Breaking News

‘කුලාක්’ විකල්ප එපා

අරුණි සමරකෝන්

ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාල වෘත්තීයවේදියෙකු වන මගේ මිතුරෙකු , මා සමඟ වූ දේශපාලන සංවාදයේ දී පැවසුවේ , “දැන් විකල්ප එපා. එක මිනිස්සුන්ට ඇති වෙලා. 2015 දී විකල්පයක් ගෙන්වා . එත් පලක් වුනේ නැහැ. දැන් විකල්ප නොව අප වෙනත් මාර්ගයක් සෙවිය යුතුයි”. එය මගේ ස්ත්‍රී විඤ්ඤාණය විකල්ප දේශපාලනය පිලිබඳ තව දුරටත් හදුනාගැනීම වෙනුවෙන් වූ උත්තේජනයක් විය. නිදහසින් පසු ශ්‍රී ලංකාව තුල විකල්ප දේශපාලනයක් පැවතුනි ද ? එසේම එම විකල්ප වෙනුවෙන් ජන අවධානය යොමු වුයේද? මෙම ලිපිය තුළ දිග හැරෙනුයේ පවතින විකල්ප නමැති සංකල්පයේ ජනරංජන අඛයානය මෙන්ම අවශ්‍ය වියයුතු විකල්පය පිලිබඳ මගේ කතාව කියා සිටීම වෙනුවෙනි.

නිදසින් පසු ශ්‍රී ලංකාව තුල ගොඩ නැගී දේශපාලනය ලිබරල් කේන්ද්‍රීය විය. එය ඩී . එස් . සේනානායක රජයේ සිට- එස්. ඩබ්ලිව් . ආර් . ඩි බණ්ඩාරනායක ගේ රජයන් වෙනුවෙන් බල හුවමාරුවේදී  හෝ කිසිදු වෙනසක් නොවූ බව මගේ තර්කය වේ. මෙම රජයන් විසින් ගෙන එනු ලබන ප්‍රතිපත්ති තියුණු නිරීක්ෂණයකින් අනතුරුව මෙම මතය මම තවදුරටත් ස්ථිර කරමි. 1948 අංක 18 දරණ  පුරවැසි පනත – සේනානායක ආණ්ඩුව විසින් සම්මත කරනවිට , ශ්‍රී ලංකා  දෙමළ ධනේශ්වරයන් ද එයට අනුබල දුනි. එම පනත හේතුවෙන් වතු කම්කරු ප්‍රජාවගේ ජන්ද අයිතිය මෙන්ම පුරවැසි අයිතිය ද අහිමි විය (https://tamilnation.org/indictment/indict001.htm). එම ප්‍රජාව 1956 අංක 33 දරණ භාෂා පනත බණ්ඩාරනායක විසින් සම්මත කරන විට ඇතිවන වාර්ගික කෝලාහල හේතුවෙන් උපන් බිම් සහ ජිවිත ද උපයාගත් සියලු දේම අහිමි කරවන විටද සියලුම ධනේශ්වර නියෝජිතයන් නිහඬ පොලිස්කාර චරිතය රඟ දැක්විය.  එසේම 1971 සිට ක්‍රියාත්මක වූ  අධ්‍යාපන ප්‍රමිතිකරණ ප්‍රතිපත්ති මඟින් නැවත  සියලුම කම්කරු ජන සමාජයට විශේෂයෙන් ම කිසිදු ප්‍රාග්ධනයක් හිමි නොවූ ශ්‍රමය මත පමණක් යැපෙන කම්කරු ප්‍රජාව වෙත අධ්‍යාපනය හරහා සජීවීකරණය වී මුලික මිනිස් අවශ්‍යතා සපුරාගැනීමට හැකි මෙන්ම බුද්ධි කුලකයට ඇතුලත් විය හැකි අවස්තාව අහිමි කරන විට ද මෙම ලිබරල් ධනේශ්වර නියෝජිතයන් දේශපාලන උදාසීනත්වයකින් ක්‍රියා කරන ලද බව පෙනී යයි.

