Breaking News

මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ මලික් අද්නන්

සියල්කෝට් නුවර දී කලහකාරීන් පිරිසකගෙන් දියවඩනගේ ප්‍රියන්ත කුමාරගේ ජීවිතය බේරාගැනීමට සිය ජීවිතය පරදුවට තබා ක්‍රියාකළ මලික් අද්නන්ගේ ධෛර්යය සහ වීරත්වය වෙනුවෙන් ඔහුට උපහාර පිදීමට කටයුතු කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, “සියල්කෝට්හි දී ප්‍රියන්ත දියවඩනගේ රැකගැනීමටත්, තමාගේ දිවි නොතකා සිය සිරුරෙන් ඔහු ආවරණය කරමින්, නීතිය අතටගත් කලහකාරී පිරිසෙන් ඔහු ආරක්ෂා කිරීමටත් සිය උපරිමයෙන් ක්‍රියා කළ මලික් අද්නන්ට සදාචාරය වෙනුවෙන් පෙනී සිටීමට තිබූ ධෛර්යයට සහ වීරත්වයට සමස්ත ජාතිය වෙනුවෙන් ආචාර කිරීමට මම කැමැත්තෙමි. අපි ඔහුට තාම්ගා-ඉ-ෂුජාත් පදක්කම පිරිනමන්නෙමු,” යනුවෙනි.

‘තාම්ගා-ඉ-ෂුජාත්’ යනු අනතුරක් ඉදිරියේ නිර්භීතව කටයුතු කිරීමත්, නිර්භීතව ජීවිත බේරාගැනීමත් වෙනුවෙන් පාකිස්ථානයේ සිවිල් වැසියන්ට පිරිනැමෙන වීරත්වයේ පදක්කම යි.

පන්ජාබ් පළාතේ සියල්කෝට්හි කර්මාන්තශාලාවක සාමාන්‍යධිකාරීවරයෙකු ලෙස සේවය කළ දියවඩනගේ ප්‍රියන්ත කුමාර පසුගිය සිකුරාදා මැර පිරිසක් විසින් ප්‍රසිද්ධියේ වධහිංසා පමුණුවා ඝාතනය වුණු අතර, ඔහුගේ සිරුරට ද ගිනිතබනු ලැබුණි. මේ වන විට ඔහුගේ දේහය ලාහෝරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඥාතීන් වෙත භාර දී ඇත.

කම්හලේ නිෂ්පාදන කළමනාකරු වන මලික් අද්නන්, කලහකාරී පිරිසෙන් ප්‍රියන්ත කුමාර බේරාගැනීමට තැත් කළ කිහිප දෙනාගෙන් අයෙකි. ඔහු දෑත් එකතු කරමින් කලහකාරීන්ට ආයාචනා කරන අයුරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පැතිරුණු ඇතැම් වීඩියෝවල දැක්වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් දේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මලික් අද්නන් කියා සිටියේ, තමාට වීරත්වයේ පදක්කම ලබාදෙතැ යි ප්‍රකාශ කිරීම පිළිබඳව අගමැති ඉම්රාන් ඛාන්ට ස්තූතිවන්ත වන බව යි.

මනුෂ්‍යත්වය වෙනුවෙන් තම සගයා බේරාගැනීමට තමාට අවශ්‍ය වූ බවත්, මිනිසුන් 40ක් 50ක් ඔහු ඝාතනයට පැමිණි විට ශ්‍රී ලාංකික පුරවැසියා මුවාකරමින් ඔහු ඉදිරියේ සිටගත්තේ ඒ නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධියේ දී තමා ද තුවාල ලැබූ බව මලික් අද්නාන් කියා සිටියේ ය.

මලික් අද්නාන් මෙම කර්මාන්තශාලාවේ සේවය කරන්නේ 2005 වසරේ සිට ය. ඔහු 2014 වසරේ සිට ප්‍රියන්ත හඳුනන බව කියයි.

මලික් අද්නාන් මාධ්‍යවේදී මුහම්මද් සුබයිර් ඛාන්ට පැවසුවේ සිද්ධියෙන් පසු ඔහුගේ මව ඔහු බදාගෙන අත්පොළසන් දුන් බව යි.

“මගේ අම්මා මාව වර්ණනා කළා. මගේ ජීවිතයේ වටිනාම අවස්ථාව මෙයයි,” ඔහු පවසයි.

BBC ඇසුරිණි

leave a reply