Breaking News

රංගේ බණ්ඩාර මුට්ටිය දමා බලයි

ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැයි 28 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව පවසා තිබුණි. මෙවැනිම ආකරයේ කතාවක් මීට දින කිහිපයකට පෙරද සඳහන් කර තිබුණි.

“මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන ගමනක් අපිට පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධ දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සතුවයි කියන එක අපි දන්නව. ඒ නිසා තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාව සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ජනමත විචාරණයකට ගිහිල්ලා එය තහවුරු කර ගැනීම ඉන්පසු සිදු කරගත යුතු වෙනවා. වඩා ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව ඒ ඉටු කළ යුතු වෙනවා.”

මැතිවරණ සිතියම අකුලනවා නොකියා මෙයට ඉඩ දෙන ලෙස ද ඔහු අනෙකුත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ.

මැතිවරණයක් පැවැත්වීමෙන් පරිසර දූෂණයත්, අනවශ්‍ය මුදල් නාස්තියත් සිදුවනවා සේම රට බංකළොත් භාවය මුදාගැනීමේ ඉදිරි ක්‍රියා මාර්ගවලටත් විශාල සහයක් ලබා ගැනීමට ඇති හැකියාව අහිමි වන බවයි මහලේකම්වරයා පවසන්නේ.

විවිධ සන්ධාන සෑදිමේ හැකියාව ඇතිමුත් අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගිය හැකි සන්ධානය බිහිකිරීම බවත් ඒ සන්ධානය බිහිකිරීම සඳහා සියලු දෙනාට එකතුවන ලෙස ද ඔහු ආරාධනා කර තිබේ.

“මේ වෙලාවේ ජනතාවත් රටේ දේශපාලන නායකයිනුත් සිදුකළ යුතු වන්නේ රනිල් වික්‍රමසිංහට මේ රට ඉදිරි කාලයටත් බාර දීම යි,” එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ අදහස් දක්වන බොහෝ පිරිස් පවසන්නේ පාලිත රංගේ බණ්ඩාර මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක් බවයි. එනම් මැතිවරණ කල් දැමීම ගැන යෝජනාවක් ඉදිරිපත් කර සමාජයේ ඊට දක්වන ප්‍රතිචාරය බැලීම ඔහුගේ අදහස වී ඇති බවයි. එසේම රනිල්ට ඇති බලය පෙන්වා මැතිවරණය වෙනුවෙන් වූ සන්ධාන අන්දමන්ද කිරීමට වුවද මේවා පාවිච්චි විය හැකි බවට වන මතය පවතියි.

leave a reply