කොල්වින් ආර් ද සිල්වා  සහ එන්. එම්. පෙරේරා වැනි  කිහිපයක් වූ සාමාජවාදී දේශපාලන චාරිත , භාෂා ප්‍රතිපත්තිය විරුද්ධ ට  වූ නමුත් සමාජවාදී පදනම මත ජාතිකත්වය වෙත ගමන්කළ යුතුය යෝජනා කරන බණ්ඩාරනායක ගේ ආණ්ඩුවේ බහුතරය භාෂා පනත සමඟ එකඟ විය. එහිදී අගැමති බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී.චෙල්වනායගම් ගේ ප්‍රාදේශීය බලය බෙදීමක් වෙනුවෙන් වූ ආයතන 1957 යෝජනාවලියට එදිරිව සුළු -ධනේශ්වර කොටස්  වූ සඟ,  ගුරු ,වේද  සමඟ මුලිකවම විවිධ තලයේ ප්‍රචණ්ඩතා සංවිධානය කරනු ලබුමේදී , එක්සත් ජාතික පක්ෂය සහ එදා බත්-දුන් පියා වූ ඩඩ්ලි ගේ භූමිකා ව අමතක කල නොහැකිය. එම ජවනිකාවම නැවත ඩඩ්ලි -චෙල්වා 1967 දී නැවත බලය බෙදීම වෙනුවෙන් එකඟතාවයක් වෙත පැමිණි මට සුදානම් වන විට “ඩඩ්ලි ගේ බඩේ -මසල වඩේ ” ලෙසට සුළු ධනේශ්වරයන් පෙළ ගැස්වීමට කටයුතු කරනු ලැබුවේ ද ලිබරල්-ජාතිකවාදී -පිරිසය. මේ අවස්ථා සියල්ල පැහැදිලි කරනු යේ , පැවතියේ විකල්ප නොව ලිබරල් ආණ්ඩුකරණය විටක ජාතිකවාදීබවින්  ද තවත් විටක ලිබරල් ධනේශ්වරවාදී බවින් ද දේශපාලනය වෙත බලය ලබා ගැනීම වෙනුවෙන් මතු වූ බවය. එසේ තර්ක කරමින් මා පවසන්නේ, පැවතියේ ලිබරල් -දක්ෂිනාංශික ආණ්ඩු මිස වාමාංශික විකල්ප නොවන බවය.

මෙම දේශපාලන පතරෝම , නාරායන් ස්වාමි ගේ Tigers of Lanka : From Boys to Guerrillas (1995) දී විස්තර වුයේ, X දේශපාලන පක්ෂය  විසින් බලය බෙදීම වෙනුවෙන් ගෙනෙන යෝජනාව වෙත Y දේශපාලන පක්ෂය විසින් විරුද්ධ වන අතර Y පක්ෂය බලයේ සිට ගෙනෙන යෝජානාවට X පක්ෂය විසින් විරුද්ධ වන බවය. මෙය මා විසින් කියවා ගනු ලබන්නේ, X හෝ Y දේශපාලන පක්ෂ නියෝජනයේ පදනම සිංහල-බෞද්ධ බහුතරය වන අතර එක පක්ෂ විසින් ලිබරල් ආණ්ඩුකරන ආකෘතිය තුල කම්කරු ශ්‍රමය සුරාකෑම වෙනුවෙන් විවිධ අවස්ථා වල දී විවිධ ලිබරල් යෝජනා ගෙන එනු ලබන අතර ඒ හරහා වැඩකරන පන්තියේ සංවිධානය වීමේ ශක්තිය විනාශ කර තිබෙන බවය. එහිදී එම පංතිය තම වාර්ගික අනෙකා වෙත අවි දිගු කරමින් පංති විඥානයෙන් තොරව ධනේශ්වර අවශ්‍යතා ඉටු කරන උපකරණයක් වී තිබෙන බවය. එය සාධනය කිරීමට නාරයන් ස්වාමින් ආදී වූ ගුරුකුල විසින් එය පක්ෂ දේශපාලන අර්බුධයක් ලෙස අර්ථකථනය කල ද එම සැබවින්ම ලිබරල් ධනේශ්වරය පවත්වාගෙන යාමේ එක් ක්‍රියාවලියක් ලෙස මම හදුන්වමි. මන්දයත් මෙම දේශපාලන ක්‍රියාවලිය හේතුවෙන් වැඩකරන පංතියේ විශේෂයෙන් ම තම ශ්‍රමය මත පමණක් යැපෙන ප්‍රජාව ගේ පීඩනය ඉවත්කිරීම වෙනුවෙන් කිසිදු ක්‍රියාවක් සිදු නොවී තිබෙන බැවිනි.

