වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට විරෝධය
කිසිඳු මිනිස් ක්‍රියාකාරකමක් සඳහා යොදාගැනීම කිසි විටෙකත් සිදු නොකළයුතු සහ තවත් හැකි තරම් පුළුල් කළයුතු ශ්‍රී ලංකාවේ සීමිත වනජීවී සහ වන රක්ෂිත ප්‍රදේශ ප්‍රමාණය කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට ආණ්ඩුව විසින් මේ වනවිට පිඹුරුපත් සකස්කිරීම නිසා ශ්‍රී ලංකාවේ වනාන්තර සහ සෙසු පාරිසරික සම්පත් පෙර නොවූ විරූ බරපතල අභියෝගයකට මුහුණදී තිබේ. ‘වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගා කළහැකි ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීම’ යන හිසින් යුතුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ආචාර්ය ඩබ්. එල්. ජී. සමරසිංහ මහතා විසින් නිකුත්කර ඇති අංක 4/3/8/4 සහ 2020 ජුනි 26 දිනැති ලිපිය මගින් එසේ ආණ්ඩුව විසින් වනජීවී සහ වන රක්ෂිත ප්‍රදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට සලසුම්කරමින් සිටින බව මානව පැහැදිළි වේ.
වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් ‘රජයට අයත් සියළුම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්ෂකට පැවරීම’ යන මැයෙන් 2001 අගෝස්තු 10 දාතමින් නිකුත්කළ 05/2001 චක්‍රලේඛය අහෝසි කරමින් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වටිනා වනාන්තර ඉඩම් හෙක්ටයාර් 694100 ක් සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට සැරසුණු ආණ්ඩුව ඊට එල්ලවූ මහජන විරෝධය හමුවේ එම උත්සාහය තාවකාලිකව පසුවට තබා මෙසේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් කෘෂිකාර්මික හෝ වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට උත්සාහ දරමින් සිටී. මේ වන විට ආහාර ද්‍රවය ආනයනය සීමා කිරීමට ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙරට වගා කළ හැකි ආහාර භෝග ආනයනය සීමා කිරීම හේතුවෙන් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මේ වනතෙක් වගා කළ බිම් ප්‍රමාණයට අමතරව වගා කළ හැකි බිම් ප්‍රමාණයන් කඩිනමින් හඳුනාගැනීමට අවශ්‍ය බව පවසමින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ආචාර්ය ඩබ්. එල්. ජී. සමරසිංහ මහතා විසින් මෙම ලිපිය මගින් මෙසේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගා කළ හැකි ඉඩම් පිළිබඳව විමසා ඇත.
2009 අංක 22 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත1937 අංක 07 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත (469 වන අධිකාරය) සහ 1907 අංක 16 දරන කැලෑ ආඥා පනත (451 අධිකාරිය) අවස්ථා ගණනාවකදී සශෝධනයට ලක්ව අවසාන වශයෙන් 2009 අංක 65 දරන සංශෝධන පනත මඟින් සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කර ඇති වනජීවී සහ වන රක්ෂිත වලට අයත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට හිමි ඉතා වටිනා ජෛව උරුමයන් සංරක්ෂණ සඳහා ඉතා වැදගත් වනාන්තර සහ සෙසු පරිසර පද්ධතීන් පමණක් වන අතර ඒවායේ වගා කළ හැකි ඉඩම් පිළිබඳව විස්තර විමසීමම අමනෝඥ ක්‍රියාවකි. ජෛවවිවිධත්ව සංරක්ෂණයට අමතරව මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන ජල අවශතාවය සපුරාලීම සඳහා මෙන්ම කෘෂිකර්මය සහ ජලවිදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජලය සපයන ජල පෝෂක ප්‍රදේශ ආරක්ශාකරගැනීම, මිනිසාට හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් වායුව නිපදවීම, විවිධ කාර්මික කටයුතුවලින් වායුගෝලයට නිදහස්වන කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගැනීම, පරිසරය සිසිල් කිරීම, ස්වභාවික විපත් අවමකිරීම, දේශගුණ විපර්යාසයේ දරුණු බලපෑම් අවමකිරීම, වනජීවී-මිනිස් ගැටුම් අවම කිරීම, සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂාකර ගැනීම වැනි ඉතා පුළුල් පරාසයක පැතිරුණු ප්‍රයෝජන රැසක් මෙම රක්ෂිත මගින් රටට හිමිවේ. එවැනි පසුබිමක් තුල ආණ්ඩුව විසින් සිදුකළ යුතුව ඇත්තේ මෙම වනජීවී සහ වන රක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීම නොව, තවත් පුළුල් කරමින් ආරක්ෂා කිරීමය.
