ජෝතිව හොයන, ජෝතිව කියවන, ජෝතිව අහන,ගොඩක් අය දැන් ඉන්නවා. මගේ මතකයට අනුව ජෝති ජීවත් වුණු කාලේ ලේබල් කරලා ජෝතිව විසි කරපු අය තමයි වැඩි. අද වගේ දවසක අවශ්‍ය වෙයි කියලා ඒ මතක අරන් තියාගන්න තරම් එදා අවශ්‍යතාවයක් තිබුණෙ නැහැ. නමුත් අද නං හිතෙනවා ඒ මතක තැන්පත් කරලා අරන් තියා ගත්ත නං අද කොච්චර වටිනවද කියලා.
ජෝති ජීවත් වෙලා ඉන්න කාලේ ප්‍රබුද්ධ ගීත කතාවේ ජෝතිට ඉඩක් තිබුණේ නැහැ. නමුත් අද ලාංකික ගීතයේ ප්‍රබුද්ධයෝ ජෝති ගැන කතා කරනවා .ඒ විතරක් නෙවෙයි කලාව ඇතුළෙ වෙළඳාම් කරන බොහෝ වෙළෙන්දෝ අද ජෝති ගෙන් ජීවත් වෙනවා.
2020 ජූලි මාස 7 වෙනිදට ජෝතිපාල මිය ගිහිල්ලා වසර 33 වෙනවා.ජෝති ගැන හුඟක් අය හුඟක් කතා කියලා තිබුණා. ලියලා තිබුණා . ජෝතිගේ ගීතවලට ආදරය කරපු හැටි ඒවලින් ලබපු මිහිර පිළිබඳව විග්‍රහ කරලා තිබුණා. ඇත්තටම අදටත් ලංකාවේ ජනප්‍රියම ගායකයා එච් ආර් ජෝතිපාල.රස විඳ අවසන් කරන්න බැරි ගී සෑයක් බැඳපු ජෝතිපාල පිලිබඳව ප්‍රබුද්ධ කතාවක් කියනවට වඩා මේ මොහොත මා යොදා ගන්නේ ජෝතිපාල අපට වඩාත් සමීප වූ ආකාරය පිළිබඳව යමක් කියන්න.
80 දශකයේ මුල විවෘත ආර්ථිකයේ බලපෑමෙන් අපේ ගම් වෙනස් වෙන්න පටන් ගත්තා. මුදල් තිබුණු පැරණි ප්‍රභූන් යට කරගෙන අලුත් සල්ලිකාරයෝ බිහිවෙන්න ගත්තා. ගමේ ගැහැණු මිනිස්සු පිටරට රැකියාවලට ගිහින් ගමට එන්න පටන් ගත්තා. ගමේ ගෙදරක දෙකක තිබුණු රේඩියෝ එක වෙනුවට මැද පෙරදිග සිට පැමිණෙන කිමෝනා ඇඳගත්තු ගැහැණු කැසට් යන්ත්‍රය අරගෙන එන්න පටන් ගත්තා. ගමේ ප්‍රභූ සල්ලි කාරයින්ගේ ගෙවල්වල පමණක් තිබූ ගුවන් විදුලි න්ත්‍රයේ වටිනාකම මේ කාලයේදී මැද පෙරදිග ගිය ගැහැණු කැසට් යන්ත්‍ර අරගෙන පැමිණීම නිසා පොදු භාණ්ඩයක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා .මේ අලුත් ආර්ථික සමාජ වෙනස්වීමත් එක්ක එතෙක් ගමේ හිටපු පැරණි පොල් ඉඩම් හිමි සල්ලිකාරයෝ තමන්ගේ ඉඩම් කට්ටිකර විකුණන්න පටන් ගත්තා.මොවුන් බොහොමයක් පොල් ඉඩම් හිමි පොල් මෝල් හිමියන් හෝ පොල් බිස්නස් කළ උදවිය වුණා. ඒවගේම මේ මැද පෙරදිග සල්ලි කාරයන් ( ඒ කාලයට සාපේක්ෂව) අලුත් ඉඩම් කෑලි ගනිමින් ගලෙන් බැඳපු උළු තියපු ගෙවල් හදන්න පටන් ගත්තා.
