අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත්තේ ක්‍රි.පූ. හතරවන සියවස තරම් වූ ඈත යුගයකදීය. එම කාලවකවානුව තුලදී පුරවැසියන් සතු මූලික අයිතියක් ලෙස ග්‍රීසියේ හා රෝමයේ එය ප්‍රචලිත විය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් එම කාලවකාවානුවේ දී හඬක් නැගූ ග්‍රීක ජාතික ‘ඩිමොස්තිනේස්’ පැවසූ ප්‍රකාශයකින් ඒ බව මනාව තහවුරු කරගත හැක. ක්‍රි.පූ. 350 දී ඔහු පැවසූ පරිදි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා ගැනීම යම් පුද්ගලයෙකුට මුහුණ දීමට සිදුවන විශාලතම ව්‍යසනය ලෙස දැක්වීය.
ඒ අනුව කිසිවෙකුගේ හිංසනයට ලක් නොවී මෙලොව ඉපදුන සෑම මනුෂ්‍යයෙකුටම ගෞරවාන්විතව ජීවත් වීමට අවැසි මිනිසාගේ අයිතිය, නැතිනම් හිමිකම තහවුරු කිරීමේ දැඩි අවශ්‍යතාවය මිනිස් ශිෂ්ටාචාරයේ වර්ධනයත් සමඟ ක්‍රමිකව සිදුව ඇත. ටයිලර් පෙන්වා දෙන පරිදි අයිතීන් පිළිබද අඩිතාලම ගෝත්‍රික යුගයේ සිටම ආරම්භ වී ඇත. ඔහු පවසන පරිදි ඒ ඒ කාලානුරූපිව පැවති ශිෂ්ටාචාරගත චාරිත්‍රානුකූල ක්‍රියාදාමයන් ක්‍රමයෙන් විකාශනය වී පසු කාලයේදී නීතියේ ආධිපත්‍යය (Rule of law) දක්වා වර්ධනය විය. මහජන ශුභ සිද්ධිය සදහා ‘බහු ජනමතය’ අවශ්‍යය යන සංකල්පය මුහුකුරා යමින් දහතුන්වන සියවස වනවිට එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබිණි. නිදහස් මිනිසා කවුරුන්දැයි විග්‍රහ කෙරෙන ක්‍රි.පූ. 1215 ජෝන් රජු සමයේ ලතින් භාෂාවෙන් සම්පාදිත මග්නා කාර්තාවේ 39 වැනි වගන්තියේ සරල අරුත මෙසේය.
“කිසිම මිනිසෙකු සිරකර නොතැබිය යුතුය. ඔහුගේ ඉඩකඩම් අහිමි නොකළ යුතුය. නීතියේ ආරක්ෂාවෙන් ඉවත් නොකළ යුතුය. විනාශ නොකළ යුතුය. ඔහුට විරුද්ධව නොයා යුතුය. එවැන්නක් කළ හැක්කේ සාම මණ්ඩලයේ නඩු තීන්දුවක් අනුව හෝ රටේ නීතිය අනුව පමණි.”
ක්‍රි.ව. 1525 පමණ වනවිට මානව හිමිකම් පිළිබද වත්මන් සමාජ භාවිතයේ මූලික අඩිතාලම යුරෝපයේ පැන නැගී තිබුණි. මෙහිදී ස්වභාවික නීතිය පිළිබද ස්වභාවික අයිතිවාසිකම් යනුවෙන් නව මතවාදයකට පරිවර්තනය වීම සිදුවිය. තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, රූසෝ යන අය විසින් රාජ්‍ය පාලනය සමාජ සම්මුතියක ප්‍රතිඵලයක්ය යන අදහස ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව පාලකයන්ගේ බලය පුරවැසියන්ගේ කැමැත්ත මත සිදුවනවාය යන අදහස පිළිගැනීමට ලක්විය. ස්වභාවික නීතිය යටතේ පැවති මිනිස් අයිතීන් පිළිගැනීමට ලක් කරමින් රාජ්‍ය වගකීම වන්නේ ඒවා ආරක්ෂා කිරීම ය, යන අදහස මෙම න්‍යායෙන් ඉදිරිපත් විය.
