Breaking News

“පාරට බහිමු” මුහුණු පෙරළන්න නෙවෙයි, ක්‍රමය පෙරලන්න

රිවිහාර පින්නදුව

දින කිහිපයක සිට හමුවෙන හැම මිතුරෙකුම විමසන්නේ මචං මොකුත් කරන්නේ නැද්ද යන්නයි. ඔවුන් බොහෝ දෙනෙකු පාරට බහින්නට සූදානමින් සිටී. ඇතමෙකු කලකට පෙර මා උද්ඝෝෂණ ආදියට සම්බන්ධවන විට පෞද්ගලිකව මා හමුවී එයින් සිදුවිය හැකි හානිය පවසා මා එවැනි ක්‍රියාවන්ගෙන් වැලැක්වීමට මහත් උත්සහයක් ගත් අයයි. (ඔවුන් එසේ කළේ ඔවුන් විශ්වාස කරන මතය අනුව මාගේ යහපත වෙනුවෙන් බව දනිමි)

මේ මෙහොතේ පාරට බසින්නට සූදානම් වන සියල්ලන්ට අත්දෙක ඔසවා ඊට එකගවන අතරම කොන්දේසි විරහිතව මෙම පාලකයින් එළවා දැමිය යුතුය යන අදහසේ සිටිමි. පාරට බැසීමේ තීරණය දශමයකුදු වෙනස් නොකරන මෙන් ඉල්ලන අතර කෙටියෙන් යමක් සිහිපත් කරන්නට කැමත්තෙමි.

මෙම පාරට බසිමු යන යෝජනාව තුළ නිර්පාක්ෂික, දේශපාලනයක් නැති වැනි වචන ඇසෙයි, පලමු කාරණය වන්නේ ස්වාධීන හා අදේශපාලනික කිසිදු අරගලයක් ලොව නොමැති බවත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවා දේශපාලය සමග සම්බන්ධ වන බවත්ය. එසේම අසංවිධානාත්මක හා අදේශපාලනික යැයි කියන අරගලයන්ට වඩා දේශපාලන ව්‍යාපාර හා සම්බන්ධ අරගලයන් වෙනස්ය. මන්දයත් එම අරගල වල අරමුණ ඒවා ගමන් කරන්නේ කුමන දිසාවකටද යන්න අපට නිශ්චිතය. අපට එකගවිය නොහැකිව වුවද ගැටලු පැවතියද මීළගට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව අපට අදහසක් ඇත. අදේශපාලනික යැයි පවසන අරගල කොහේ යනවාද මොනවා කරණවාද යන්න අප නොදන්නා අතර අප ඉබාගාතේ ඇවිද යයි. නරකම දෙයනම් අවසානයේ බොහෝ විට එහි ප්‍රතිඵලය කාගේ හෝ දේශපාලන ව්‍යාපෘතියක් ළග නතරවීමයි.

මේ ආකාරයේ නිශ්චිත දිශානතියක් නොමැති මහජන නැගිටීම් පිළිබද අත්දැකීම් රාශියක් ලෝකය පුරා මෑත ඉතිහාසය තුළ අප අත්වින්දෙමු. කෙසේ නමුත් ඊජිප්තුව ඇතුලු එම සියලු උදාහරණ තුල එක් රටාවක් විය. දූෂිත පාලකයින් නිසා රට අගාධයට ඇදවැටුණු අතර පීඩනය දරාගත නොහැකිවූ ජනයා පාරට බසින අතර පාලක ආණ්ඩුව එළවා ඔවුන් ගෙදර යයි. පාලන බලය තවත් පෙර සිටියා වැනිම පිරිසකට හිමිවන අතර සියල්ල පෙර පරිදිම ඉදිරියට ගලායයි.
ඔබ විවේකී ඉරිදා දවසේ හවස් වරුවේ පාරට බැස එමගින් පමණක් වෙනසක් බලාපොරොත්තුවන්නේනම් අපට කියන්න ඇත්තේ “සමාවෙන්න” කියාය. මෙය ගෝඨාභයගේ ආණ්ඩුව විසින් ගමන වේගවක් කල, කලක පටන් ඔඩුදුවමින් පැවති අර්බුදයක ප්‍රකාශනයක් බව අප වටහා ගත යුතුය. ඒ අනුව දිගින් දිගටම මැදිහත්වන බලපෑම් සහගත මහජන ව්‍යාපාරයක් ගොඩනගනවා හැරෙන්නට හුදු ගෝඨා ගෙදර එළවීමකින් ඔහු ගෙදර එළවීමේ මානසික ආතල් එක හැරෙන්නට ලැබෙන දෙයක් නොමැත. කොහේ සිට හෝ මතුව එන තවත් වීරයෙකුට තවදුරටත් අපව ගළවාගත නොහැකිය යන යථාර්තයට අප පිළිගත යුතුය.

ඔබගේ පාරට බැසීමේ තීරණය අගය කරන අතරම නැවත නැවතත් එය කිසිදු අයුරකින් වෙනස් නොකරන ලෙස ඉල්ලන අතරම ඔබට යෝජනා කරන්නේ මෙම නැගී සිටීම අපගේ හුදු ආවේගය පිට කර ගැනීමකින් ඔබ්බට සැබෑ සමාජ වෙනසක් දක්වා ඔසවා තැබීමට පෙළගැසෙන ලෙසය. හංදියේ කඩෙන් රයිස් එකක් අරන් එන ආකාරයට උදේ ගෙවල් ළග හන්දියට ගොස් සවස සමාජ වෙනසක් රැගෙන ගෙදර යාමට හැකිනම් නියමය නමුත් යථාර්තය වෙනස්ය. අනාගත පරම්පරාවන් හෝ මේ ව්‍යසනයෙන් මුදවා ගනු වස් සියලු බලවේගයන් එක්කල පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට කාලය පැමිණ ඇත.

leave a reply