ජනාධිපති බලතල යටතේ පෙබරවාරි 4 නිදහස් දින දවසේ මරණ දණ්ඩනය නියම නොවූ සහ සිරගත කාලය තුළ සැලකිය යුතු කාලයක් විනයානුකූලව හොඳින් කාලය ගතකළ සිරකරුවන් නිදහස් කිරීම සාමාන්‍ය දෙයක්. එසේ වුවත් හැත්තෑ තුන් වන නිදහස් උළෙල වෙනුවෙන් සිරකරුවන්ට නිදහස ලබාදීමේ දී මරණ දණ්ඩනය හිමි වෙලා තිබුණු දුමින්ද සිල්වාට පවා ගෝඨාභය රාජපක්ෂ අභය දානය දී නිදහස් කිරීමට කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි එළියට ආවට පසු අමාත්‍යාංශ ලේකම් ධුරයක් ද ඔහුට බාර දුන්නා. ඉතින් ඒ අනුව බොහෝ දෙනෙක් හිතාගෙන හිටපු පෙබරවාරි 4 සුළු වැරදි කරපු හිරකරුවන්ට පමණයි නිදහස දෙන්නේ කියන මිථ්‍යා විශ්වාසය කඩාබිඳ ඉහිර වන්න තරම් එඩිතර පියවරක් අරගෙන තමන්ගේ බලතල පාවිච්චි කරලා තමන්ට හිතවත් දුමින්දව එළියට දමන්න ගෝඨාභය රාජපක්ෂ පෙරමුණ ගත්තා. ගෝඨාභයගේ මේ ක්‍රියා නිසා ඉන්පසුව හුගක් දෙනෙක් කල්පනා කරේ 74 වන ජාතික නිදහස් දින දවසේ දී මරණ දණ්ඩනය හිමි වෙලා නැති රංජන් රාමනායක ජනාධිපති සමාවක් ලැබෙයි කියලයි.
ඒ විශ්වාසය මත සමගි ජන බලවේගය එළියට එන රංජන්ව පිළිගන්නත් , එළියට ආ පසුව හරින්ට ඉල්ලා අස්වෙන්න කියා පාර්ලිමේන්තුවට අරගෙන යන්නටත් සැලසුම් සකසා තිබුණා. ඒවා සමගි ජනබලවේගයේ සිහින සැකසුම් ද එසේත් නැත්නම් මේ අය කොහොමත් අපට පේන්න පස මිතුරන් සේ හිටියට තිරයෙන් පිටුපස ඩීල් දාන නිසා ආණ්ඩුව සමග ගහපු ඩීල් එක ප්‍රතිඵලය ලෙස රංජන්ව එළියට දාන්න තීන්දු තීරණ අරගෙන හිටිය ද කියා අපි නොදන්න මුත් කුමන හෝ හේතුවක් මත රන්ජන් නිදහස් කිරීම සිදුකර නැහැ. ඉතින් අපිත් දන්න පරිදි විධායක ජනාධිපති බලතල වලට ඕනෑම මොහොතක තීන්දු ගන්නත් පුළුවන්. තීන්දු වෙනස් කරන්නත් පුළුවන්. එනිසා අවසාන මොහොතේ ගෝඨාභය හිතුවද දන්නෑ එළියට දැමීමෙන් කුමන හෝ දේශපාලන අවාසියක් සිදු වේවි කියලා. ඒ නිසා එලියට දැමීම තවදුරටත් කල් දමනවා කියලා ගෝඨාභය හිතන්න ඇති. ඒ මොනව උනත් රටේ ජනතාව යම් බලාපොරොත්තුවක් තියාගෙන හිටියා රන්ජන් එලියට එයි කියලා.
වර්තමාන ලංකාවේ නීතිය හා සාමය ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන කල්පනා කළොත් රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීලා එළියට නොදා ඉන්න තරම් හේතුවක් නැහැ. මොකද අපි එහෙම කියන්නේ ගෝඨාභය ජනාධිපති වී මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ වංචා දූෂණ වලට ඔන්න මෙන්න වැරදිකරුවන් වෙන්න හිටපු අය අනේ අපූරුවට නිදොස්වි නිදහස් වෙලා ගියා. ඉතින් මේවා දිහා කට ඇරගෙන ඇස් ලොකු කරගෙන කන උලුක්කු කරගෙන හිටපු ජනතාවත් විශ්වාස කළේ රංජන්ව නිදහස් කරයි කියලයි.
අනේ අම්මෝ නීතිය නම් මොකක්ද නැමෙන්නේ මොන වෙලාවෙද කියලා කාටද හිතාගන්න පුළුවන්. ඔයා සාධාරණ නීතිය ගැන කතා කරන අයට අමතක වෙන දෙයක් තමයි අර ඇස් දෙක බැඳගෙන ඉන්න ගැහැණිගේ ඇස් බැඳ තිබෙන රෙදි පටිය කැමති කෙනෙකුට කැමති වෙලාවෙදි ලියන්න පුළුවන් කියන එක.