18 වන ශතවර්ෂය ලෝකය නව යුගයකට ප්‍රවිෂ්ට කරන ලදී. 1776 ජූනි 12 දින ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේදී ඉදිරිපත් වූ වර්ජිනියා අයිතිවාසිකම් පනත (Verging bill of right) නූතන ලෝකයේ මානව හිමිකම් හා මානව නිදහස පිළිබද පදනම ලෙස සැලකේ. එහි දී ආගමික නිදහස, නීතිමය ක්‍රියාදාමයක අවශ්‍යතාව, නායකයින් තෝරාපත් කරගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පමණක් නොව මුල්ම වරට පුවත්පත් නිදහසට නෛතික පිළිගැනීමක්ද එමගින් හිමි විය. එසේම 1766 දී ස්වීඩනයේ මුද්‍රණ බලපත් ක්‍රමය සාමාන්‍ය නීතිය යටතට පැමිණවීමද එකී ගමන්මගේ තවත් වැදගත් සංදිස්ථානයකි. ඒ තුළින් ජනතාවට තොරතුරු ලබාගැනීම සදහා වන අයිතිය ද පිළිගැනුණි. තව ද 1787 වසරේ දී ඇමරිකානු ජාතික ජේම්ස් මෙඩිසන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධන දහය කෙටුම්පත් කළේය. එහි පළමු සංශෝධනය පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව මානව අයිතීන් හා නිදහස සම්බන්ධ කථිකාව තවතවත් පුළුල් වූ අතර 1946 ජනවාරි මස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ‘අයිතිවාසිකම් පිළිබද පනතක්’ කෙටුම්පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් විය. ඒ අනුව 1948 දෙසැම්බර් 10 වන දින ජාත්‍යන්තර නීතියක් ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය එළි දැක්වීය. ඔවුන් එම මානව අයිතිවාසිකම් ගොඩනංවා ඇත්තේ “සියලු මිනිසුන් නිදහස්ව උපත ලබා ඇත, ගරුත්වයෙන් හා අයිතිවාසිකම් වලින් සමාන ය” (All human beings are born free & equal in dignity & rights) යන විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ පූර්විකාවේ සදහන් ප්‍රකාශයකට අනුවය. මේ අනුව මානව අයිතිවාසිකම් රාජ්‍ය හා පුද්ගලයා අතරත්, සමාජ කණ්ඩායම් අතර සබදතා ඇති කිරීමටත් තම රටවැසියන් පිළිබද රාජ්‍ය සතු වගකීම් හදුනාගැනීමටත් ඉලක්ක කරගත් පද්ධතියක් ලෙස ගොඩනංවා ඇත. මේ අනුව මානව අයිතීන් හා මානව නිදහස ආරක්ෂා කිරීමේ වගකීම රාජ්‍යයට පැවරෙන අතර එහි භාරකරුවා වන්නේද රාජ්‍යයයි.
මානව අයිතීන් අතර විසිවෙනි සියවස වනවිට ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ මුලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබුණි. ‘තොරතුරු නිදහස’ මේ සමඟ කරලියට පැමිණෙන්නට විය. ‘ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය’ 1926 දී තම මූලික අරමුණු අතරට ‘තොරතුරු ලබාගැනීමේ නිදහස’ ඇතුළත් කළේය. 1942 දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ‘පශ්චාත් යුධ අන්තර් ජාතික අයිතිවාසිකම් පනත’ කෙටුම්පත් කරන ලදී. ඒ මගින් සෑම පුද්ගලයෙකුටම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස භුක්ති විදීමේ අයිතිය පවතින බව අවධාරණය කෙරුණි. ලෝක යුධ සමයේදී පුවත්පත් කර්මාන්තයේ නියැලී සිටි පිරිස් ‘තොරතුරු එක්රැස් කිරිමේ අයිතිය’ සම්බන්ධයෙන් පෙනී සිටින්නට වූහ. 1944 දී ඇමරිකානු පුවත්පත් කතුවරුන්ගේ සමාජය (American society of newspaper editors- ASNE) ‘ලෝකය පුරා බාධා කිරීමෙන් තොරව ප්‍රවෘත්ති සන්නිවේදනයේ අයිතිය’ වෙනුවෙන් කේවල් කරන්නට විය.
මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයට අනුව භාෂණයට හා ප්‍රකාශනයට අදාළ වන අයිතිය විශ්වීය බවට පත්කර ඇත්තේ එහි 19 වන වගන්තිය අනුවය. පෙර සදහන් කළ 1948 දී සම්මත වූ මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයෙන් පසුව එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (යුනෙස්කෝ සම්මුතිය) සහ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද සම්මුතිය භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වඩාත් අර්ථ ගන්වනු ලැබිණි.