තවද වනජීවී සහ වන රක්ෂිත තබා ඒවායේ ප්‍රේරක කළාප පවා වනාන්තරමය නොවන සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට ප්‍රථම 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව එම කටයුතු සිදුවිය යුතු නීතිමය පසුබිමක ආණ්ඩුව කිසිඳු බරක් පතලක් නොමැතිව එම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට කටයුතු කිරීම විමතිය දනවන සුළුය. එසේම දිවයිනේ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත හැකි නමුත් එසේ නොකර අත්හැරදමා ඇති ඉඩම් ඕනෑ තරම් තිබියදී ඒවා ප්‍රයෝජනයට ගෙන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට කටයුතු නොකර මෙසේ පාරිසරික වශයෙන් සංවේදී රක්ෂිත ප්‍රදේශවලට අත පෙවීම කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති අතාර්කික ක්‍රියාවකි. යම් හෙයකින් ආණ්ඩුව මෙම අමනෝඥ ක්‍රියාව අත්තනෝමතික ආකාරයෙන් සිදුකිරීමට කටයුතු කළහොත් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටී තව දුරටත් ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයකට ඇද වැටීම පමණක් බව අප අවධාරණය කරමු.
මේ ආකාරයෙන් රක්ෂිත ප්‍රදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට කටයුතු කළහොත් ජලපෝෂක විනාශවී යාමෙන් ජනතාවගේ දෛනික අවශ්‍යතා සඳහා ජලය හිඟවීම මෙන්ම දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගෙන ඇති ගොවිබිම් අස්වැද්දීම සඳහා ජලය හිඟවීමද නොවැලැක්විය හැකිය. තවද ජලය හිඟකම සහ කෘෂිකර්මය නිසා උත්සන්න වන පාංශු ඛාදනය හේතුවෙන් ජලාශවල රොන්මඩ තැන්පත්වීමෙන් ජලවිදුලි නිෂ්පාදනයටත් බලපෑම් එල්ලවේ. එමෙන්ම මේ වන විටද වසරින් වසර උග්‍ර වෙමින් දිවයින පුරා පැතිර යමින් පවතින අලි-මිනිස් ගැටුම ඇතුළු වනජීවී-මිනිස් ගැටුම් ඉහළ යාමෙන් කෘෂිකාර්මික කටයුතු වලට මෙන්ම ග්‍රාමීය ආර්ථිකයටද මරු පහරක් එල්ලවීම නොවැලැක්විය හැකිය. එසේම දේශගුණ අවධානම් දර්ශකයේ ඉහළින්ම සිටින රටක් වන ශ්‍රී ලංකාව ආන්තික කාලගුණ විපත්වලින් ආරක්ෂාකර ගැනීමට ඇති එකම රක්ෂණාවරණය වන්නේද මෙම රක්ෂිත සහ වෙසු වනාන්තර පද්ධතිය පමණක් බව අප තරයේ සිහිතබාගත යුතුය. මෙම තත්ත්වය පිළිබඳව නොසලකා ආණ්ඩුව වනජීවී සහ වන රක්ෂිත වලට අත තැබීමට කටයුතු කළහොත් ඉදිරියේදී පාරිසරික, මෙන්ම සමාජාර්ථික ප්‍රශ්න රැසකට අත වැනීමට මෙම තීරණය හේතුවන බව වැඩි දුරටත් පේනවා දීමට කැමැත්තෙමු.
වනජීවී සහ වන රක්ෂිත වලට අත තැබීමට දරන මෙම ප්‍රයත්නයට අමතරව 05/2001 චක්‍රලේඛය අහෝසි කරමින් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වටිනා වනාන්තර ඉඩම් හෙක්ටයාර් 694100 ක් සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමේ ආණ්ඩුවේ උත්සාහයද තවමත් හකුලාගෙන නැති බව අප අවධාරණය කරමු. ‘05/2001 චක්‍රලේඛය වහාම අවලංගු නොකරන නමුත් එය පියවරෙන් පියවර සිදුකිරීම සඳහා ඉදිරි මාවත සකසා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිපත්ති හා සැලසුම් දෙපාර්තමේන්තුව, ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ අනෙකුත් අදාළ බලධාරීන් එක්ව කටයුතු කරන බව’ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.සී.එම්. හේරත් මිය විසින් සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කිරීමෙන් ඒබව මොනවට පැහැදිළි වේ.
එබැවින් මෙරට වනාන්තර, වනජීවීන් සහ සෙසු ස්වභාවික සම්පත් වනසමින් සාමාන්‍ය ජනතාවගේ සමාජාර්ථික තත්ත්වයද කබලෙන් ලිපට විසිකරන ආණ්ඩුවේ ඉඩම් ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා අත්වැල් බැඳගැනීම රටට ආදරය කරන රාජ්‍ය නිළධාරීන්, පරිසර හා සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සියලු සබුද්ධික ජනතාවගේ යුතුකම සහ වගකීම බව අප අවධානාරණය කරමු.