Breaking News

අනුර කළ කතාවට විරුද්ධව ලිපියක් යැවූ බව මැතිවරණ කොමිසම පිළිගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පවසාඇත .

මාධ්‍ය විසින් මේ පිළිබද විමසූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ , ඉකුත් 12 වැනිදා මෙම ලිපිය යැවූ බවයි.

ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක කන්තලේ, මන්නාරම සහ තවත් ප්‍රදේශ කීපයක ජන හමු අමතමින් ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණයක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී තිබේ.

ඒ අනුව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමු කළ බව ආනන්ද රත්නායක වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මේ පිළිබඳ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් ප්‍රශ්න කර තිබියදී ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි. ඔහු පවසා තිබුනේ ජාතික ජන බලවේගයට පාලනය හිමි නොවන පළාත් පාලන ආයතනවලට මුදල් ලබා නොදෙන බව නොපැවසූ බවත් හොරකම් කිරීමට හෝ නාස්ති කිරීම වෙනුවෙන් මුදල් ලබා නොදෙන බවත්ය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලිපියක් යොමුකළ බව මව්බිම පුවත්පත වාර්තා කර තිබුණි. නමුත් පසුව 17වනදා ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම පුවත්පත වෙත ලිපියක් යොමුකරමින් පවසා තිබුනේ එවැනි ලිපියක් යොමුකර නැති බවයි. ඒ අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද එවැනි ලිපියක් ජනාධිපතිවරයාට යොමු නොකළ බව පවසා තිබුණි.

දැන් මැතිවරණ කොමිසම එවැනි ලිපියක් යොමුකළ බව පිළිගෙන තිබේ. මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ස්වාධීන ආයතනයක් වියයුතු මැතිවරණ කොමිසම මේ ආකාරයට ප්‍රකාශ වෙනස් කරන්නේ කෙසේද යන්නයි.

leave a reply