එලෙසින් විවිධ මැදිහත්වීම් තුළින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් මැදිහත්වීම් සිදු වූවත් ඉතිහාසයේ සිට එම නිදහසට විලංගු දමා තිබුණු අතර එකී විලංගුවලින් වරින් වර මනුෂ්‍ය ජීවිත පවා විනාශ කර දමන ලදී.
මුල් කාලීන ලෝකයේ ගෝත්‍රික කණ්ඩායම්වල නායකයාට විශාල බලයක් පැවතුණි. එබැවින් තමාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන අයෙකු විනාශ කරදමා තමාගේ ආධිපත්‍යය රැක ගැනීමට ඔහු සමත් විය. එබැවින් ගෝත්‍රික සමාජවල මිනිසුන්ට තමාට රිසි සේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබුණි. නායකයාගේ අදහස් දේවත්වයෙන් සැලකිය යුතුය. නැතිනම් අත්වන්නේ මරණයයි. එසේම එංගලන්තයේ 17වන සියවසේ රජය අකමැති දේ පුවත්පතෙහි පළකළ කතුවරුන්ට ප්‍රසිද්ධියේ කස පහරදීම්, ඔවුන්ගේ මුහුණු හංවඩු ගැසීම්, නාස පැලීම, කන් කපා දැමීම වැනි ශාරීරික වධ හිංසාවන්ට මුහුණ දීමට සිදුවිය. එහෙත් එබදු බාධක මධ්‍යයෙ වුවද පුවත්පතේ නිදහස පාලනය කිරීමට රජවරුන්ට නොහැකි විය. විශේෂයෙන්ම රාජාධිපත්‍යයට එරෙහිව අභියෝගාත්මක ලෙස නැගී සිටියේ ප්‍රධාන පුවත්පත් විසින් නොව විටින් විට පැන නැගුණු රැඩිකල් පුවත්පත් විසිනි.
එලෙසින් ප්‍රකාශන නිදහස පිළිබද කථිකාව ඇරඹිමට ප්‍රථම ලෝකය පැවතුණ අතර ශිෂ්ට සම්පන්න ලෝකයක් ඇති වීමට නම් මිනිසුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතුය.
ඩේවිඩ් ෆෙල්ඩ්මන් තම ‘සිවිල් නිදහස සහ මානව හිමිකම්’ නැමැති ග්‍රන්ථයේ ප්‍රකාශනයේ නිදහස පිළිබද පහත සදහන් පරිදි විස්තර කර ඇත.
පුද්ගලයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. ඒවානම්,
- ස්වයං ප්‍රකාශනය වනාහි හෘදසාක්ෂියේ නිදහස මෙන්ම ආත්ම පරිපූර්ණත්වයේ වැදගත් අංගයකි.
- සමාජීය මෙන්ම සදාචාරාත්මක වටිනාකම් පිළිබද විවාදයකට මහජනතාව සම්බන්ධ කිරීමෙහිලා අවශ්‍ය ශක්තිය ලබාදෙන්නා වූ අංගයකි.
- සෑම ආකාරයකම සෞන්දර්, බුද්ධිමය උත්සාහයන්ට පහසුකම් සලසන්නා වූ අංගයකි.
ලින්කන් ප්‍රකාශ කරන පරිදි, “තම නිදහස් මත දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. අනුන්ගේ බාධාවකින් තොරව තම මතය දැරීමටත් දේශසීමා නොසලකා කවර මාධ්‍යකින් හෝ තොරතුරු ලැබීමටත් හා දීමටත් ඇති අයිතිය ද ඊට ඇතුළත් ය.
කලාපීය වශයෙන් ක්‍රියාත්මක අන්තර්ජාතික සම්මුති අතර මත දැරීමේ නිදහස වඩාත් පුළුල් ලෙස පිළිගැනීමට ලක්වූ අවස්ථාවක් ලෙස ‘මානව හිමිකම් පිළිබද යුරෝපා සම්මුතිය’ දැක්විය හැක. එහි 10වන වගන්තියේ මෙසේ දැක්වේ.