එසේම එම වැඩකරන පංතිය තුල වාර්ගික අනෙකා භීතිකාව නිර්මාණය කරමින් ශ්‍රමය සුරා කෑමටත්, අන්තනෝමතික ලෙස ජිවන වියදම ඉහලට ගෙන යමින්, සියලු භාණ්ඩ මත බදු පනවා පාලක කොට්ටාශයේ ජීවිතය පහසුකිරිමටත් හැකි වන විට එම තත්වය ප්‍රශ්න කිරීම වෙනුවට තම පංතියේම වාර්ගික අනෙකාට එදිරි වී කටයුතුකරන වැඩකරන පංතියක් පවත්වා ගැනීමට ද හැකි වන්නේ මෙම ලිබරල් ධනේශ්වර ප්‍රතිපත්ති හේතුවෙනි . මගේ යෝජනාව නම්, විකල්පය සෑදිය යුතු පදනම නම් මෙම වාර්ගිකව බෙදී වෙන්ව තිබෙන පංතිය ඒකරාශී කිරීමෙන් පමණි. එහෙත් ඒ සඳහා සුදානමක් පවතීද ? එසේම යම් ජනවාර්ගික පංතියක් , ඔවුන්ගේ දේශපාලන ස්වයත්ත්වාව වෙන්වෙන් බෙදී වෙන්වී යාමට අවැසි බව පවසන්නේ නම්, ඒ වෙනුවෙන් සහයෝගය ලබාදීම එම විකල්පයේ වගකීමක් වේ. මේ මොහොතේ පවතින්නේ, “එන්න අපි එක රටක් සිංහල -බෞද්ධ කැමැත්ත ට අනුව ඉමු යන්න” මිස ජනවාර්ගික පංතියේ එකඟත්වය නොවේ. එම එකඟත්වය සාධාරණීකරණය කිරීමට භෞමික අඛණ්ඩතාව යන නිමිත්ත ලිබරල් ධනේශ්වරයන් විසින් සපයා ඇත. මගේ විමසීම නම්, අදටත් නිශ්චිත නොවන මරණ සහ අතුරුදහන් කිරීම් හරහා  රැකගත් භෞමික අඛණ්ඩතාව චීනය, ඉන්දියාව , ඇමරිකානු එක්සත් ජනපදය වෙත වෙන්දේසි සහිතව විකිණීම සිදුවන විට , තම ජනවාර්ගික නිදහස වෙනුවෙන් බෙදී වෙන්ව යාම -වෙනම රාජ්‍යක් “ත්‍රස්තවාදී ” ක්‍රියාවක් ලෙස සලකනුයේ කෙසේද ?

