Breaking News

මාස 06ක් තුළ 06 වරක් ඉන්ධන මිල ඉහළට

අද (මැයි 24) පෙ.ව. 03:00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි.කැබිනට් අනුමැතිය හිමිවූ ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර පවසයි.

මෙම ඉහළ දැමීමට අනුපාතිකව අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සඳහා ද අනුමැතිය හිමිවනු ඇත. ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

අදසිට පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 420 දක්වා, රුපියල් 82කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 දක්වා රුපියල් 77කින් ද මිළ ඉහළ දමා තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 දක්වා රුපියල් 111කින්, සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 445 දක්වා රුපියල් 116කින් ඉහළ දමා තිබේ.

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අද (24) අළුයම 3 සිට තම සමාගම ද එම අගයන්ගෙන්ම ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා IOC සමාගම පැවසීය.

මෙයට පෙර අප්‍රේල් මස 19 වැනිදා අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමු අතර මාස 06 ක් තුළ අවස්ථා 6 කදී ඉන්ධන මිල ඉහළ දමා ඇත.

පසුගිය මාස හය තුළ ඩීසල් මිල සියයට 230 කින් සහ පෙට්‍රල් මිල සියයට 137 කින් ඉහළ ගොස් තිබේ.

අප්‍රේල් මාසයේ රටේ සමස්ත උද්ධමනය සියයට 33.8 ක් බවත් ආහාර උද්ධමනය සියයට 45.1 ක් බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳුදා නිකුත්කළ දත්ත පෙන්නුම් කරයි.

බස් ගාස්තු ඉහළට

මේ අතර ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අද (24) දහවල් 12ට පෙර මිල ගණන් පිළිබඳ තමන්ට තීරණයක් ලබා දිය යුතු බව යි.

ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ යෑමත් සමඟ දිනකට බස් රථයකට රුපියල් 11,000 ක පාඩුවක් වන බවත් ඉන්ධන සහනාධාරයක් නොදෙන්නේ නම් බස් ගාස්තුව සියයට 35 කින් ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් අද (24) පෙරවරුවේ මාධ්‍යට පැවසීය.

අවම බස් ගාස්තුව රුපියල් 27 සිට 35 දක්වා වැඩිවිය යුතුත් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් හෙට සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කිරීමට සූදානම් බව ඔහු සඳහන් කළේය.

මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රුයදුරන්ගේ සංගමය පැවසුවේ අවම ගාස්තුව රුපියල් 10කින් වැඩිකර රුපියල් 100ක් ලෙස අයකරන බවත් දෙවන කිලෝමිටරයේ සිට කිලෝමිටරයකට අයකරන ගාස්තුව රුපියල් 80 ලෙස ඉහළ දමන බවයි.

leave a reply