- ප්‍රකාශනයේ නිදහස පිළිබද අයිතිය සෑම දෙනා සතු වේ. මතයක් දැරීමේ නිදහස හා මහජන අධිකාරියක් වෙතින් එල්ල වන බාධාවන් හා වෙනත් සීමාවන් පිළිබද සැලකිල්ලක් නොදක්වා තොරතුරු හා අදහස් ලබා ගැනීමටත් ඒවා බෙදා හැරීමටත් ඇති නිදහස ද මෙම අයිතිය තුළ අන්තර්ගත වේ.
- ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව හෝ මහජන සුරක්ෂිතභාවය සදහා අපරාධ හෝ අවුල් සහගත තත්ත්වයන් ඇතිවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය හෝ යහපුරුදු සුරක්ෂිත කිරීම සදහා අන් අයගේ කීර්තිය හෝ අයිතීන් සුරැකීම සදහා රහස්‍ය ලෙස ලබාගත් තොරතුරු ප්‍රසිද්ධ කිරීම වැළැක්වීම සදහා හෝ අධිකරණයේ අධිකාරි බලය හා අපක්ෂපාතී බව ආරක්ෂා කිරීම සදහා ප්‍රකාශනයේ නිදහස භාවිතා කිරීමේදී ඊට සම්බන්ධ යුතුකම් හා වගකීම් මෙන්ම නීතිය මගින් පනවන ලද යම් නියමයන්, තත්ත්වයන් හෝ දඬුවම්වලට යටත්ව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දී අත්‍යාවශ්‍ය අංගයක් වේ.
ඒ අනුව භාෂණයේ නිදහස පුද්ගලයාගේ සිය ජීවිත කාලය පුරාවට වැදගත්වන ආකාරය මනාව තහවුරු වේ.
එසේම ප්‍රකාශන හා මාධ්‍ය නිදහස යනු සියලු ආකාරයේ නිදහසේ හරයයි. නමුත් මාධ්‍ය නිදහස යන්න ලොව පවතින සෑම සමාජයකම පොදුවේ දක්නට ඇති සාධකයක් නොවේ. ලොව පවතින රටවල් අතරින් 1/3කට පමණක් මාධ්‍ය නිදහස භුක්ති විදීමේ අයිතිය ලැබී ඇත. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටා ඇති ‘ෆීඩම් හවුස්’ සංවිධානය විසින් ලොව රටවල් මාධ්‍ය නිදහස භුක්ති විදින ආකාරය කොටස් 03කට වෙන් කොට දක්වා ඇත.
- පූර්ණ මාධ්‍ය නිදහස ඇති රටවල් (ලෝක ජනගහණයෙන් 21% ක් මෙම නිදහස භුක්ති විදියි)
- අධි මාධ්‍ය නිදහස ඇති රටවල් (ලෝක ජනගහණයෙන් 37% ක් මෙම නිදහස භුක්ති විදියි)
- මාධ්‍ය නිදහස කිසිසේත් නොපවතින රටවල්
(ලෝක ජනගහණයෙන් 42% ක් මෙම නිදහස භුක්ති නොවිදී).
මාධ්‍ය මෙසේ අධිකාරියකට යටත්ව සිටින විට ඉන් ඉදිරිපත් වන්නේ ද ස්වාධීන මතයක් නොවේ. මාධ්‍ය සියල්ලක්ම පාහේ යම් අධිකාරියක න්‍යාය පත්‍රයක් යටතේ ක්‍රියා කිරීම ඊට බලපාන ප්‍රධාන හේතුව වේ. ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙන පරිදි මාධ්‍ය නිදහස තහවුරු කළ යුතු බවට ප්‍රථම වරට පාර්ලිමේන්තු යෝජනාවක් 1699 දී ගෙන එනු ලැබිණ. ඒ එංගලන්තයේ පළමුවන දේශපාලන පක්ෂය වන ෆ්ලෙවර් පක්ෂයෙනි. එහි අන්තර්ගතය වී තිබුණේ ජනමාධ්‍යන්ට නිදහසේ තොරතුරු එකතු කිරීමට හා බෙදා හැරීමට අයිතිය තිබිය යුතුය යන්නය.
කෙසේ වූවත් වර්තමානය වනවිට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින හඬ නගන අතිවිශාල පිරිසක් සහ විවිධ සංගම් ද බිහි වී ඇත. මාධ්‍යයකට නිදහසක් අවශ්‍ය කවර කාරණයක් නිසාදැයි යන ගැටලුවට පිළිතුරක් ලෙස මාධ්‍ය නිදහස යනු කුමක්ද යන්න විග්‍රහ කර ඇති ආකාරයෙන් දළ අවබෝධයක් ලබාගත හැක.
