Breaking News

වෙල්ලෝරයේ රනින් කළ දෙවොලක රන් පලස් මත…

භාරතයේ පිය සටහන්-3

මෙම ඵෙතිහාසික වෙල්ලූර් නගරයේ අති විශාල භූමි භාගයක් පුරා ගොඩ නැංවූ දෙවොලක් වෙයි. එය ස්වර්ණ දෙවොල (Golden temple) යයි නම් ලද්දේය. එය වෙන් කර ඇත්තේ ලක්ෂ්මී දෙවඟන වෙනුවෙනි. එහෙත් එහි ඇති විසල් ගල් පිළිම අපට සිහිගන්වන්නේ මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරවල සිට පැවතගෙන ආ මාතෘ දෙවඟන වන්දනයයි. බෂාම් කියන්නාක් මෙන් භාරතීය කාන්තාව වරෙක දෙවඟනකි. වරෙක වහලියකි. අඩි පනහෙන් පනහට පමණ ඇති මෙම සෙල්මුවා පිළිම අතිශයින් ශෝභමානය. සියුම් කැටයමින් යුක්තය. ත‍්‍රිභංග හැඩ දක්වන්නාහුය. සිනිඳු සලූ පිළි තුළින් නාරි ලාලිත්‍යය මතු කර පෙන්වන සුළුය.

මෙම විසල් දෙව් මැදුරේ ඇති සුවිශේෂත්වය එය නොවේ. මෙම දෙව්මැදුරෙහි සියලූ බිත්ති හා කුළුණු ආවරණය වී ඇත්තේ ගන රනිනි. ඒ නිසාමදෝ ගුවන් තොටුපලකින් යන ආකාරයේ සූක්ෂම සෝදිසි කිරීම්වලට එහිදී බඳුන් වන්නට සිදු වෙයි. මගේ සාක්කුවේ තිබූ පෙන් ඩ‍්‍රයිව් එක නිසා එහි යන්ත‍්‍ර කෑ ගසන්නට විය. මම එය එහි දොරටුවේ තබා ගියෙමි. කිසිලෙසකින් හෝ එය තුළට කැමරාවක් ගෙන යන්නට අවසර නොලැබේ.

එහි සියලූම කැටයම් අතින් කරන ලද සියුම් කැටයම් ය. ඒ කිසිවක් මැෂින් කැටයම් නොවේ. මේ සියල්ල නිරූපනය කරන්නේ මිනිසාගේ දෙවියන් කෙරෙහි වන අතිශය භක්තිය නොවන්නේ ද? අහස උසට විහිදෙන මෙම රන් දෙවොලේ මුදුන් පියසි හිරු එළියෙන් බබලනු දෑසින් බැලිය නොහැකි තරම් වේ. ඒවා ඇස් නිලංකාර කරවනසුළුය. දිවා හිරු රැස් වැද දෙවොලේ රන් පියසි බබලනු දකින මට සිහිවන්නේ සැළලිහිණයේ කවකි.

ගන රන් කොතින් දිලිහෙන මිණි රැුස් විහිදු
පවනින් ලෙළෙන පල අග මුතුලැල් සිනිදු
ස`දකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින් රුදු
එතතින් ගොසින් සැනකින් රජ විමන් වදු

මෙවැනි මැදුරු ලොව නොමැති බව මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා පවසන අතර එතුමා පවසන්නේ තිබෙන්නේ ගොරහැඩ් ගඩොල් හා කොන්ක‍්‍රීට් ගොඩවල් බවය.

එහෙත් එවැනි ගන රන් මැදුරු ඇති බව මම සැබවින්ම දුටුවෙමි. මනසින් පමණක් එවැනි ඒවා දැකිය හැකි බව මහාචාර්ය ගම්ලතුන් පැවසුව ද මසැසින්ම අපි එවැනි බබලන දෙවොල් මැදුරු දුටුවෙමු. කවියකට කිසිදා සැබෑ ලොව සමඟ  සමපාත විය නොහැකි බව ඇත්තකි. එහි වූයේ කවියේ මෙන් චන්ද්‍රකාන්ති මාණික්‍යය එබ්බවූ බිත්ති නොව ගන රන් බිත්තිය. ඒවා සිය කාන්තිය අනෙකුත් බිත්ති මත පතිත කරමින් අනන්ත වූ අභ්‍යන්තර පරාවර්තන කාර්යයක යෙදෙයි. රන් ආලෝකයේ රශ්මියකින් නිරන්තර දෙවොල උණුසුම්ව තැබේ.

තරුවක හැඩයට නිමවා ඇති දෙවොල වටේ ඇති කොරිඩෝවේ බිම විවිධ වර්ණ මාබල් කැටයමින් යුක්තය. සම්පූර්ණ දොවොලේ ආකෘතිය වන එම තරුවම දිගින් දිගටම පොළොව මත චිත‍්‍රණය කොට ඇත. දෙපස ඇති කුළුණු ඇසට පි‍්‍රය වූ විවිධ වූ ලා පැහැ වර්ණයන්ගෙන් වර්ණාලේප කොට ඇත. එය ඈතට ඈතට පර්යාවලෝකනය දක්වමින් දේදුණු පැහැ සිත්තමක් මවයි.