පංතිය ඒකරාශී කිරීමේ සුදානම නම් මගේ පෙර පරිච්චේද ගැටලුව වෙත නැවත යොමු වන විට මම කැමතියි  වර්තමාන සාකච්චාවේ පවතින සිවිල් සේවා හමුදාකරණය වෙත අවධානය යොමුකරමින්. එයට මම නිදසුක් ලෙස එකතරා සමාජ මාධ්‍ය ගිණුමක් විසින් තබා තිබු සටහනක් උපයෝගී කර ගනිමි. එම සටහන සම්පාදනය වන්නේ , “ගුරු වැටුප් අර්බුධය වෙත විසදුමක් ලෙස හමුදාව යොදා ගනිමු ” යන ප්‍රකාශයන වෙත ප්‍රතිචාරයක් ලෙසිනි. එහිදී ප්‍රතිචාරකයා පවසනුයේ , “ප්‍රභාකරන් ඇවිත් ඔළුවට තිබ්බානම් තමා වැඩේ… // රණවිරුවන් මේකට ගාව ගන්න එපා// මේක දේශපාලන ප්‍රශ්නයක් ///”  එසේ පවසන ප්‍රතිචාරකයා ගේ සාමාජ මනෝරේඛයේ සඳහන් වන්නේ SAY NO TO KOTELAWALA ACT  ලෙසය. මගේ පිළිතුර සැපීමේදී යොමුකරන සරළම ප්‍රති -ප්‍රශ්නය නම්, කොතලාවල පනත සමඟ බැදෙන හමුදාකරණය ට විරුද්ධ වන ප්‍රජාව රණවිරුකරනයට පක්ෂ වන්නේ කෙසේද ?

රණවිරුකරණය ට පක්ෂ වේ නම්, හමුදාව විසින් සිවිල් ජන ජීවිතය , සිවිල් අවකාශ ආක්‍රමණය කිරීම ට විරුද්ධ වන්නේ කුමන පදනමකින්ද ? මෙයම මම අසමි, සිංහල- බෞද්ධ සමාජය  තෝරාගත් හිටපු කොටි සාමාජික සාමාජිකාවන් කිහිපයක් පමණක් පිළිගන්නා විට ප්‍රභාකරන් ද ඇතුළු අනෙකුත් විමුක්ති කොටි සාමාජිකයන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වන්නේ කුමන සංස්ථාපනයක සිටද ? එවිට මම නැවත අවධාරණය කරනුයේ, ශ්‍රී ලංකාවේ විකල්ප දේශපාලනය වාමාංශික වීම තවමත් බොහොදුර බවත් පවතින ලිබරල් ආකෘතිය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගෙන එනු ලැබීම විකල්ප ලෙස හදුන්වන බවත්ය.

එසේම මේ මොහොතේ දී, හමුදා ව විසින් නව බලකායක් හදුන්වා දෙමින් එය කිලිනොච්චි ඉරණමඩු සහ උතුරේ ප්‍රදේශ හි ස්ථාන ගත කරමින් සිටි (https://www.youtube.com/watch?v=_IfS6ufjehU&t=1583s). එම කඛණ්ඩය අනෙක්ෂිත තත්වයන් වෙත ඉදිපත් වීමටත්, හදිසි තත්වයන් හිදී ක්‍රියාත්මක වීමටත් හැකියාව ඇති විශේෂ පුහුණුවක් ලද කණඩායමක් ලෙස මෙම හමුදා කාණ්ඩය නම් කරන ලද අතර මාරාන්තික වසංගතයක් හේතුවෙන් දෛනිකව ජනයා මිය යමින් , අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සහ ජිවින වියදම ඉහල යන පසුබිමික හමුදාව විසින් නව බලකා පිහිටුවීම ප්‍රශ්න කරන දේශපාලනයක් ශ්‍රී ලංකාවේ පවතීද ?  හමුදාකරණය ට විරුද්ධ කිසිදු කණ්ඩායමක් මෙම හමුදා ව්‍යප්ත වීම් වෙත  විරුද්ධ නොවන්නේ ඇයි ? අනෙක් කරුණ නම්, ඉන්දියාව සමඟ හමුදා මෙහෙයුම් වෙත ප්‍රවේශ වීම ඉදිරියේ නිශ්ශබ්දවන නමුත් පළාත් සභා වෙත ඉන්දීය මැදිහත් වීම් වෙනුවෙන් නිරන්තර අවධානය යොමු වන්නේ මන්ද ? එසේම, උතුර සහ නැගෙනහිර ශ්‍රී ලංකා ආණ්ඩු විසින් යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබුවද කිසිදු නිවාස ව්‍යාපෘතියක් යුද්ධයේ වින්දිතයන් වෙත ලබා දී නොමැත. යටිතල සංවර්ධනය හරහා ගෝලීය ප්‍රාග්ධනය මෙරටට ගෙන ඒමට උත්සුක වුවද එම ප්‍රග්ධනයේ ශ්‍රමිකයන් ගේ අවශ්‍යතා සැපයීමට මෙම ලිබරල් මහා මොළකරුවන් කිසිවෙකු අවධානය යොමු කර නොමැත. එම පදනමින් ම පැවතියේ ලිබරල්  ධනේශ්වර ක්‍රමය වෙත අන්ඩ යෝජනා කරන කණ්ඩායම් මිස වාමාංශික විකල්පය නොවන බව මම තරයේම ප්‍රකාශ කරමි.