-ජනමාධ්‍යට අදාළ තොරතුරු ලබා ගැනීම
-තොරතුරු රැස් කිරීම
-එම තොරතුරු ලබාදීම
-තොරතුරු ලබාගත් මූලාශ්‍ර හෙලි නොකිරීම
-තොරතුරු පිළිබද තමාගේ අර්ථකථන දැක්වීමට තිබෙන ඉඩ
ලෙස සාරාංශගත කළ හැක. මාධ්‍ය නිදහස වර්තමානයේ පුළුල් මාතෘකාවක් බවට පත්ව ඇත. ජනමාධ්‍ය අතරින් ලෝකයට මුලින්ම හදුන්වාදෙනු ලැබුවේ පුවත්පත වන නිසාවෙන් මාධ්‍ය නිදහස අර්ථ ගන්වා ඇත්තේ පුවත්පත හා සම්බන්ධ කරමිනි.
මාධ්‍යට සීමා පැනවීම මාක්ස් දුටුවේ සමාජයේ සියලු අයහපතට එය මුල්වන බවයි. සමාජයේ ඇති සෑම නපුරකටම මුල මාධ්‍ය වාරණ හා තහංචි පැනවීම බව මාක්ස් දුටුවේය. එමෙන්ම පුවත්පතකට නිදහසක් ධනවාදය යටතේ හිමි නොවන බව ඔහුගේ අදහස විය.
ඔහු පවසන ලද්දේ, “පුවත්පත මහජන මතය නියෝජනය කරන බව පැවසීම බුද්ධිමත් පුද්ගලයින්ට කරන අපහාස කිරීමකි. එය ආයෝජකයන්ගේ, දේශපාලන නායකයන්ගේ සහ විශාල කොන්ත්‍රාත්කරුවන්ගේ, හිමිකරුගේ දේපළකි.”
වී. අයි.ලෙනින් ඒ බව ප්‍රකාශ කළේ, “ධනවාදීන් පාලනය කරන ලෝකය පුරා ඇති පුවත්පත් නිදහස යනු අනෙකක් නොව පුවත්පත් මිළයට ගැනීමට ධනවාදීන් වෙනුවෙන් මහජන මතය මිලයට ගැනීමට හා නිෂ්පාදනයට ඇති අදහසය.
ධනවාදී සමාජයක පුවත්පත් නිදහස යනු අනෙකක් නොව සූරාකෑමට බදුන් වූ පීඩාවට පත් වූ දිළිදු ජනතාව ක්‍රමානුකූලවත්, නිරන්තරවත් රැවටීමට අධෛර්යයට පත් කිරීමට හා අමනයන් බවට පත් කිරීමට ධනපති පන්තියට ඇති නිදහසයි.” යනුවෙනි.
කවර රටක වුවද මාධ්‍ය පාලනය වන්නේ අදාළ ආයතනයේ හෝ අදාළ බලයේ සිටින පුද්ගලයන්ගේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික වටපිටාව යටතේය. එවන් විටක ග්‍රාහකගත වන තොරතුරුවල නිවැරදි සත්‍යතාවක් කිසිදු විටෙක දැකගත නොහැක.
ලෙනාඩ් ආර් සස්මන් ලියූ Exit the censor, Enter the regulator නමැති ලිපියට අනුව ජනමාධ්‍ය පාලනය කිරීමට ලෝකයේ නොයෙක් රටවල පාලකයින් හා ඔවුන්ගේ දේශපාලන හිතවත්තු විසින් විවිධ ක්‍රම 82ක් යොදාගන්නා බව පවසයි. මාහාචාර්‍ය චන්ද්‍රසිරි රාජපක්ෂයන් විසින් එය සාරාංශ කොට දක්වා ඇත්තේ පහත පරිදිය. එය අධ්‍යයනය කිරීම වැදගත් වන්නෙ වර්තමානයේදීත් එකී කවර බලපෑමට වුව ද මාධ්‍යවේදීන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවිනි.
- මාධ්‍යවේදීන්ට කායික වශයෙන් කෙරෙන්නා වූ පහරදීම්
-මාධ්‍යවේදීන් ඝාතනය
-මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම
-මාධ්‍යවේදීන්ට චෝදනා එල්ල කිරීම
-ප්‍රවෘත්ති වාර්තාකරුවන් පැහැර ගැනීම
-මාධ්‍යවේදීන් මියගියේ යැයි ප්‍රචාරය කිරීම.