ඉතා සීග්‍රයෙන් ගම වෙනස් වෙන්නෙ මොකද කියන එක පිළිබඳව එදා කිසි අවබෝධයක් තිබුණෙ නැහැ, පසුකාලීනව වයසෙන් මුහුකුරා යත්ම අලුත් දේශපාලන වෙනස්වීම එක්ක සිද්ධ වෙච්ච ආර්ථික පෙරළිය අපේ ගම වෙනස් කළා කියලා දැනෙන්න පටන් ගන්නවා. මේ අලුත් ආර්ථික ක්‍රියාවලිය තුළ කවුරුත් දන්න පරිදි කටුනේරිය මාරවිල වෙන්නප්පුව, බෝලවත්ත ,නයිනමඩම ප්‍රදේශවල කසිප්පු කර්මාන්ත ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා.මේ කාලය වන විටත් මේ ප්‍රදේශවල කසිප්පු කර්මාන්තය පැවතුනත් එය පැවතියේ පොල් රා මත පදනම්වයි. එය මහා පරිමාණ කර්මාන්තයක් නොවුණු අතර පුංචි පුංචි ගෘහස්ථ කර්මාන්තයක් හැටියට පැවතියා .
පොල් රා මත පදනම් ව තිබුණු කසිප්පු කර්මාන්තයට සීනි නිෂ්පාදනයෙන් ඉවතලන පැණි නැමැති ද්‍රාව්‍ය ආදේශ වීමත් සමඟ අපේ ගම් වල පුංචියට තිබුණු කසිප්පු කර්මාන්තය දැවැන්ත කර්මාන්තයක් බවට පරිවර්තනය වෙනවා. කසිප්පු කර්මාන්තයේ මුල් කරගෙන පොලිසිය අල්ලේ නටවන මේ අලුත් කසිප්පු කර්මාන්තයේ කෙරුම් කාරයෝ ගමේ අලුත් සල්ලි කාරයෝ ද වෙනවා.ඒ විතරක්ද නෙවෙයි ඔවුන් ගම තමන්ගේ අණසකට යටත් කරගත් ගණන් කාරයෝ ද වෙනවා.මේ අලුත් කසිප්පු මුදලාලිලා බොහොමයක්ම දේශපාලන බලපුළුවන්කාරකම්ද සහිත පිරිසක් බවට පත් වෙනවා. හොර කසිප්පු බිස්නස් එක නීති විරෝධී වුණත් ඊට නීතියෙන් එල්ලවුණු බාධාවන් අවමයි. මොකද මේ අලුත් සල්ලිකාරයො නීතිය නවන්න යහමින් මුදල් එහා මෙහා කළ උදවිය.
ඉතින් දැන් ඔබට යම් කුතුහලයක් පැන නගිනවා ඇති ජෝතිපාලයි කසිප්පු කාරයෝ අතර සම්බන්ධය මොකක්ද කියන එක පිළිබඳව. ඇත්තටම මේ කසිප්පු මුදලාලිලා යහමින් කාපු බීපු උදවිය. ඉරිදා උදෑසන දිව්‍ය පූජාව මඟ හරින්නේ නැතිව සහභාගී වෙච්ච උදවිය. අහල පහල ගම් වල කසිප්පු මුදලාලිලා ඉරිදාට එකතුවෙන තිප්පල තිබුනෙ අපේ ගෙවල් ආසන්නයේමය.ඔවුන්ට ඉරිදා කා බී ප්‍රීති වෙන සින්දු කියන දවසකි.මේ සාජ්ජයට එකතු වන්නේ කසිප්පු මුදලාලිලා පමණක් නෙවෙයි. පැණි ලොරි රියදුරෝ ද ඔවුන්ගේ හිතමිතුරු පොලිස්කාරයෝද ( සිවිල් පුරවැසියන් සේ ) ඉරිදා හමුවේ කොටස්කාරයෝ වෙනවා. දවල් දහය පමණ වන විට එකා දෙන්න ගේ පැමිණීම සිද්ධ වෙනවා .මේ බහුතරයක් මුදලාලිලාගේ මධුවිත සුදු ඒ වාය. මේවා ලොකු වඩි වල බඩු නෙවෙයි. ඔවුන් වෙනුවෙන්ම පෙරන පොල් රා වලින් පෙරා ගත සුපර් බඩුය. දවල් එක පමණ වන විට සප්පායම් වී පදම හදාගන්නා මේ උදවිය ජෝතිපාලව එතනට කැන්දා එයින් පසුවය. ඉඳහිට එම් එස් ප්‍රනාන්දු ,මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රෙඩී සිල්වා මේ සාජ්ජය අතරට පැමිණියාද , වැඩිම ගීත ජෝතිපාලගේය.
