Breaking News

වසන්ත මුදලිගේ සහෝදරයාගේ ‘දේශපාලන ජාන’ පරික්ෂා කරන අයට

කල්ප රාජපක්ෂ

වසන්ත මුදලිගේ සහෝදරයාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කර ඇත. ඊට අමතරව ඔහු ඉලක්ක කර ගනිමින් දියත් කර තිබෙන මඩ ගැසීමේ මෙහෙයුම් ද සීමාවක් නැත.

වසන්තගේ උපාධි සහතිකයේ සිට ඔහුගේ ජාන පරීක්ෂාවක් දක්වා මේ මඩ ගැසීමේ මෙහෙයුමේ අශිෂ්ට, අදේශපාලනික බූවලු අඩු දිව ගොස් තිබේ. මේ කිසිවකින් වසන්ත මුදලිගේ සහෝදරයා වෙනුවෙන් අපේ කොන්දේසි විරහිතව පෙනී සිටීම හෝ ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් අරගලකරුවන්ගේ ඇති කැපවීම වෙනස් වන්නේ නැත.

වසන්ත මුදලිගේ සහෝදරයා නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෑතකාලීන දේශපාලන පරිවර්තනයට ලබාදුන් නායකත්වය සහ කැපී පෙනෙන උපක්‍රමශීලී ගුණය කොළඹ කේන්ද්‍රීය ලිබරල් නෝනා මහත්වරුන්ට ජීරණය කරගැනීමට නොහැකිවූ බව නොඅනුමානය.
වසන්ත කොහෙන් ආවත් අපට ප්‍රශ්නයක් නැත. අපට වැදගත් වෙන්නේ ඔහු නායකත්වය දුන් මතවාදය සහ ඒ මතවාද ලංකාවේ සැබෑ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් නිශ්චිත ඓතිහාසික කාර්යභාරයක් ඉෂ්ට කරන්නේද යන්න පමණි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අඛණ්ඩව තමන්ගේ පිරිස් බලයෙන් සහ මතවාද තුළින් සිදු කළේ මෑත කාලීන ජන අරගලය තුළ කිසිලෙසකින්වත් බිහි නොවෙතැයි බහුතරයක් අපේක්ෂා කළ විමුක්තිකාමි ලක්ෂණ අරගලයේ උපක්‍රමශීලීත්වය තුළ අන්තර්ගත කිරීමට දායක වීමය.

එය ‘ශිෂ්ට ලෙස’ බැරියර් වල යට ඇඳුම් වැනීමෙන් එහා ගිය කැප කිරීම් බහුල එකක් බව දේශපාලනයේ ගැඹුරත්, ජන අරගලය සිද්ධීන් තමන්ගේ දෑසින් දුටු අයත් දනිති. ජූලී 9 ගැන දන්නා බොහෝ දෙනා ජූලී 8 ගැන දන්නේ නැත.

වසන්ත සහෝදරයාගේ ජාන පරීක්ෂාව ලංකා සමාජයේ දශක කිහිපයක් ජීවත් වූ අයෙකුට අලුත් යමක් විය නොහැක. යම් සමාජයක පසුගාමීත්වය පරීක්ෂාකර බැලිය හැකි ලක්ෂණයක් නම් තමන්ගේ ආදිවාසීන්ට ප්‍රජාවක් වශයෙන් ස්වාධීනත්වය, තීරණ ගැනීමේ අයිතිය සහ විමුක්තිකාමය පිළිබඳව අදහසක් නූතනත්වයට පෙර නොතිබුණු බව උපකල්පනය කිරීමත් ඒ මත ඔවුන්ව හෙළා දකිමත්ය. වසන්ත සහෝදරයාගේ ජාන පරීක්ෂාව සෘජුවම වැදි ජනතාවට සම්බන්ධ කරන අයට මට කීමට ඇත්තේ විශිෂ්ට ‍බ්‍රසීලියානු චිත්‍රපටයක් වන බකුරාඕ (Bacurau) නරඹන ලෙසයි.

නූතනත්වයේ අර්බුදය සඳහා ඇති විසඳුම ඇතැම් බීජාන්කුර අපට ඇතැම් විට හමුවනු ඇත්තේ ‘පසුගාමී’ යැයි අප සලකන ‘ක්‍රමයක’ විය හැක. නව ලිබරල්වාදය තුළ මූලධාර්මිකව විනාශ වී ගිය සාමූහිකත්වයකුත්, කුටුම්භගත ආත්මියත්වයකුත්, අවස්ථාවාදී මනෝවිශ්ලේෂණයත් ජීවිතය සහ දර්ශනය කරගත් ලංකා සමාජයට සහ එහි කුලීකාර දාර්ශනිකයන්ට ‘වසන්තලාගේ දේශපාලනයෙන්’ උගත හැකි දේවල් බොහෝය.
වසන්තලා සහ අන්තරය දේශපාලනයෙන් ඉගැනීම ප්‍රතික්ෂේප කර නැත. දේශපාලනයෙන් ඉගෙනීමට ඔවුන්ගේ ඇති නම්‍යශිලිත්වය සහ නායකත්වය ශ්‍රී ලංකාවේ ඊලග දේශපාලන නිමේෂයේදී නැවත පරික්ෂා කෙරෙනු ඇත.

හද්දා පිටිසරින් කොළඹ ට ආපු උඹ
රෝයල් එකෙවුනට උණ ගන්නවපු උඹ
හිරකර ඇතද අවනීතියෙ බලය ලැබ
උඹ ප්‍රොමිතියස් සිද බිද හිර කරපු කඹ

leave a reply