- පුවත්පත් ආයතනවලට පහර දීම
-පුවත්පත් ආයතන රජයේ නිල හමුදා හෝ සන්නද්ධ කල්ලි මගින් වැටලීම
-ගින්නකින් විනාශ කිරීම හෝ යන්ත්‍ර සූත්‍ර කඩා දැමීම
-දාමරික කණ්ඩායම් විසින් අල්ලා ගැනීම
-ජලය හෝ විදුලිය කපා හැරීම හෝ එසේ කරන බවට තර්ජනය කිරීම
- මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරෙන මනෝ විද්‍යාත්මක ප්‍රහාර
-මරා දමන බවට හෝ කායික හිංසාවක් කරන බවට තර්ජනය කිරීම
-මාධ්‍යවේදීන්ට රැකියා අහිමි කරන බවට තර්ජනය කිරීම
-ආයතන වසා දැමීම හෝ තහනම් කරන බවට තර්ජනය කිරීම
-ආයතනයේ කතෘ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා බවට හෝ රැකියාවෙන් හෝ රටෙන් පළා යා යුතු ලෙසට තර්ජනය කිරීම.
- කර්තෘ මණ්ඩලය පාලනය කිරීම.
– ආණ්ඩුවේ හෝ මහා පරිමාණ දැන්වීම් ආයතන මගින් තොරතුරු පාලනය කිරීම දැකගත හැක. ආයතන තමන්ට අවාසි සහගත දැන්වීම් පළ කළහොත් දැන්වීම් නොදෙන බවට තර්ජනය කිරීම
- නීතිමය ක්‍රියා මාර්ග
– අයථා ලෙස කෙරෙන ප්‍රකාශන, විග්‍රහය, නිල රහස්, හමුද රහස්, සංඥා, ත්‍රස්තවාදය වැනි දෑ පළ කිරීම වෙනුවෙන් දඩුවම් ලැබීම
-ආණ්ඩුවේ නායකයන්ට අපහාස කිරීම
-විදේශ වාර්තාකරුවන්ට චන්ද්‍රිකා පණිවිඩ ලබාගැනීමේ ඉඩකඩ ඇහිරිම.
-මාධ්‍ය ආයතන ආණ්ඩුවට පවරා ගැනීම හෝ වසා දැමීම හෝ සීල් තැබීමද, ලියවිලි අත්අඩංගුවට ගැනීම ද සිදුකෙරේ.
- පුවත්පත්වලට එරෙහිව ගන්නා මූල්‍යමය ක්‍රියාමාර්ග
-මාධ්‍යවේදීන්ට අල්ලස් දීම හා රැකියාව අහිමි කරන බවට තර්ජනය කිරීම.
-පුවත්පත් මිල සහ ප්‍රමාණය ආණ්ඩුවේ බලධාරීන් විසින් පාලනය කිරීම.
-ස්වාධීන පුවත්පත් බෙදාහැරීම, මුද්‍රණය හා අලෙවිය සීමා කිරීම
-කඩදාසි හා උපකරණ මිළදී ගැනීමට ලැබෙන විනිමය ආණ්ඩුව විසින් සීමා කිරීම
-ණය සහන ආදිය ලබා නොදීම
-රජයේ දැන්වීම් තම හිතවත් පුවත්පත්වලට පමණක් ලබාදීම.
-පුවත්පත් බෙදා හැරීමේදී ප්‍රවාහන පහසුකම් තම හිතවතුන්ට ලබා දීම.
ලොව පුරා ඇති කවර මාධ්‍යයක වුවද මාධ්‍යවේදීන්ට ඉහත අඩත්තේට්ටම්වලට මුහුණ දීමට සිදුවේ.එලෙසින්ම ලෝකයේ සෑම රටකම මෙන්ම ශ්‍රී ලංකාව ද සිය මූලික නීතිමය ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මානව අයිතිය තහවුරු කර ඇත. ශ්‍රී ලංකාව තුළදී එම අයිතිය මුල්වරට සහතික කරනු ලැබුවේ 1972දී පැනවුණු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි.
