Breaking News

ජිනීවා ගිය මනුෂගෙන් මානව හිමිකම් කවුන්සිලයට ප‍්‍රකාශයක්

මේ වන විට ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන ඉලක්ක කරගනිමින් ආණ්ඩුවෙන් විශාල බලපෑම් එල්ලවෙමින් තිබෙන බවත්, රටේ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය අපේක්ෂා කරන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් සදහන් කළේය.

එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව සදහන් කළ අතර ඔහු ඉදිරිපත් කළ සම්පූර්ණ ප‍්‍රකාශය මෙසේය.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන තත්වය නරක අතට පත්වී තිබේ. නීතියේ ආධිපත්‍ය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බලපෑම් එල්ලවී ඇත.

සාමකාමී විරෝධතාවල යෙදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, රදවාගෙන ඔවුන්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී. කොවිඩ් 19 සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ උල්ලංඝනය කර බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා නමුත් ආණ්ඩුව සහාය ලබාදෙන, ආණ්ඩුවට පක්ෂපාතී විරෝධතා සහ රැුස්වීම්වලට මෙම තත්වයන් අදාලවූයේ නැත. ආණ්ඩුවේ දූෂණ – වංචා සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන් ඉස්මතු කිරීමට සයිබර් අවකාශය භාවිතා කරන ක‍්‍රියාකාරීන්, ‘‘ව්‍යාජ පුවත් පළ කිරීම’’ යන චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගනිමින් සිටී. අන්තර්ජාලය පාලනය කිරීම සදහා රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ.

මේ වන විට ජනමාධ්‍යයට ද දරුණු බලපෑම් එල්ලවෙමින් තිබේ. ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ වාර්තාවීම සීමාවී ඇත්තේ මේ නිසාය.

සිවිල් සමාජය කෙරෙහිද දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබෙන අතර තමන්ට එල්ලවන පීඩනය හමුවේ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් අදහස් ප‍්‍රකාශ කිරීම වෙනුවට නිහඩව සිටීම තෝරා ගෙන ඇත.

විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අදහස් පළ කරමින් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයන් විවේචනය කිරීම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් නොයිවසන තත්වයකට පත්ව ඇත. පාර්ලිමේන්තුවේදී පවා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩුව විවේචනය කිරීමේ අවස්ථාවක් නොමැති අතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පසුගිය වසරේ දෙසැම්බර් 4 වැනිදා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් එක්ව මා හට පහරදීමට උත්සාස කළේද ආණ්ඩුව විවේචනය කිරීම නිසාය.

අධිකරණය, රාජ්‍ය සේවය, ස්වාධීන කොමිෂන් සභා, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය වැනි ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය හෑල්ලූවට ලක් කරමින් විසිවැනි සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කළ වෙනස්කම්වල ප්‍රතිවිපාක දැන් පෙනෙන්නට තිබේ. පසුගිය රජය යටතේ දූෂිත දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගනිමින් සිටී. ආණ්ඩුවේ අත්තනෝමතික ක‍්‍රියා කලාපයන් සදහා නීතිපති දෙපාර්තමේන්තුවේද සහාය හිමිවීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.

මෙම තත්වය හමුවේ උද්දච්ච, මානව හිමිකම් කෙරෙහි කිසිදු ගරුත්වයක් නොමැති ආණ්ඩුවට එරෙහිව නැගී සිටින නිර්භීත පුරවැසියන්ට මාගේ ගරුත්වය පුද කරන අතරම රටේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි.

leave a reply