මොරගහකන්ඳ ,සෝමාවතිය වන විනාශය ඇති කළ මැදිරිගිරිය – මීගස්වැව අලි – මිනිස් ගැටුමට විසදුම් සෙවීම

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගස් වැව ප්‍රදේශයේ ජීවත් වන ජනතාව උග්‍ර අලි – මිනිස් ගැටුමකට ගොදුරු ව සිටී. මීට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබේ. මොරගහකන්ඳ ව්‍යාපාරය යටතේ අලුතින් ජනාවාස හා වගා බිම් ඇති කිරීම සහ මොරගහකන්ඳ ව්‍යාපාරය යටතේ වගා බිම් අහිමි වූ ජනතාවට වගා බිම් ලබා දීම සඳහා ඇටඹ ඔය, පේරමඩුව, බිසෝපුර ප්‍රදේශයේ සිදු කරන දැවැන්ත වන විනාශය මේ සඳහා ප්‍රධාන වේ. මීට අමතර ව සෝමාවතිය – කන්දකාඩුව ප්‍රදේශයේ සිදු කරන වන විනාශය හා විල්ලු පරිසර පද්ධතිවලට සිදු කරන විනාශය තව ආකාරයකින් මේ සඳහා බලපා තිබේ. මෙම වනාන්තර හා විල්ලු පරිසර පද්ධති විනාශ කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් මීගස් වැව ඇතුළු ව ඒ අවට ගම්මානවලට බහුල ව පිවිසෙමින් තිබේ. මීට අමතර ව මෙම ගම්මානය ආශ්‍රිත ව පිහිටා ඇති දම්සෝපුර වැව ඛණ්ඩනය වන පරිදි විදුලි වැට සකස් කිරීම නිසා වියළි කාලයේ දී අලි – ඇතුන්ට ජලය හා ආහාර හිඟ වීමෙන් එම ප්‍රදේශයේ විදුලි වැටට හානි කර අලි – ඇතුන් ගම්මානවලට පිවිසීමෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව උග්‍ර අලි – මිනිස් ගැටුමට ගොදුරු වී තිබේ.

පල්ලියගොඩැල්ල, අග්බාර්පුර, අහමඩ්පුර, ගාමිණීපුර, පිඹුරාන, ගුරුගොඩැල්ල, තලාකොළ වැව, ඉළුක්පිටිය, අරුණ ගම, දම්සෝපුර, කුමුදුපුර, විජයපුර, මීගස්වැව, කුඹුකුණාවල, නිකහේන ඇතුළු ගම්මාන රැසක් මෙලෙස අලි – මිනිස් ගැටුමට ගොදුරු වී තිබේ.

මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමට මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලියගොඩැල්ල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බොරුපන් වැව විල්ලුවේ අක්කර 3000 ක් විවිධ පුද්ගලයන්ට බෙදා දීමට මේ වන විට සැලැසුම් ක්‍රියාත්මක කරමින් තිබේ. ඒ යටතේ අක්කර 500 ක් භූමිපුත්‍ර පක්ෂයේ සභාපතිවරයාට බැසිල් රාජපක්ෂ ගේ මැදිහත්වීම මත ලබා දීමට කටයුතු කර තිබේ.

