මානව ප්‍රේමය වූ කළී ස්ත්‍රී පුරුෂ හෝ සම රිසි යනුවෙන් හෝ නියම් අනියම් යනුවෙන් හෝ වර්ගීකරණය කළ නො හැක්කකි. රාගයෙන් තොර ප්‍රේමයක් ඇතැයි ද නො සිතමි. ප්‍රේමය යනු මෙලොව හිරු එළිය හා මව් කිරි තරමට ම උත්තරීතර ය. ප්‍රේමයනම් මේ ය යි ප්‍රථිමාවක් අඹවා දැක්වී ම ප්‍රේමය පිළිබඳ ව කවියක් ලියන තරම් පහසු නැත. ඒ ප්‍රථිමාව කිනම් මුද්‍රාවකින් ජීවමාන කරන්නේදැයි තීරණය කිරීම ඊටත් වඩා අපහසුය. එහෙත් නිරන්තරයෙන් වෙනස්වන ප්‍රේමයේ නන්විධ ස්වරූපයන් වීසින් ඒ ඒ මොහොතේ මිනිස් සිතක උපද්දවන භාවයන් කවියෙන් මූර්තිමත් කරන්නට දැරූ වෑයමක් ගංගා ශිරෝමනි අලුකීර්ති කිවිඳියගේ “ප්‍රේම මුද්‍රා” කාව්‍ය සංග්‍රහය තුළ අපට හමු විය.
“කිවිඳා නුඹයි නුඹෙ කවියේ අකුරු මමයි
නිරිඳා නුබයි නුඹෙ මාළිගෙ රැජින මමයි
ගජතා නුඹයි නුඹෙ ගජමුතු මම ම තමයි
කිඳුරා නුඹයි මතු සසරෙත් කිඳුරී මමයි”
“ප්‍රේම මුද්‍රා” කාව්‍ය සංග්‍රහය පුරාවට ම ඇත්තේ, ඇය විසින් කරන ලද ප්‍රේමයේ නිල ඇල්ලීම යි. ඇය අල්ලා ගන්නා ප්‍රේම නිල විවිධ මුද්‍රා මගින් රසිකයා වෙත පෙන්වන්නේ පෙන්වන්නේ ප්‍රේමාන්විත බසකිනි. ඒ බසේ බහුතරයක් අක්ෂර සංකේත වූ කළී අප අවට පරිසරයේ ඉර හඳ තරු ගහ කොළ වැල් මල් සමනලයින් හා කුරුලු කිරිල්ලියන් ය.
“අසිරිමත් ඇරඹුමක්” ලෙස ඈ හඳුන්වන පළමු කවියේ පළමු කොටස ප්‍රේමයේ “දොරට වැඩුමයි”
හිරු සිනාසී ඇවිත් ගෙපැලට
මලුත් ඉස්සී බලනවා
වෙළී සියොලඟ හාදු තවරා
සුළඟ එහෙ මෙහෙ දුවනවා
හිරු පායා ඒම මල් පිපීම සුළං හැමීම හැමදාම සිදුවන ඉතා සාමාන්‍ය සිද්ධි වූ නමුත් ඇය එය දකින්නේ හදවත පිරීතිරී ගිය අලුත් බලාපොරොත්තුවකින් ය. ගෙපැලට හිරු සිනාසෙමින් පැමිණීම නැවුම් බලාපොරොත්තු හඟවන සොඳුරු කාව්‍යෝක්තිය කි. ඒ තුළ සැඟවුන කුතුහළය “මලුත් ඉස්සි බලනවා”යන යෙදුමෙන් තිව්ර කර යි.
අත් ඇරුණු නමුත් අත් හැර යාමට නො හැකි වී ම, ප්‍රේමයේ හුදකලා නිලය යි. දිගු සොඳුරු රාත්‍රි ය කිවිඳිය සමඟ හුදකලාව විඳගන්නා ආකාර ය “පෙමාතුර වීමි”නම් කවියේ සඟවා ඇත.
“අහස් විමානෙන් හෙමිහිට බැහැලා
පෝය සඳ ඇවිත් මිදුලට
කිසිදාක නොඇසූ රහස් කිය කිය
ඇවිදිනවා මා එක්ක හරි ලතාවට”
මෙසේ පෝය සඳ සමඟ සක්මන් භාවනාවක යෙදෙන කිවිඳියට හමුවන්නේ තමා මෙන් ම පෙමාතුර වූ පිරිස් ය.
