මාතලං

මාතලං මාතලං මං කරන්නෙ සූරවීර කං

මාතලං මාතලං දුප්පතාගෙ හිතවතානෙ මං
-ඇම්මැසුවාණන්ගේ බයිලාවකින්

 

මාතලං උඹට බොරු කිව්වෙද කවුරු
පා ගමං ගොහිං ළෙලවන්නට අකුරු
හීතලෙංම උණුහුම උපදින අයුරු
ආදරෙං ඉතිං පහදාපං සොයුරු

බිනර අහස හැමදා අඳුරු බියකරූ
නුවර පාර ගොරතර රුදුරු විසකුරූ
පඳුරු ලලා වැඩෙනා අඳුරෙ සැරිසැරූ
ගොදුරු සොයනු නුදුටිද රුහිරු රණවිරූ

ඉඹුල්ගොඩය ඒ පෙනෙන කඩවත
නැඹුල් යකුන්මය අතගගා බඩවත
අගුල් වැටුණු අහසෙහි, කොහිද සඳවත
මඟුල් ලකුණු දුටුවෙද පයෙක හිතවත

ටොක්කා සමඟ යන විට තුරඟකු දක්කා
සුක්කානමක් නැති රථයක එළි දැක්කා
රැක්කා කියන උන් ඇවිදින කණු එක්කා
මක්කා කොළාදැයි කියපන් මට ලොක්කා

කැළණි කන්ද නැඟැ එන නවක පිරිවර
පැරණි සිහින දැක්කත් නවමු ඇස් ඇර
සිහින බිඳෙන තැනමය සරුප බිත්තර
ඉතිනි මෙහෙම කියනෙමි සොඳුරු සොහොයුර

නැමුණු හිස් නැඟෙයි සොහොයුරු ගංතීරේ
දැමුණු හිත් දිනෙක ඇවිලෙයි මහ පාරේ
සමුගැනීම උරුමයි වමේ සංසාරේ
හමු නොවීමමයි හමුවීම බණ්ඩාරේ

-මංජුල වෙඩිවර්ධන
– 2016 සැප්තැම්ර් 27

(‘සුළඟට අවනතව’ 2017)

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...