මහවැලි ගඟේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මෙම විල්ලුව සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ව පිහිටා තිබේ. අලි – ඇතුන් ගේ සුවිශේෂී ආහාර බිමක් වන මෙම ප්‍රදේශය විනාශ කිරීමෙන් දැනට පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වනු ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් වේ. ඒ අතුරින් ප්‍රධාන වන්නේ වනාන්තරය තුළ පිහිටි වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම හා එම වැව්වලට ඇළ මාර්ග මගින් ජලය සැපයීමයි. කුඩුම්බියාව වැව, රොට වැව, බෝගස් වැව, වාගොල්ල වැව, කුඹුකුණාවල වැව, මීවා මැරිච්ච වැව, එළබටු වැව, හේනේ වැව, රඹ වැව, ඉළුක්පිටිය වැව, ගාමිණීපුර වැව හා පල්ලියගොඩැල්ල වැව හෙවත් කඩවර වැව යන වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ඇළ මාර්ග මගින් ජලය සැපයිය යුතු ය. ඒ සඳහා කවුඩුල්ල වැවේ මැණික් සොරොව්ව තුළින් දම්සෝපුර වැවට ජලය ලබා ගෙන එම වැවේ පිටවානෙන් ලබා ගන්නා ජලය අලුතින් සකස් කරන කිලෝමීටර 5 ක් පමණ දිග ඇළ මාර්ගයක් ඔස්සේ කුඩුම්බියාව වැවට ලබා ගෙන අනෙක් වැව් පද්ධතියට ජලය ලබා දිය හැකි ය. කුඩුම්බියාව වැව ප්‍රධාන වශයෙන් ම ප්‍රතිසංස්කරණය කිරීම මගින් වනාන්තරය තුළ අලි – ඇතුන්ට ජල ප්‍රශ්නයට හා ආහාර හිඟයට විසදුම් ලබා දිය හැකි ය. මෙම වැව් පද්ධතිය හා ඇළ මාර්ගය සකස් කිරීමෙන් මෙම ප්‍රදේශයේ කුඹුරු අක්කර 20000 කට වැඩි ප්‍රමාණයක් යල හා මහ දෙකන්නය වගා කළ හැකි තත්ත්වයට පරිවර්තනය කළ හැකි වේ.

මීට අමතර ව දුර්වල තාක්ෂණික ක්‍රම යටතේ අලි – ඇතුන් ගේ පිවිසුම් මාර්ග අවහිර වන පරිදි ඉදි කර ඇති විදුලි වැට ප්‍රතිසංස්කරණය කිරීම හා නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් විදුලි වැට යාවත්කාලීන කිරීම කළ යුතු ය. විදුලි කණු ආසන්නයට අලින්ට ප්‍රවේෂ විය නොහැකි ලෙස විදුලි කම්බි ආවරණ ඇති කිරීම, ප්‍රමාණවත් විදුලි ධාරාවක් විදුලි වැට පුරා ම ගමන් කළ හැකි වන පරිදි ආරෝපක ස්ථාපිත කිරීම, විදුලි වැට අලුත්වැඩියා කිරීමට අවශ්‍ය උපකරණ ප්‍රමාණවත් පරිදි සැපයීම අත්‍යවශ්‍ය ව තිබේ.

අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන ආකාරයෙන් ඉදි කර ඇති විදුලි වැට වෙනුවට මයිලගස් හන්දිය ගම්මානය ආශ්‍රිත ව පිහිටි වන සංරක්ෂණ කාර්යාලය අසල සිට මීගස් වැව දෙසට වඩිග වැව – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඉදි කර ඇති විදුලි වැට ඉවත් කර බේබියාව වැව හා ඒ ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයට අලි – ඇතුන්ට පිවිසිය හැකි වන පරිදි වැවේ වැව් බැම්ම මතින් නැවත විදුලි වැට සකස් කිරීම හා ප්‍රධාන මාර්ගයේ විදුලි වැට විවෘත කර ඇති ස්ථාන දෙකෙහි මුර කුටි ඉදි කර රාත්‍රි කාලයේ දී අලි – ඇතුන් ගම් වැදීම පාලනය කිරීම කළ යුතු ය. එසේ නොකළහොත් අලි – ඇතුන් ගම් වැදීම පාලනය කිරීම පහසු ක්‍රියාවක් නොවනු ඇත. එපමණක් නොව විදුලි වැට දෙපස අලි – ඇතුන් ආකර්ශනය නොවන හණ, බෝගන්විලා, පතොක්, දෙහි කුලයේ ශාකවලින් සමන්විත ජෛව බාධක ඇති කිරීම තුළින් අලි – ඇතුන් විදුලි වැට දක්වා පිවිසීම පාලනය කළ යුතු වේ. මේ පිළිබඳ ව ජනතාව ගේ මෙන් ම නිලධාරීන් ගේ ද අවබෝධය පුළුල් කළ යුතු ය.

විශේෂ ස්තූතිය කරිටාස් ආයතනයේ බෙනට් මැල්ලව පියතුමාට, මීගස්වැව විහාරාධිපති ස්වාමීන්වහන්සේට හා ගම්වාසීන්ට.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...