ලිපිය මම මෙසේ අවසන් කරමි. ශ්‍රී ලංකාවේ පවතින්නේ ‘කුලාක්’ විකල්පයන් ය. කුලාක්වරු යනු රුසියාවේ අක්කර 08ක් පමණ ඉඩම හිමි ගොවියන් පිරිසක් වේ. විප්ලපය අවස්ථාවේ දී ඔවුන් ධනේශ්වර නියෝජනයද යන්න උභ්තොකොටිකයක් වුවද මාක්ස්-ලෙනින්වාදීන් ට අනුව කුලාක් වරු යනු පංති පසමිතුරු කණ්ඩායමක් ලෙස නිර්වචනය විය. Vladimir Lenin කුලාක්වරු හදුන්වා දෙනු ලැබුවේ ජනතා රුධිරය, ශ්‍රමය සුරාගනු ලබන ලාභ ලබන කණ්ඩයක් ලෙසය.  ඔවුන්ට විරුද්ධ අරගලය හරහා  දර්ද්‍රත්වයෙන් පෙළෙන ගොවින්, ගොවිපල කම්කරුවන් සහ නිර්ධනපංතිය  විමුකිතිය ලබාගත යුතුය යන්න ඔහු විශ්වාස කරන ලදී (වැඩිදුර කියවීම : David Rubinstein ගේ Culture, Structure and Agency: Toward a Truly Multidimensional Sociology, 2001  ). මගේ පුරෝකථනය නම්,  නන්දසේන රාජපක්ෂ ආණ්ඩුවේ අසමත් වීම සමඟ නැවත බලය කුලාක් වරු වෙත හුවමාරුවීමට හැකිය. එසේම එම කුලාක් වරු, කුලාක් බුද්ධි ප්‍රජාව විසින් අනුමත වූ  ලිබරල් ධනේශ්වර ක්‍රමය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ  යෝජනා කරනු ඇති අතර එය ක්‍රියාත්මක කිරීම මගින් රාජපක්ෂ පාලනයක් වෙත පදනම සැකසීමක් සිදුවනු ඇත. විකල්පයක් ලෙස වාමාංශික බලවේග මේ මොහොතේ සිදුකල යුතු වන්නේ, මෙම ප්‍රතිසංස්කරණ වෙත  ගොදුරු වීම පිලිබඳ වැඩකරන පංතිය දැනුම්වත් කිරීම සහ එයට එදිරිව පංති සවිඥානකත්වය සහිතව සංවිධානය වීමේ අවකාශය සුදානම් කිරීමය.  එහිදී වාමාංශික බලවේග ජාතිකත්වයෙන් මිදීම ද , සියලු සමාජ ගොඩනැගීම් ප්‍රශ්න කරමින් ඒවා හරහා ගොස්  පංතිය  සමඟ පමණක්  සම්බන්ද වීම අත්‍යවශ්‍ය බව මගේ කතාව වේ.

leave a reply