මුලදි බැන්ද ආදරයක මිහිර, ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට මේ මොකද වුනේ, ආදරේ හිතෙනවා දැක්කම, අද අමුතුම රැයකි, ලෝකයේ වෙනස් වුනේ, ඔන්චිලි චිලි චිල්ල මලේයා ඇතුළු බොහෝ ජෝතිපාලගෙ මියුරු ගීත අපට කටපාඩම් වුණේ කසිප්පු කාරයන්ගෙ මේ සාජ්ජය හේතුවෙනි. මේ සංගීත සාදවල සංගීතය සපයන්නේ අත්පුඩි ය සහ ඩොල්කි යයි.බොහෝ අවස්ථාවලදී සිරියමෙ සාරා ගීතය දෙතුන් වතාවක් ගායනා වන අතර රාත්‍රිය වන තුරුම දිග්ගැස්සෙන මේ සාජ්ජා අවසාන වන්නේ ජෝතිපාලගෙ පුරුතුගීසි කාරයා ගීතයෙනි.
ඉතින් ඇත්තටම අදත් ජෝතිපාල ගැන ප්‍රබුද්ධ කතා වෙනමම පාර්ශවයක් කරන අතර ජෝතිපාලව රසවින්දේ සහ ජෝතිව ජීවමානව තියාගන්න දායකත්වය සපයන්නේ මෙවැනි මිනිසුන්ය. වැල්ල කරේ මිනිසුන් කාපු බීපු වෙලාවට අදත් ගායනා කරන්නේ , සුරුවමකින් තාල අල්ලන්නේ ජෝතිගෙ ගීතයකය .ඉතින් මහ පොළොවේ පය හප්පාගෙන ජීවත්වෙන මිනිසුන් සිටින තාක්කල් ජෝතිපාල ලංකාවේ ජනප්‍රියම ගායකයා කිරුළ දරාගෙන සිටින බව නොවැළැක්විය හැක්කකි.
ජෝති පමණක් නෙවෙයි ප්‍රෙඩී සිල්වා, එම් එස් ප්‍රනාන්දු වැනි ගායකයින් පිළිබඳවද නිසි ඇගයීමක් සිදු කොට නොමැත. උපන්දිනයට හෝ මළ දිනයට සිහිපත් කිරීම් හැර ඔවුන් ගීත සාහිත්‍යයට කළ මෙහෙවර පිළිබඳව ඇගැයීමක් නොමැත. නව පරපුරට ඔවුන්ගේ ගීතයෙන් අත්දැකීමෙන් ගත හැකි බොහෝ දේ තිබුණ ද ඒවාට මගපෙන්වීම් නොමැත . කලාකරුවන් නව නිර්මාණකරුවන්ගේ පරමාදර්ශ කරනවා වෙනුවට වත්මන් වෙළඳ කලා අවකාශය විසින් කරන්නේ ඔවුන්ගේ නිර්මාණ විකුණාගෙන ජීවත්වෙන පරපුටුවා නිර්මාණය කිරීමයි.
ජෝතිට උපහාර දැක්වීම වෙනුවට කළ යුත්තේ නිවැරදිව ජෝතිව කියවා ගැනීම සහ හරි තැන ජෝතිව ස්ථානගත කිරීමයි.