එම මූලික රාමුව තුළ වඩාත් විස්තරාත්මකව භාෂණය, ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස 1978 දී පැනවුණු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ (වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ) ද ඇතුළත් කර ඇත. ඒ අනුව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6වන පරිච්ඡේදයේත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදවල ප්‍රස්තූත ‘මානව අයිතිය’ ,සදහන්ව ඇත.
- (1) සෑම පුරවැසියෙකුටම
(අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට
(ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට
(ඇ) වෘත්‍තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහස
(ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට
(ඊ) එකලාව හෝ අන් අය සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට
(උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළද ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට
(ඌ) ශ්‍රී ලංකාව තුළ යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට සහ
(එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස භුක්ති විදිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේ ද 15 (2) හා 15 (7) වගන්තිය යටතේ දක්වා ඇති සීමා කිරීම්වලට යටත්වය. ඒ අනුව,
15 (2) වගන්තිය,
– වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සදහා හෝ
– පාර්ලිමේන්තු වරප්‍රසාද
-අධිකරණයට අපහාස කිරීම
-අපහාසය හෝ වරදකට පෙළඹවීම් හා සම්බන්ධව නීතියෙන් නියමු කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට්ස් යටත්වය.
15(7) වගන්තිය,
-මෙම වගන්තිය අනුව 14(1) ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති සියළුම මුලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කෙ ද,
-රාජ්‍ය ආරක්ෂාව ද රටේ යථා පැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්
-මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්
-අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලා ගැනීම පිණිසත්
-ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබ සාධනය්ස් සදහා යුක්ති සහගතව අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලිකව හා පොදු වශයෙන් මෙන්ම සම්මතව ඇති විවිධ අණපනත් මගින් ද එම කරුණු කාරණා ඒ ඒ පැතිකඩයන්ට සුවිශේෂීව සිදුවේ.ඒවානම්,
-දණ්ඩ නීති සංග්‍රහය
-මහජන ආරක්ෂක පනත
-පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද
-1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත
-ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත
-1955 අංක 32 දරණ නිල රහස් ආඥා පනත
-1912 අංක 7දරණ ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩල පනත
-1839 අංක 5 දරණ පුවත්පත් ආඥා පනත
-1885 අංක 1 දරණ මුද්‍රණකරුවන්ගේ හා ප්‍රකාශකයන්ගේ ආඥා පනත
-1902 අංක 16 දරණ මුද්‍රණාල ආඥා පනත
-1966 අංක 37 දරණ ගුවන්විදුලි සංස්ථා පනත
-1971 අංක 47 දරණ රාජ්‍ය චිත්‍රපටි සංස්ථා පනත
-1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත
මාධ්‍ය නිදහස වෙනුවෙන් කොතෙකුත් හඬ නැගුව ද එය අධිකාරියට යටත්වීම නොවැළැක්විය හැක්කක් නොවේ. එමෙන්ම මාධ්‍යවේදියා ද සිය නිදහස භුක්ති විදීමටනම් ඔහුගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම්, වගකීම් නිසි පරිදි ඉටු කළ යුතුය. තමන්ට හිමිවී ඇති නිදහස වගකීමකින් හා සීමාවකින් භාවිතා කළ යුතුය. යම් විටෙක එය අත්තනෝමතිකව පැහැර හැර කටයුතු කරන විට ජනතාවට සිදුවන හානි වළක්වා ගැනීමට රාජ්‍යයන් මඟින් යම් යම් නීති පනවා තිබීමෙන් ‘මාධ්‍ය නිදහස’ උල්ලංඝනය වේ යැයි පැවසුව ද රටකට අවශ්‍ය මාධ්‍ය පමණක් නොව සාමාන්‍ය පොදු ජනතාවටද නිදහසේ සිටීමට අවැසි වේ. එබැවින් මාධ්‍ය තම නිදහස භුක්ති විදින අතරතුරේම තම මාධ්‍ය භාවිතය පිළිබද අනිවාර්ය වගකීමකින් ක්‍රියා කළ යුතුය. හැරල්ඩ් ලැස්කි නම් විද්වතා එකී වගකීම පෙන්වා දී ඇත්තේ මෙසේය.
“ඔබට ඔබේ සැරයටිය බිම ගසමින් හෝ කරකවමින් හෝ මහමඟ ගමන් කිරීමට අයිතිය ඇත. එහෙත් එය මගේ නාසයේ නොවැදිය යුතුය.”