන්නෙ ජවිපෙයි, රනිල්ගෙ ආණ්ඩුවයි වැඩ කරන්නෙ එකට.

ත්‍රස්ත පනත තියෙන්නෙ ත්‍රස්තවාදය වළක්වන්න නෙවෙයි වගේම නවකවද පනත තියෙන්නෙ නවකවදය නවත්වන්න නෙමෙයි. ඒක මර්දන පනතක්. කැලුම් – දිල්ශාන් සිදුවීම මේක හොඳටම පැහැදිලි වෙන අවස්ථාවක්. ඔවුන්ට චෝදනා තියෙන්නෙ නවකවද පනතෙන්. දෙවෙනි, තුන්වෙනි වසරවල සිසුන්ට කොහොමද නවකවදය දෙන්නෙ. කැම්පස් එකේ පරිපාලනය විනය පරීක්ෂණයක් කරලා විමර්ශන වාර්තාවක් දීලා තියෙනවා මේ සිදුවීම කිසිසේත්ම නවකවද සිදුවීමක් නෙමෙයි ශිෂ්‍ය ගැටුමක් කියලා. එහෙම තියෙද්දිත් තවම කැලුම් – දිල්ශාන් හිරේ!

leave a reply