Breaking News

පලස්තීනයේ සිදුකරන මිනිස් සංහාරය නවතනු – වසන්ත මුදලිගේ පලස්තීනය වෙනුවෙන් සටනට

ඊශ්‍රායල-ඇමරිකන් හවුල විසින් ගාසා තීරයේ සිදු කරන ම්ලේච්ඡ මිනිස් සංහාරය නතර කරන ලෙසත් පලස්තීනයට නිදහස දෙන ලෙසත් බල කරමින් කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (24) ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ අදහස් දැක් වූ අයුරු.

”ඇමරිකාවේ යුධ පිපාසයට ලෝකයේ භූමින් දේපොළ අත්පත් කරගැනීමේ වුවමනාවෙන් ඊශ්‍රායලය රූකඩ රාජ්‍යයක් විදිහට පාවිච්චි කරලා ඇමරිකාව විසින් පලස්තීනයේ සිවිල් වැසියෝ දහස් ගණනක් ඝාතනය කරනවා. මේ වෙනකොට ඝාතනය කරලා තියෙන සිවිල් වැසියන්ගේ සංඛාව දස දහසකට වැඩියි. පුංචි දරුවෝ 4000ට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කරලා තියෙනවා. පලස්තීනය එළිමහන් සිරකඳවුරක් කරමින් එය ලෝකයේ විශාලම වධකාගාරයක් බවට පත්කිරීමට ඊශ්‍රායලයත් ඇමරිකාවත් මැදිහත්වෙමින් ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ මිනීමැරුම් ඝාතන කිසිවක් පෙනෙන්නේ නැහැ. ඇමරිකාව තමන්ගේ යුධ නැව් ටික පලස්තීනයට එරෙහිව අමෝරාගෙන ළඟ මුහුදේ තියාගෙන ඉන්නවා. මේක මිනී මැරුම් ගොන්නක්. අන්තවාදය කියන එක පිටින් දාලා ඇමරිකාවේ යුධ උන්මාදයට පලස්තීනය ආක්‍රමණය කරන්න හදන්නේ. පසුකාලයේ අන්තවාදයන් පෝෂණය කළේ, ආයුධ හැදුවේ ඇමරිකාව. මේ ලෝකෙ කිසිම මනුෂ්‍යයෙකුට මේ ජන ඝාතනය. ඒ නිසා අපි ඇමරිකාවට, ඊශ්‍රායලයට බලකරනවා වහාම පලස්තීන ආක්‍රමණය නතර කරන්න ඕනා. ඒ වගේම පලස්තීනයේ නිදහස පිළිගන්න ඕනා. දැන් කියනවා අන්තවාදීන්ගේ ප්‍රහාරය නිසා තමයි මේ පහරදීම පටන් ගත්තේ කියලා. මුළු ඉතිහාසයේ පුරාවටම පලස්තීනය ආක්‍රමණය කිරීම සඳහා ඊශ්‍රායලය ප්‍රහාර ඕනෑතරම් එල්ල කරා. සිවිල් වැසියෝ ඝාතනය කරා. නමුත් ඒවා අවශ්‍ය පරිදි සාකච්ඡාවට ගැනුනේ නැහැ. දැන් වුනු එක සිද්ධියක් පාවිච්චි කරලා දැන් ඇමරිකාවේ මාධ්‍ය මෙහෙයුම් හරහා ඒත්තු ගන්නන්න හදනවා හමාස්ලා නිසා ගහනවා කියලා. ඒ ප්‍රහාරය නිසා පටන් ගත්තනම් දැන් ඝාතනය කරන්නේ සිවිල් වැසියෝ නෙමෙයිද? රෝහල්වලට පාසල්වලට බෝම්බ ගහලා යුද්ධෙ ගැන කිසිම දෙයක් දන්නේ නැති සාමාන්‍ය දරුවෝ නෙමෙයිද ඝාතනය කරේ. සියලු අන්තවාදයන් අපි පිටු දකින ගමන්ම කෙසේවෙතත් ඇමරිකාවට ඊශ්‍රායලයට තමන්ගේ යුධ උමතුවෙන් පලස්තීනයේ වැසියන් ඝාතනයට හෝ ආක්‍රමණය කිරීමට අපි එකඟ වෙන්නේ නැහැ. ”

මෙම විරෝධතාවයට සම්බන්ධ වූ ජන අරගල ව්‍යාපාරයේ 05 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතාවය සිදුවූ මොහොතේ දෙදෙනෙකුත් විරෝධතාවයෙන් පසුව තවත් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

 

leave a reply