දෙවොල තුළට පිවිසීම අතිශය අසිරිමත් මොහොතකි. අපි රන් යයි දන්නේ කනේ පළඳීන කඩුකමකුත්, ගෙලෙහි පළඳීන මාලයකුත් අතේ පළඳීන වළලූ කිහිපයකුත් පමණි. රනින් කළ කුළුණු ඇති රනින් කළ බිත්ති ඇති දෙවොලක් තුළ ඒවායේ කාන්තිය තවත් බිත්තියක වැදී පරාවර්තනය වන ආලෝක ඇති දිලිසීමේ නිමක් නැති දොවොලක රන් පළස් මත අප හිඳී ගතිමු. මට යළිත් සිහිවන්නේ මහායානයේ මූලික සූත‍්‍රයක් වන අවතංසක සූත‍්‍රයයි. එය බෞද්ධ සූත‍්‍ර අතරින් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා අති විශාල සූත‍්‍රයකි. මුද්‍රිත පිටු තුන් දහස ඉක්මවයි. එය බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේ දුටු විශ්වය පිළිබඳ විවරණයකි. දියමන්තියෙන් සැදුණු ලෝක ගැන ගන රනින් සෑදුණු ලෝක ගැන මැණික් ගහන පුෂ්ප ඉවුරු ගැන එහි ඇති මනස්කාන්ත විවරණ මෙම දෙවොල තුළ දී මට සිහිවෙයි. මේ නම් එම සූත‍්‍රයේ අංශූ මාත‍්‍රයකි.

මෙය විශාල ජනකායක් නිතර ගැවසෙන ස්ථානයක් නොවන බැවින් එහි ඇති තරම් වේලා හිඳ  සිට එහි අසිරිය විඳ ගත හැකිය. භාවනා කල හැකිය. භාවනාත්මක නිමේෂයන් අත්විඳීය හැකිය. රනින් කළ බුමුතුරුණු ඇති සීතල පොළොව මත අප හිඳ සිටිමු. එහි බිම ද දඹ රනින් නිමවා ඇත. වහළය ද දඹ රනින් නිමවා ඇත. එහි ඇති රන්වන් ආලෝකයට නිමක් නැත. එයට අනන්ත ආලෝකය යැයි මම කියමි.
දඹ රන් ලක්ෂ්මී පිළිමය රන් කිලෝ 174ක් බව එහි පුවරුවක සඳහන් කර ඇත. මේවා අපේ වැනි රටවල රන් ආලේපිත තඹ මෙන් නොව නියම දඹ රත්තරන් බව එහිදී මට මග පෙන්වූ මගේ ඉන්දීය මිතුරා පැවසීය.

එම දෙවොලට පැමිණෙන සියලූ දෙනා වෙනුවෙන් කෑම සපයන දන්සැලක් එහි වෙයි. එහි ඇති ශාකහාර කෑම අතිශයින් රසවත්ය. උණුසුම් බත් කෙසෙල් කොළවලට බෙදා දෙනු ලබයි. ඉන්පසු එහි සිටින ස්වේච්ඡුා සේවකයින් විසින් ට්‍රොලිවල තල්ලූ කරගෙන එන්නේ පරිප්පු, මාලූ මිරිස් ව්‍යංජනය, කැරට් හොද්ද, බණ්ඩක්කා හොද්ද සහ ලොකු පපඩම් බෝල සහ බැදපු මිරිස්ය. ඒ අතරට රසම් සහ සව්ත් මීකිරිත් බෙදා දෙයි.

එය අසිරිමත් අත්දැකීමකි. එහෙත් යළිත් මඟට පිළිපන් කළ දැකිය හැක්කේ හිගමනේ යන යාචකයින්ගෙන් ඉන්දියාව පිරී ඇති බවයි. නිවෙස් නැතිව පාරේ දිවි ගෙවන මිනිසුන් ලක්ෂ ගණනකි. වැස්සට ඔවුන්ට යන්නට තැනක් නැත. වැස්ස දෝරේ ගලන විට අනේ ඔවුන් යන්නේ කොහිදැයි මගේ හිත අසයි. මහම`ග නිදන කුඩා දරුවන්ට වැස්සෙන් පින්නෙන් ආරක්ෂාවක් විණි නම් කෙතරම් හොඳදැයි මසිත් අසයි. අර තරම් ඇති රත්තරන් විකුණා මේ අසරණ මිනිසුන්ට නිවෙස් සාදා නොදෙන්නේ මන්දැයි මගේ හිත අසන්නට වෙයි.

මට්ටකුණ්ඩලීලාගේ මෙන් නොසියුම් කැටයමින් යුත් විශාල කඩුක්කම් නහයේත් කන්වලත් පැළඳ සිටින අව්වටම කර වුණු කළු පැහැති ගැහැණුන් දිවි ඇති තෙක් මල් මාලා ගොතයි. පිච්ච මල්, රෝස මල්, කණේරු මල් මාලා ගොතයි. ඔවුන් තුළ සැඟව සිටින දෙවඟනන් දකින මම ලක්ෂ්මී දෙව`ගනට රන් දෙවොලෙන් බැස ඔවුන් කරා මහපොළොවට වඩින්න යැයි ආරාධනා කොට වෙල්ලූරුවෙන් සමු ගතිමි.

සංජීවනී රූපසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය.

leave a reply