Breaking News

නඩු නිමිත්තක් නැති විශාල පිරිසක් බන්ධනාගාරයේ – නාමල් රාජපක්ෂට හදිසියේම දේශපාලන සිරකරුවන් මතක් වෙයි

ඇමති නාමල් රාජපක්ෂට හදිසියේම දේශපාලන සිරකරුන් ගැන සිහිවී තිබේ. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ චෝදනාවක් නැතිව වසර ගණනාවක සිට බන්ධනාගාර ගතව සිටින එල්ටීටීඊ සැකකරුවන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙසයි.

නඩු නිමිත්තක් හෝ නැති විශාල පිරිසක් බන්ධනාගාරයේ සිටින බව කී නාමල් රාජපක්ෂ මහතා මේ පිරිසේ නඩු ගොනු දෙස සානුකම්පිතව බලා යම් ක්‍රමවේදයකින් ඔවුන්ට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කර ඇත. මෙම හදිසි අනුකම්පාව ගැන අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව විසින් ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරමින් GSP+ සහනය ඉවත්කිරීමට සූදානම් වීම නිසා නාමල් මෙලෙස දේශපාලන සිරකරුවන් ගැන සිහි වී ඇති බවයි.
ඇමැති නාමල් රාජපක්ෂ – ‘අපේ රටේ අධිකරණ පද්ධතිය තුළ සහ බන්ධනාගාර තුළ විශාල තරුණ පිරිසක් ඉන්නවා යම් යම් ප්‍රමාද විම් නිසා ඇප ලබාගැනීමට නොහැකි වූත් සහ තම නඩු කටයුතු ඉවර කරගන්න නොහැකි වූ අය. වසර ගණනාවක සිට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යැයි සැකපිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න විශාල පිරිසක් ඒ අතර ඉන්නවා. මේ රටේ බන්ධනාගාරගත ජනතාව විඳින දුක ප්‍රායෝගික අත්දැකීම ඔබතුමාලා මට ලබා දුන්නා.
බන්ධනාගාර ගත වෙලා ඉන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා නඩු නිමිත්තක්වත් නැති අය. ඒ අතර විශේෂයෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යැයි සැකපිට විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නඩු විභාගවලින් අනතුරුව දඬුවම් විදින ප්‍රමාණය 35යි. හැබැයි මේ 35 දෙනාගෙන් බහුතරයක් තමන්ට තියෙන දඬුවමට වඩා වැඩි කාල සීමාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉදලා තියෙනවා. ඒ කියන්නේ තමන්ට ලැබිලා තියෙන නඩු තීන්දුවේ දඬුවමට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉදලා තියෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිමින් දැනට මහාධිකරණවල චෝදනා ගොනුකර තියෙන නඩු 38ක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 20කට වැඩි කාලයක් මේ නඩු අහනවා. තවමත් රක්ෂිත බන්ධනාගාරගත කරලා තමයි තවමත් මේ නඩු අහන්නේ. ඒ වගේම කිසිම නඩුවක් නොදාපු 13 දෙනකුත් ඉන්නවා. ඒ අතර පැමිණිලි කටයුතු නැත්නම් විභාග කටයුතු අවසන් කරලා අධි චෝදනා දාන්නේ නැතිව 116 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ විශාල පිරිසක්. තරුණ ජීවිත තමන්ගේ නොයෙක් ඉතිහාසයන් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන්. සමහරු දැනුම්වත්ව වෙන්න පුළුවන්. හැබැයි වසර ගණනාවක් මේ අය රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. එක්කෝ මේ අයට සාධාරණව නඩු දාන්න ඕනේ. නඩු අහලා දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අධි චෝදනා දාන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ 12000ට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. ඒ අතර 3500කට සිවිල් ආරක්ෂක බලකායේ රැකියා දුන්නා. රජයේ රැකියා. ඒ සටනේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ අවසාන කාලයේ සටන් බිමේ හිටිය අය. හැබැයි මේ තියෙන බොහෝ පිරිස් අපට බන්ධනාගාරයේදී හම්බුණාම ඒ අය එක්ක කතා කළාම සමහරුන්ගේ බන්ධනාගාරගත කාලසීමාව මගේ වයසටත් වඩා වැඩී. මේක තමයි ඇත්ත කතාව. හැබැයි අද වෙනකම් චෝදනා ගොනු කරගන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒ හින්දා මම කාරුණිකව ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ අයට යම් සාධාරණයක් වෙන්න ඕන.. එක්කෝ මේ අයගේ නඩු අහලා අවසන් කරන්න ඕන. එහෙමත් නැත්නම් මේ අය පුනරුත්ථාපනය කරන්න ඕන. දොලොස් දාහක් පුනරුත්ථාපනය කරන්න පුළුවන්නම්.. මම පොඩි කතාවක් කරන්නම්.. බන්ධනාගාරගත පුද්ගලයකුගේ යම් සිදුවීමක්.. ලංකාවේ ප්‍රභූ ඝාතනයකට සැකපිට ගෙනල්ලා ඔහු වැරදිකාරයා වෙලා තිබෙනවා. ඔහු කරපු වැරැද්ද තමයි ගහක අත්තක් කපපු එක. ගහේ අත්ත කපපු කෙනා වැරදිකාරයා වෙලා හිරේ ඉන්නවා. ප්‍රධාන සැකකාරයා සමාව අරං ගෙදර ගිහිල්ලා තියනවා. ගහේ අත්ත කපාපු කෙනා ඇතුළේ.. වැඩේ කරපු කෙනා එළියේ… මේ නිසා මම ගෞරවයෙන් ඉල්ලන්නේ ගරු අධිකරණ අමාත්‍යතුමා ඉන්නවා… 12500ක් පුනරුත්ථාපනය කරලා 3500ක් සිවිල් ආරක්ෂක බලකායට ගන්න පුළුවන්නම් මේ ඉන්න අයගේ නඩු ගොනු දිහා සානුකම්පිතව බලන්න. හැබැයි දාලා තියෙන චෝදනාවලට අනුකූලව අධිකරණයට ඇප දෙන්න බෑ. එහෙනම් නීතිපතිවරයාට යන්න ඕන. නීතිපතිවරයාගේ මාර්ගයෙන් හරි වෙනත් මාර්ගයකින් හරි පුනරුත්ථාපනය කරන ක්‍රමවේදයකට හරි ගරු අමාත්‍යතුමනි මේ අයට සාධාරණය ඉටු කරලා දෙන්න කියන කාරුණික ඉල්ලීම මම කරනවා.’’

leave a reply