Breaking News

මහින්දගේ මැරකම්වලට විරුද්ධ වූ ජනතාවට මර්දනය කැඳවයි

පසුගිය 09වනදා මහින්ද රාජපක්ෂගේ මැර කණ්ඩායම් ගෝල්ෆේස් අරගලයට එල්ල කරන ලද මැර ප්‍රහාරයෙන් පසු එයට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ජනතාවට මර්දනය මුදාහැර ඇති බව දක්නට ලැබේ. විවිධ ඇමතිවරුන්ගේ නිවාසවලට ප්‍රහාර එල්ල කරේ යයි චෝදනා කරමින් පුද්ගලයන් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගෙන ඇති නමුත් මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ගෝල්ෆේස් අරගලයේ යෙදී සිටි ජනනතාවට පහරදුන් මැරයන්ගෙන් කිසිවෙක් මේ වනතුරු අත්අඩංගුවට ගෙන නොමැත.

එහිදී එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් මෙහෙයවීම සම්බන්ධයෙන් පළමු කොටම අත්අඩංගුවට ගත යුත්තේ මහින්ද රාජපක්ෂයි. නමුත් ඔහු කිසිදු අපල උපද්‍රවයකින් තොරව ආරක්ෂක අංශවල ආරක්ෂාව යටතේ සිටිනු දක්නට ලැබේ.

ඒ වෙනුවට අද දිනය වනවිට විවිධ ඇමතිවරුන්ගේ දේපළවලට හානිකළ බව සඳහන් කරමින් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් අධිකරණයට ඉදිරිපත් කිරීම් වාර්තා විය.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් සිව්දෙනකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් අද නියෝග කර තිබුණි.

අයුතු ජනරාශ්‍රිය, අනර්ථය, සොරකම් කිරිම යන චෝදනා යටතේ සැකකරුවන්ට අධිකරණයට ඉදිරිපත් කර ඇතිබව වාර්තා වේ.

නිමල් ලංසාගේ වාහනය ගිනි තැබීම සම්බන්ධයෙන් සැක පිට කටුනායක වෙළඳ කලාපයේ සේවය කළ තරුණයෙකු ඊයේ ඇවරිවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අද අධිකරණයට ඉදිරිපත් කළ එම තරුණයාට ඇප ලබාදී නැත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරා යන අයවලුන් ගේ නිවෙස් ගිනිතබා දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (14) සවස අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 05 දෙනකු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක නියම කර ඇත.

ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරුවන් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතය.

leave a reply