නැවතිලා සේපාලිකා ගස දෙසට නැමිගෙන
සද දොඩනවා සුවඳ මල් එක්ක
යළිත් මා වෙත ඇවිත් සෝ සුසුම් හෙල හෙල
කියනවා රෑ සෙපාලික මල් අඬන බව
සඳේ රැස් නාන්නට පාඩුවේ ඉගිළෙන
තනිකඩ කදෝ කිමි මිතුරෙකුත් නවතගෙන
සඳ අහනවා දුක සැප ඉතිං කොහොමද
තාමත් හෙළු කඳුළලි වියළිලා නොමැතිද
හ්ම් කියාවත් හඬක් නොමැතිව
බලා ගත් අත බලාගෙන හූල්ලන
බකමූණු හිත නිවෙන්නට හිසත් පිරිමැද
සඳ හඬනවා හොරෙන් මා වෙතට හැරීගෙන
ප්‍රේමය අහිමි වීමේ දී තෙරපෙන හද වේදනා නිලය “ළයේ පැසවන ප්‍රේම මුද්‍රා” යන නමින් අපට හසු වෙයි. එහි පළමු පද කොටස හා මැදින් ගත් එක් කොටසක් පමණක් දක්වමි
“තිසා වැව් තාවුල්ල අසබඬ
කිසිවෙකුත් නොදකින ඉවුරු මානෙක
විරහීව වැළපෙන කිරිල්ලක සොයා
මම ගියා ඉරත් වැවට ම බහින යාමෙක”
“නාඹර ම වැව් දියට පීදුණු
මල් මල් කෙමියකත් දුක ම තැවරුණ
ප්‍රෙමයත් මහ ශාපයක් කිය කිය
පිරිමදියි ඈ රිදුණු අත්තටු.”
“අඩක් හිස් වුණු සිත අඬන හඬ” කවිය ද ගේහසිත ප්‍රේමයේ සියුම් දෙදරීමක් නිසා තෙරෙපන ලද නිලයකි.
සරි කරනු වස් දිවිය තුන් කල
වෙහෙස වී නුඹ එන විට දී හවසට
ගෙමිදුලෙහි පිපි නාරිලතාවක්
නොමැති සඳ මහ දුකක් දැනෙනව ද
ගෙමිදුලෙහි පිපි නාරිලතාවක් යන යෙදුම නව අරුත් මාන උපද්දව යි.
ගංගා ශිරෝමනි අලුකීර්ති කිවිඳියගේ “ප්‍රේම මුද්‍රා” කාව්‍ය සංග්‍රහය තුළ රසිකයාට ප්‍රේම භාවයන් විඳින්නට විවෘත කරදෙන කවුළු තුළින් පරිසරයේ සුන්දරත්වය වැළඳ ගැනීමට ලබා දෙන ඉඩ හසර විසල් ය. ඇය හඳුන්වාදෙන නැවුම් කාව්‍යෝක්තී කාලයකට පසුව අත් පත් වූ පෙම් හසුනක් මෙන් රසවත් ය, සොඳුරු ය, ඒ තරම් ම ප්‍රේමණීය ය. කාව්‍ය නිර්මාණ හතළිස් හතක් අතරින් සමහර කවියක දෙකක ජනප්‍රිය ගී පද රචනා හෙවනැළි අවදිවනු පෙනෙන්නට තිබෙන නමුත් ඒ කවි ද කාව්‍ය නිර්මාණයන් ලෙස ස්වාධීන ව සිට ගැනීමේ ශක්තිය දරා සිටි යි.
කවිය නම් නිර්වචනය කළ නො හැකි මානව හැකියාව උපයෝගි කරගනිමින්, ප්‍රේමය නම් නිර්වචනය කළ නො හැකි මානව අවශ්‍යතාව විස්තර කරන්නට මානවිකාවක් විසින් දැරූ සෞන්දර්‍යාත්මක ව්‍යයාමයක මුල් උණුසුම් පියවර ප්‍රේම මුද්‍රා කාව්‍ය සංග්‍රහය තුළ අපට හමු වෙයි.
ගංගා ශිරෝමනි අලුකීර්ති කිවිඳියට සිංහල කාව්‍ය සමාජය තුළ දිගු ගමනකට ආසිරි පතමු.